දේශපාලන බලය වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ ටූල්එක | සිළුමිණ

දේශපාලන බලය වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ ටූල්එක

දැනට ලෝකයේ ජීවත්ව සිටින විශිෂ්ටතම විද්‍යාඥයා ලෙස සැලකෙන ස්ටීවන් හෝකින්ස් සමස්ත මිනිස් වර්ගයාම බියෙන් තිගැස්සෙනසුලු ප්‍රකාශයක් සිදු කළා. ඔහු පවසා සිටියේ අනිවාර්යයෙන්ම පිටසක්වළ ජීවීන් සිටිනා බවයි. එපමණක්ද නොව, කිසියම් දිනක ඔවුන් අපව හෝ අප ඔවුන්ව සොයාගත හොත් එය මිනිස් වර්ගයා මුහුණ දෙන අතිබිහිසුණුම මොහොතක් වනු ඇති බවයි. ඒ මන්දැයි පැහැදිලි කරන ස්ටීවන් හෝකින්ස් පෙන්වා දෙන්නේ පිටසක්වළ ජීවීන් මිනිසාට වඩා දියුණු වීමට වැඩි ඉඩක් පවතින බව හා පෘථිවියේ හිමිකාරීත්වයට ඕනෑම ජීවියකු කැමැත්තක් දක්වනු ඇති බවයි.

මිනිස් වර්ගයා වර්තමානය වන විට විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් අත්පත් කරගෙන තිබෙන දියුණුව කිසි සේත් මෙතනින් නොනවතිනු ඇත. සාමාන්‍ය ජන සමාජයේ විද්‍යාව හා තාක්ෂණය කෙරෙහි අවධානය යොමු වන්නේ මෙවලම් භාවිතයේදී පමණි. එයද භාවිතයක් ලෙස මිස සංකල්පයක් ලෙස නොවේ. ඒ වෙනුවට ජනයාගේ අවධානය යොමු වන්නේ දේශපාලනය සහ ඒ හා බැඳුණු තවත් බලය පවත්වාගෙන යෑමේ ජනප්‍රිය කාරණා සම්බන්ධයෙන් පමණි. එහෙත් සැබෑව නම් බලය යන සාධකය සැබවින්ම රඳා පවතින්නේ විද්‍යාව සහ තාක්ෂණය මත වීමයි.

බලය පවත්වාගැනීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධව බලවත් රටවල් අතර පවතින තරගය කොතෙක්දැයි අපි දනිමු. මේ බල තරගයේදී ඔවුන් මූලික වශයෙන්ම අනෙකාට විරුද්ධව යොදාගන්නේ බිම්ගත දේශපාලන කාරණා සහ යුදමය වශයෙන් බලය තහුවරු කරගැනීම් සේ පිටට දිස් වුවද, සැබෑව නම් මේ සියලු තන්හිදී බලවතා වන්නේ විද්‍යාව නිසි ලෙස ප්‍රයෝජනයට ගත් තැනැත්තා බවයි. දේශපාලනික වශයෙන් සිදු කරන බලපෑම්වලදී ඔත්තු බැලීමේ උපකරණවල සිට කොටස් වෙළෙඳපොළ බිඳ වැට්ටීම දක්වා සියලු කටයුතු සිදු කරනු ලබන්නේ විද්‍යාව හා තාක්ෂණයේ පිහිටෙනි. අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා අයවැයෙන් අනුමත වන එහෙත් නිශ්චිත නිර්වචනයකින් තොරව වැය කරනු ලබන මුදල් කන්දරාවන් වැය වන්නේ මෙවැනි මෙහෙයුම් සඳහා අවශ්‍ය අති සූක්ෂ්ම උපකරණ නිපදවීම වෙනුවෙනි.

යුද තාක්ෂණය වර්තමාන ලෝකයේ එළිපිට කෙරෙන ගනුදෙනුවක් බවට පත්ව තිබුණද සැබෑ රහස් තවමත් රහස් ලෙස පවතින්නේය. බොහෝ රටවල් තමන්ගේ තාක්ෂණික ජයග්‍රහණ සෙසු රටවලට මුදලට අලෙවි කිරීමට කටයුතු කළද හොඳම කොටස තමන් වෙත රහසේ තබාගන්නේය. සෙසු රටවල් ඒ රහස් දැනගැනීමට සහ ඒවායේ තාක්ෂණය තමන්ටද ලබාගැනීමට ප්‍රබල ලෙස උත්සාහ දරන අතර, මේ සෑම අවස්ථාවකදීම වැඩකාරයාගේ භූමිකාව නිරූප‍ණය කරන්නේ විද්‍යාව හා තාක්ෂණයයි.

පළමුවැනි සහ දෙවැනි ලෝක යුද්ධ කෙළවර වන්නේ විද්‍යාව හා තාක්ෂණය කෙතරම් බියකරු ලෙස භාවිතයට ගත හැකිදැයි මිනිස් වර්ගයාට තහවුරු කරමිනි. සැබවින්ම මේ ලෝක යුද්ධ දෙක අතර බිහිසුණුම භූමිකාව නිරූපණය කර ඇත්තේ යුද භූමිවල නොව විද්‍යාගාරවලදීයැයි බොහෝදෙනා නොදන්නා, නොසිතන, එහෙත් සැබෑ කරුණකි. ඒ සඳහා හොඳම උදාහරණය හිරෝෂිමා පරමාණු බෝම්බයයි.

උතුරු කොරියාව වැනි රටක් කිසියම් මිසයිලක් හෝ නවීන යුද අවියක් අත්හදාබැලූ පමණින් සෙසු බලවත් රටවල් කෑ ගහන්නේද තමන් සතු එවැනි අවිවලින් කොතරම් හානියක් කළ හැකිදැයි දන්නා නිසාය. අදටත් මේ රටවල විද්‍යාගාරවල සිදු කෙරෙන අත්හදාබැලීම සහ නව නිපැයුම් සමස්ත පෘථිවියේම අනාගතය තීරණය කරමින් සිටින්නේය. ලතින් අමෙරිකාව කිසියම් වාමාංශික ප්‍රවණතාවක්ද සහිතව ලෝකයට වෙනස් ආරක දේශපාලන නායකත්වයක් ලබා දෙමින් පැමිණි යුගයක් විය. හියුගෝ චාවේස්, එවෝ මොරාලේස් වැනි නායකයන් අමෙරිකාවට හිසරදයක් වන ලකුණු පෙනෙන්නට විය. එහෙත් හිටිවනම මේ රටවල නායකනායිකාවන් රැසකටම නොයෙක් අන්දමේ පිළිකා සෑදුණු බවක් අසන්නට ලැබිණි. චාවේස් ඒ හේතුවෙන් මරු වැලඳගත් අතර, සෙසු අය රෝගී තත්ත්වයන් හේතුවෙන් දේශපාලනයෙන් සමුගත්හ.

තම ප්‍රතිවාදීන් සමග මුහුණට මුහුණ තරග වැදුණේ ඉස්සරය. දැන් ඒ වෙනුවට වක්‍රාකාරයෙන් පහර දීම වඩා සාර්ථක ක්‍රියාවලිය බවට පත්ව තිබේ. මේ වක්‍රාකාරය සඳහා යොදාගන්නා මෙවලම් සියල්ල බිහි වන්නේ නවීන විද්‍යාව හා තාක්ෂණයේ පිහිටෙනි. විද්‍යාව හා තාක්ෂණය ලෝක දේශපාලනයට මැදිහත් වන්නේ එසේය.

මේ කථා කරන්නේ විද්‍යාව හා තාක්ෂණය රඟන ප්‍රධානතම භූමිකා ගැන පමණක් හෙයින් සෙසු අංශවල ඔවුන්ගේ දායකත්වයක් නැතැයි කිසි සේත් සිතිය යුතු නොවේ. අද අප ආහාරයට ගන්නා හයිබ්‍රිඩ් එළවුළු සහ පලතුරුවල සිට බොන වතුර ටික දක්වා විද්‍යා හා තාක්ෂණය අක් මුල් විහිදුවා තිබේ. පානීය ජලය ගැටලුවක් වන විට මුහුදු ජලය පානීය ජලය බවට පත් කරගත හැකි වී ඇත්තේද විද්‍යාව හා තාක්ෂණයේ පිහිටෙනි.

ලෝක බලවතා වීමට රටවල් අතර ඇති නොතිත් තරගයට මූලික සුදුකම් ලබා දෙන්නේද ඒ රටවල් සතු විද්‍යා හා තාක්ෂණ දැනුමයි. විශ්වය ජය ගන්නා රට මුළු මහත් විශ්වයටම හිමිකම් කියාපාන බව අනියම් සත්‍යයක් ලෙස සැලකේ. සීතල යුද සමයේදී සඳ මත පා තැබීමට හෙවත් විශ්වයට අයිතිවාසිකම් කීමට අමෙරිකාව සහ රුසියාව අතර පැවතියේ අතිදරුණු මට්ටමේ තරගයකි. එහි අවසානය වූයේ සෝවියට් රුසියාව බංකොළොත් වීම සහ අමෙරිකාව සඳ මත පා තැබුවා යැයි කීමය. සඳ මතුපිට සිට ගනු ලැබූ ඡායාරූපද සමග අමෙරිකාව හඳට හිමිකම් කීවේ සඳ මත ඔවුන්ගේ ධජයද සිටුවමිනි. එහෙත් එදා සිට අද දක්වා යළිත් වරක් සඳ මතට මිනිසකු යැවීමට අමෙරිකාවට නොහැකි වී තිබේ. නාසා ආයතනය නොයෙක් ග්‍රහලෝක වෙත යානා යවමින් තොරතුරු රැස් කරගන්නේයැයි පැවසුවද යළිත් වරක් මිනිසකු සඳමතට ගෙන යෑමට තරම් යානාවක් නිපදවාගැනීමට නොහැකි වී තිබේ. ඒ සම්බන්ධව ඔවුන් නිසි පැහැදිලි කිරීමක් ලබා නොදීමද ගැටලු සහගතය. එසේ නම් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ සැබවින්ම මිනිසා සඳමත පා තැබුවාද යන්නයි.

කිසිම ව්‍යාපාරයක් හෝ කිසිම දේශපාලනයක් සාධාරණ නොවේ‘ යනුවෙන් කියමනක් තිබේ. මේ කියමන විද්‍යාව හා තාක්ෂණය දක්වාද ව්‍යාප්ත කිරීමට කාලය පැමිණ තිබේ. විද්‍යාව හා තාක්ෂණය මිනිසා සෙසු සතුන් අතුරින් වෙනස් කළා බව සැබෑය.

එහෙත් මේ වන විට මිනිසා විද්‍යාව හා තාක්ෂණය වැඩි වශයෙන් යොදාගනිමින් සිටින්නේ තම ජීවිත පහසු කරගැනීමට වඩා අනෙකාව නැසීමටය.

මේ වන විට සෙසු මිනිසුන්ට හානි නොකරමින් අදාළ ඉලක්කය පමණක් ලබාගත හැකි ඩ්‍රෝන නිපදවිමට මිනිසා සමත් වී තිබේ. විද්‍යාඥයන් ලොව පුරා ඇගැයීමට ලක් වන්නේ මහා ප්‍රාඥයන්, මිනිස් වර්ගයට සේවය කළ පුද්ගලයන් වශයෙනි. එය සැබෑය. එහි තර්කයක් නැත.

එහෙත් අද වන විට මිනිසාට සේවය කිරීම යනු අලුතෙන් නිර්වචනය කළ යුතුව තිබේ. සියලු නීතිඥයන් මරණින් පසු අපාගත වන්නේයැයි උපහාසාත්මක කියමනක් තිබේ.

මෙය සියලු නීතිඥවන් සහ බොහෝ විද්‍යාඥයන් යනුවෙන් වෙනස් කළ යුතු කාලය එළඹ තිබේ.

තම දියුණුව වෙනුවෙන් තමන්ම උත්පාදනය කරගත් දේ තම විනාශය වෙනුවෙන් යොදන්නේ නම් එහි වැරැද්ද උත්පාදනය කරගත් දෙය නොව, එය භාවිත කරන්නාගේය.

ඒ අනුව විද්‍යාවේ ඇති වැරැද්දක් නැත.

එහෙත් මිනිස් වර්ගයා එය නිසි අන්දමින් භාවිත කිරීමට කටයුතු කළ යුතුය.

Comments