පොලිතින් හා ලන්ච් ෂීට් තහනම පිළිබඳව ජනතාවගෙන් සියයට 88ක් කැමතියි | සිළුමිණ

පොලිතින් හා ලන්ච් ෂීට් තහනම පිළිබඳව ජනතාවගෙන් සියයට 88ක් කැමතියි

රජය විසින් ක්‍රියාත්මක කරන පොලිතින්, සිලි සිලි බෑග් හා ලන්ච් ෂීට් තහනම පිළිබඳව ජනතාවගෙන් සියයට 88 ක පමණ පිරිසක් සතුට පළකර ඇතැයි තම ආයතනය කළ සමීක්ෂණයකදි හෙළිවූ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

මධ්‍යම පරිසර අධිකාරිය පිටකොටුව, බත්තරමුල්ල හා බෝමිරිය ප්‍රදේශවල ජනතාව හමුවී කළ මේ සමීක්ෂණය අනුව පොලිතින් තහනම පිළිබඳව මෙරට ජනතාවගෙන් සියයට 93 ක් දැන සිටින බවත් ඉන් සියයට 95 ක්ම පොලිතින්, සිලි සිලි මලු හා ලන්ච් ෂීට් තහනම පිළිබඳව සිය සතුට පළ කළ බවත් සභාපතිවරයා පවසයි.

මේ සමීක්ෂණය අනුව මෙරට ජනතාවගෙන් සියයට 75 ක් පොලිතින් ලන්ච් ෂීට් හා සිලි සිලි බෑග් තහනම පිළිබඳව ඉතා හොඳ අයුරුන් දැන සිටින බවද හෙළිවී තිබේ.

ලන්ච් ෂීට් වෙනුවට දැන් සියයට 63 ක් දෙනා විකල්ප භාවිත කරන බවත්, සමීක්ෂණයෙන් හෙළිවී තිබේ. ඊට අමතරව සිලි සිලි බෑග් භාවිතය වෙනුවට සියයට 65 විකල්ප පාවිච්චි කරන බවත් මෙහිදී හෙළිවී ඇතැයි මහාචාර්යවරයා කියයි.

උත්සවවලදී පොලිතින් තහනම පිළිබඳව සියයට 72 ක් පමණ දැනුම්වත්ව ඇති අතර ඒ අය පොලිතින් සැරසිලි වෙනුවට රෙදි හා වෙනත් විකල්ප පාවිච්චි කිරීමට කටයුතු කර ඇත.

පොලිතින් පිළිස්සීම ලෙඩ හදන විෂ වායුව පතුරවන දෙයක් බවත් එය නීති විරෝධි බවත් ජනතාවගෙන් 75% දෙනා දන්නා බවද මෙම සමීක්ෂණයෙන් හෙළිවී ඇත. 

Comments