
මහව කෝච්චියේ
උදේ සවස
කොළඹ වැඩට එන යන
මගේ දුක සැප
කියයි
කෑලි තුනේ ටෝච් එක
රැකියාව මැයෙන් යුත් මේ කවිය මා උපුටා ගත්තේ ‘ට්‍රැෆික් කවි’ කාව්‍ය සංග්‍රහයෙනි. අනූෂා ගෝකුල ප්‍රනාන්දු එහි රචිකාවයි. ඒ කවි පොත සමඟ ‘අභිමානවත් කලාකරුවා’ නමින් තවත් පොතක් මෑත දී ජන ගත කෙරිණ. මේ කුඩා පොත් දෙකෙහි ම අන්තර්ගතය සංවේදී කිවිඳියකගේ ආත්මීය නින්නාදය වැන්න.
මේ ලේඛිකාව සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ධුරය හොබවයි. පත පොත ලියයි. දේශන පවත්වයි. පරිපාලන සේවා විභාගයට පෙනී සිටින විද්‍යාර්ථීන්ට ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාදෙයි. සංස්කෘතික දෙපාර්තෙම්න්තුව සතු මානව හා භෞතික සම්පත්වලින් උපරිම ප්‍රයෝජනයක් රටට ලබාදෙනු පිණිස අලුත් වැඩසටහන් සංවිධානය කරයි. ඉමහත් උද්‍යෝගයකින් යුක්තව මෙහෙයවමින් පසු විපරම් කරමින් සාර්ථකත්වය හඹා යයි. මැසිවිලි කීම වෙනුවට අරගල කිරීමේ මග යමින් යම් කටයුත්තක යහපත් අවසානයක් දැකීමේ නොතිත් ආසාවෙන් පසුවෙයි. ඇය ගීත රචිකාවකි. කිවිඳියකි. ට්‍රැෆික් කවි පොතට ඇතුළත් වන්නේ ඈ ලියූ ගී සහ කවි රචනා සමුච්චයකි.
පඩි දිනයට තව දවස් තුනයි
හේබා ගිය මුහුණ බලන්නත් දුකයි
දිනකට අවම හත් අට දහසක්
පහසුවෙන් ම හරි හම්බ කරන යාචකයා
සීයට විස්සේ පොලියට
රුපියල් පනස් දහසක්
රාජ්‍ය සේවකයා අත තබයි
පඩි දිනයට හරියට ම
ණය හා පොලිය ගෙවන නියාවෙන්
රාජ්‍ය සේවකයා මැයෙන් යුත් මේ කවිය ඇතුළු ඇගේ බොහෝ කවි උත්ප්‍රාසවත් රීතියකින් ලියැවී තිබේ. එය ඇගේ කවියෙහි අනන්‍යතාවක් වැන්න. එමෙන් ම කවියට උචිත පරිදි බැව හර බස හික්මවා ගැනීමත් සංක්ෂිප්ත බවක් මේ කවිවල කැපී පෙනේ. ‘අභිමානවත් කලාකරුවා’ කෘතියෙහි ඇතුළත් වන්නේ සාම්ප්‍රදායික කලාකරුවකු වූ පී. පී. ඩී. නැලව මහතාගේ ජීවන තොරතුරු, ජීවිත අරුත් ගන්වන විවිධ චින්තා සහ සෞන්දර්යයකාමී පරිකල්පන සටහන් ය. නැලව කලාකරුවා ලියූ ජීවන සටහන් අත්පිටපතක් ඔහුගේ මිනිපිරිය වන අනූෂා ගෝකුල ප්‍රනාන්දු අතට පත්ව තිබේ.
එම ජීවන සටහන්වලින් තෝරාගත් පාඨ මෙහි ඇතුළත් කර තිබේ. ජීවිතයට නව ආලෝක ධාරාවක් හෙළීමේ ගුණය අතින් ඒ සටහන් වැදගත් ය.
මේ එයින් උපුටාගත් සටහනකි.
“දරුවනේ! මා මළ පසු මගේ ස්මාරක හැදීමෙන් වැළකී සිටපල්ලා. ස්මාරක තිබිය යුත්තේ උඹලාගේ හිතේ. ඒ නිසා මම මහ පොළොවට එකතු කරපල්ලා. මියැදුණු පසු අඬන්න එපා. මගේ ගුණ සිහිකර සතුටු වෙයල්ලා. මම ගමේ මරණාධාර සමිති දෙක තුනක ම ඉන්නවා. ඒ සමිතිවලින් මරණයට ලැබෙන සල්ලි පන්සලට දීපල්ලා. නැති බැරි අයට දීපල්ලා. මගේ මරණ ගෙදරට මම සල්ලි වෙන් කර තිබෙනවා. මිය ගිය පසු ඉක්මනට වළදාපල්ලා.”
අනුන්ට බරක් නොවී නිදහස් ජීවිතයක් ගත කළ ස්වාධීන කලාකරුවකුගේ සහ දයාබරිත මිනිසකුගේ ආධ්‍යාත්මය මෙයින් විවර වී පෙනේ.
කලාව, ජීවිතය හා ප්‍රකෘති සෞන්දර්ය විෂය කරගනිමින් ඡායාරූප ආශ්‍රිතව ලියා ඇති සටහන් ද කෘතියෙහි අගය වැඩි කරයි.
අනූෂා ගෝකුල ප්‍රනාන්දු සාම්ප්‍රදායික වැඩ රටාවෙන් බැහැරව අලුතින් හිතන, හිතන දේ ක්‍රියාවට නංවන නිලධාරිනියකි. ශ්‍රී ලංකාවේ දස දිග විසිරී සිටින නවක නිර්මාණකරුවන් හඳුනාගෙන ඔවුන් දිරි ගන්වා, අවශ්‍ය පුහුණුව හා මග පෙන්වීම ලබා දෙමින් නිර්මාණකරණයෙහි ඉදිරියට යෑම සඳහා අවශ්‍ය ශක්තිය ලබාදීමේ වැඩසටහනක් මේ දිනවල ඇගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක වෙයි. ප්‍රතිභා ප්‍රභා සංස්කෘතික සායනය සහ කඳවුරු වැඩසටහන යනුවෙන් මෙය නම්කර ඇත. පාලිත සිල්වා, සමන් කුමාරතුංග, ගාමිණී මෙරින්නගේ, මාලනී වෙත්තසිංහ, විමලරත්න අධිකාරි, හෙන්රි රාජකරුණා, කසුන් විහඟ ගුණසේකර, අචලා ගුණවර්ධන, ජයසිරි අලවත්ත, ජාලිය කළුආරච්චි, කීර්ති වැලිසරගේ චාන්දනී වරුෂකෝන් සහ සජින් නිශාන්ත ලොකු පතිරගේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් සම්පත් දායකයන් ලෙස මීට සහභාගි වෙති.
දිස්ත්‍රික් මට්ටමින් තෝරා ගන්නා අංකුර නිර්මාණකරුවන් හා කලා ශිල්පීන් ජාතික සංචිතයකට කැඳවා වැඩිදුර පුහුණුවක් ලබාදීම ඔස්සේ සාහිත්‍ය කලා ක්ෂේත්‍රයෙහි නව අස්වනු නෙළා රටට දායාද කිරීම ඇගේ අපේක්ෂාවයි. අඳුරට සාප කරනවාට වඩා එක ඉටිපන්දමක් හෝ දැල්වීම වටී යන පැරැණි චීන කියමන මෙහිදී සිහිපත් වේ.
අභිමානවත් කලාකරුවා කෘතියෙහි ඇය මෙසේ සඳහන් කරයි.
“පෘථිවියේ පැවැත්ම සූර්යයායි. විටක රළු වුව ද ඇළ, දොළ, ගංගා, ගහ කොළ, වැල සියල්ලම පවතින්නේ හිරු නිසයි. ලොව ගොඩ නැඟෙන්නේ හිරුගේ කිරණින් සහ මවගේ තනපුඩුවෙන් ගලා එන කිරි බිඳුවලින් කියලයි අප අසා තිබෙන්නේ. ඕනෑම රටක් තිරසාර ව දියුණුවන්නේ සාහිත්‍ය හා කලාව නිසා බව මා විශ්වාස කරනවා. සැබෑ කලාකරුවා ද සැමට ජීවය දෙන සමස්ත පැවැත්මට හේතු වන හිරු වගෙයි”
ඇගේ මෙහෙවරට සුබ පැතුම්!