යළි අපි නැඟිටිමු අටු කොටු පුරවමු | Page 593 | සිළුමිණ

යළි අපි නැඟිටිමු අටු කොටු පුරවමු

 වර්තමාන ආහාර අවශ්‍යතාව වෙනුවෙන් සම්පත් සැපයීම සහ සම්පත් උපයෝජනය කරගැනීමේ අවශ්‍යතාව වේගවත් කළ යුතු බව සියලු දෙනාටම වැටහී ඇත. මේ අනුව බහුල වශයෙන් ගොවි ඉඩම් අයත් මහවැලි කලාප කේන්ද්‍ර කර ගැනීමේ වැඩ සටහන මේ වන විටත් ක්‍රියාත්මකය. කෘෂිකාර්මික රටක් වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෘෂිකාර්මාන්තය අරමුණු කරගෙනම පෙරට යායුතුය යන අදහසින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. මහවැලි ගොවි සතිය ක්‍රියාත්මක වන්නේ එහි පියවරක් ලෙසිනි.

ගොවියා විසින් වගා කරන ලද බෝග අතරමැදියන්ගේ මැදිහත් වීම හේතුවෙන් විවිධ බලපෑම්වලට නතු වෙයි. අස්වැන්නේ වටිනාකම දන්නේ ගොවියාය. ගොවියාට නියම මිලක් හිමි නොවීම හැමවිටම ඔහු මුහුණ දෙන ගැටලුවකි. තම වෙහෙස මහන්සිය වෙනුවෙන් නියමිත මිල ලැබිය යුත්තේ ගොවියාය. එහෙත් පවතින ගොවි බිම් එතැනට සූදානම් වී නැත. මහවැලි කලාපය කේන්ද්‍රීයව මේ සිදුවන්නේ ගොවියාට හිමි ඒ තැන ලබා ගැනීම ද වේ.

ගොවියාගේ මේ අවශ්‍යතාව වටහාගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලිය කේන්ද්‍ර කරගනිමින් ගොවියා මූලික විශේෂ ව්‍යාපාරයක් දියත් කිරීමට පියවර ගත්තේය. මේ අනුව ‘යළි අපි නැඟිටිමු- අටු කොටු පුරවමු‘ යනුවෙන් ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ආරම්භ විය.

මහවැලි අධිකාරිය මේ සඳහා පියවර ගෙන තිබේ. මහවැලි කලාප දහයකින් සැදුම්ලත් මහවැලියට අයත් කොට්ඨාස සංඛ්‍යාව හතළිස් හතරකි. ඒකක ගම්මාන දෙසිය විසි තුනකි. මේ අනුව ප්‍රතිලාභ පවුල් සංඛ්‍යාව 1007කි. වගා බිම් ප්‍රමාණයෙන් වාරි නොවන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 20,000 කි. වාරි බිම් ප්‍රමාණයක හෙක්ටයාර් 105000කි. අයහපත් කාලගුණික ප්‍රතිවිපාක ලෙස ඇති වූ රටේ ආහාර නිෂ්පාදනයේ පසු බෑම හේතුවෙන් 2017/2018 මහ කන්නයේ ආහාර නිෂ්පාදන වැඩ සටහන ආරම්භ විය. මේ අනුව මහවැලි සතිය 2017 ඔක්තෝබර් 5-12 දක්වා ප්‍රකාශයට පත් විය.

පහත සඳහන් අරමුණු පෙරදැරි කරගෙන මහවැලි සතිය ක්‍රියාත්මක වෙයි.

ආහාර නිෂ්පාදනයේ ප්‍රබෝධයක් ඇති කිරීම
වසවිසෙන් තොර ගුණාත්මක ආහාර නිෂ්පාදනය කිරීම
ජල කළමනාකරණය කාර්යක්ෂම කිරීම
මහවැලි ගොවි ආර්ථිකය දියුණු කිරීම
තිරසාර පාරිසරික සංවර්ධනය
නව ආයෝජන ව්‍යාපෘති සුලභ කිරීම මඟින් නව රැකියා උත්පාදනය
පශු සම්පත්, මිරිදිය ධීවර කර්මාන්තය වර්ධනය කිරීම හා මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම
වැඩ අවසන් කර ඇති ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීම
ඉඩම් ඔප්පු ලක්ෂයක් ගොවි අයිතියට පැවැරීම
තිරසාර කෘෂිකර්මය පිළිබඳ පාසල් දරුවන්ගේ දැනුම පුළුල් කීරිම
මහවැලි කාර්යාල පද්ධතිය කාර්යක්ෂම කිරීම

මේ සැලැසුම් ක්‍රියාත්මක කෙරෙන දින ද ප්‍රකාශයට පත් විය. ඒ අනුව ගොවි, දිනය, ආගමික දිනය, අධ්‍යාපන හා පාරිසරික දින, පංශු සම්පත් දිනය, ව්‍යවසායකත්ව දිනය, ධීවර දිනය, රාජ්‍ය සේවයක දිනය, දියවර දිනය යනුවෙන් දින ප්‍රකාශයට පත් විය. ඒ දින වෙනුවෙන් විධාකාරයේ වැඩමුළු සංවිධානය වන අතර විශේෂිතම දිනය වන්නේ ගොවි දිනයයි. මෙහිදී වප් මඟුල් දිනය, ගෙවතු සංවර්ධන විශේෂ ව්‍යාප්තෘතිය, නව කෘෂි තාක්ෂණය ගොවි ජනතාව හඳුන්වා දීම ද ක්‍රියාත්මක වේ. මෙහිදි එක් එක් ව්‍යාපෘති බාරව කටයුතු කරන අධ්‍යක්ෂවරුන්ගේ ව්‍යාපෘති ද විවිධ වේ. මේ අනුව ඔවුහු තම ව්‍යාපෘති පිළිබඳව විස්තර කළහ.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ( කෘෂිකර්ම)

මේ කලාපවල ‍ගොවීන් වී සඳහා පමණක් උනන්දු වීම සිදුවිය. එහෙත් මේ තත්ත්වය ගොවීන්ට යම් අවාසියක් ඇති කරන බව අපි තේරුම් ගත්තෙමු. මේ අනුව භෝග විවිධාංගීකරණය ඔවුන්ට හඳුන්වා දෙනු ලැබීය. මෙහිදී සෝයා, මිරිස්, බඩ ඉරිඟු මාංශ භෝග සඳහා ගොවීන් උනන්දු වීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක විය. කුරක්කන්, එළවළු වර්ග ද වගා කිරීමට ගොවීන් යොමු කර වීය. මේ සෑම දෙයකටම වඩා ගෙවත්ත සංවර්ධනය කිරීමේ ක්‍රියාදාමයේ නිරත විය. ඒ අනුව ආදර්ශ ගෙවතු 15000ක් ඉලක්ක කෙරුණි. සත්ත්ව පාලනය, එළවළු වගාව, බිම් මල් වගාව පිළිබඳ ගෙවතු මට්ටමින් විවිධ පුද්ගලයන් දැනුවත් කිරීම ආරම්භ කෙරුණි.

ක්‍රිස්ටි පෙරේරා අධ්‍යක්ෂ (ව්‍යාපාර සංවර්ධනය)

මහවැලි ගොවීන් ගේ ආර්ථිකය නැංවීම ප්‍රධාන පරමාර්ථය කරගෙන තිබේ. මේ අනුව මහවැලි ගොවියා හුදෙක් ගොවියකු පමණක් නොව ව්‍යවසායකයකු කිරීමේ අවශ්‍යතාව ද මේ වන විට මතු විය. මේ නිසා ගොවීන් ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන වැඩ සටහන් ක්‍රියාත්මක විය. මේ වෙනුවෙන් ගොවීතැන උදෙසා ණය ක්‍රම ක්‍රියාත්මක විය. මහවැලි සවිය, මහවැලි දිරිය, ණය ක්‍රම මඟින් ගොවියා ශක්තිමත් විය. අඩු පොළී අය කිරීමද, ඉක්මන් සම්පාදනය ද පහසු ගෙවීම නිසා ගොවියාට ශක්තියක් විය. මේ නිසා ගොවියා ශක්තිමත් ව්‍යාපාරියකයකු බවට පත් විය. දේශීය වෙළෙඳ පොළට පමණක් නොව විදේශ වෙළෙඳ පොළේ ද ඉලක්ක හඹා යාමට හැකි වාතාවරණයක් ගොවියාට උදා විය.

මෙලෙස ගොවියා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක විය. මෙයින් මහවැලිය ඔස්සේ ගොවි ප්‍රජාව දිරිමත් කිරීමේ සහ ස්ථාවර කිරීමේ පියවරක් බව ද තහවුරු වේ.

(ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය වෙනුවෙන් ක්‍රියාත්මක වන මහවැලි ගොවි සතියේ ‘‘යළි අපි නැඟිටිමු - අටු කොටු පුරවමු‘‘ ජාතික වැඩසහන පිළිබඳ විස්තර කරමින් මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ගෝඨාභය ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වැඩසටහන ඇසුරෙන් සකස් වූවකි.)

රූපාන්ති බුලත්සිංහල

Comments

Me harak denna aragena goyam pahina wadeta yodagaththanam aththatama mita wada deyak karanna puluwan. Goyam kapana kaalaya ena vita rajaye anith gonnu tikath aran awanam loku deyak.

පිටු