මෙන්න පසු­ගිය වසරේ හොඳම නව නිපැ­යුම් දහය | සිළුමිණ

මෙන්න පසු­ගිය වසරේ හොඳම නව නිපැ­යුම් දහය

මර්සිඩීස් බෙන්ස් සමාගම නව නිපැයුම් බිහි කළේ අද ඊයෙක නොවේය. දශක ගණනාවක් තිස්සේ මෝටර් රථ තාක්ෂණයේ නොයෙක් පිමි ඉදිරියට පැන්න මර්සිඩීස් බෙන්ස් මෙවර පනින්නට යන්නේ සුළු පටු පිම්මක් ද නොවේය. අපි දන්න තරමට නම් මෝටර් රථ නිපදවන්නේ ගරාජයේය. බාස්ලාය. එහෙත් මෙවර මර්සිඩීස් බෙන්ස් සමාගම තම අලුත්ම මෝටර් රථය නිපදවන්නට යන්නේ විද්‍යාගාරයක් ඇතුළේය. ඒ නිසාම මෙවර අලුත්ම මර්සිඩීස් බෙන්ස් මෝටර් රථය නිපදවන්නේ විද්‍යාඥයන්ය. මේ රථයට ඔවුන් ලබා දී ඇති නම BIOME ය. නම ඇසූ පමණින්ම මෙහි විශේෂත්වය ගැන අදහසක් ලබා ගැනීමට හැකිය. සැබවින්ම මේ අලුත් මෝටර් රථය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමීය.

ජර්මන් ඔටෝ මැනුෆැක්චර් සමාගම පවසන අන්දමට ඔවුන්ට අවශ්‍ය වූයේ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී, එමෙන්ම භාවිතයෙන් පසු සරලව බැහැර කළ හැකි, පරිසර දූෂණය වෙනුවට පරිසරය ආරක්ෂා කරන අමුතුම මාදිලියේ ස්වාභාවික පරිසරය හා බැඳුණු මෝටර් රථයක් නිපදවීමටය. පසුගිය වසරේ එළිදැක්වී ලොව හොඳම නව නිපැයුම් දහය අතරට එක්වීමට හැකියාව ලැබුණේද එම මෝටර් රථයටය.

ලැබී ඇති තොරතුරු අනුව මේ මෝටර් රථය හදන්නක් නොව වවන්නකි. එහි අර්ථය වන්නේ කාර්මික ශිල්පීන් විසින් නොයෙක් උපකරණ සහ යකඩ, ප්ලාස්ටික් ආදිය එකතුව මෝටර් රථය නිපදවනවා වෙනුවට මේ මෝටර් රථය විද්‍යාගාරයක් තුළදී විශේෂ පරිසර වාතාවරණයක් තුළ වර්ධනය කර ගන්නා, නැතහොත් වවාගන්නා බවය.

මේ සම්බන්ධව තොරතුරු ලබා දුන් මර්සිඩීස් සමාගමේ විද්‍යාඥයන්ට අනුව මේ මෝටර් රථය බීජ දෙකක දෙමුහුන් වීමක ප්‍රතිඵලයකි. ඉන් එක් බීජයක් මගින් රථයේ අභ්‍යන්තර කොටස වර්ධනය කරන අතර අනෙක් බීජය මගින් රථයේ බාහිර කොටස වර්ධනය කර දෙනු ලබයි. හරියටම කියන්නේ නම් මේ රථයත් එක්තරා අන්දමක ශාඛයක් මෙනි. සෙසු මෝටර් රථ ධාවනයේදී කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට මුදාහරින නමුදු මේ නවතම මෝටර් රථය ධාවනයේදී වායුගෝලයට මුදාහරින්නේ ඔක්සිජන් වායුවයි. එය අදහාගත නොහැකි පාරිසරික මෙන්ම තාක්ෂණික විප්ලවයක් වනු ඇති බව විද්‍යාඥයන්ගේ අදහසයි.

රථයේ බාහිර පෙනුම මෙහි දැක්වෙන පරිද්දෙන්ම සුපිරි මට්ටමේ පවතින අතර සාමාන්‍ය මෝටර් රථයක මෙන්ම මේ රථය අභ්‍යන්තරයේ මගීන් සිව් දෙනෙකුට සැපපහසුවෙන් ගමන් කළ හැකිය.

මේ මෝටර් රථය පසුගිය වසරේ ලොස් ඇන්ජලීස් සැලසුම් අභියෝග තරගාවලියේ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත්ව තිබූ අතර එහිදී උපරිම මට්ටමේ ප්‍රතිචාරවලටද බඳුන් විය. මේ මෝටර් රථයේ අනෙක් සුවිශේෂත්වය වන්නේ එය ඉතා සැහැල්ලු වීමය. විද්‍යාඥයන් මේ වන විට පවසා ඇති අන්දමට මේ අලුත් මෝටර් රථයේ සම්පූර්ණ බර කිලෝග්රෑම් 454කි. එහෙත් මෙය මීටත් වඩා බරින් අඩු කළ හැකි බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

මෙහි හොඳම කොටස වන්නේ භාවිතයෙන් ඉවත් කළ පසුව මේ මෝටර් රථය ගොඩනැගිලි ඉදිකිරීමට අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කළ හැකි වීමය.

ඔබ මේ කියවන මොහොතේත් සිතන පරිද්දෙන්ම මේ නවතම මෝටර් රථය වෙළෙඳ පොළේ දැකගැනීමට තවත් වසර ගණනාවක් ගත වනු ඇත. එහෙත් අතිශයින් වැදගත් මුල් පියවර තබා අවසන්ය.

Comments