‍දරුවන්ට සොඳුරු ලොවක් හදමු | සිළුමිණ

‍දරුවන්ට සොඳුරු ලොවක් හදමු

 දරුවන්ට සොඳුරු ලොවක් සැකසීම වෙනුවෙන් ගැනෙන සියලු උත්සාහයන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අදට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටී.

“මවුපිය වැඩිහිටි සෙනෙහස රඳවමු - සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු” යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන ලෝක ළමා දින උත්සවය වෙනුවෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ පණිවිඩ‍යේ මෙසේද දැක්වේ.

අව්‍යාජත්වයේ සහ සුන්දරත්වයේ විශ්ව සංකේතය ළමයා ය. ලොව කවර රටක, කවර ජනවර්ගයකට හෝ ආගමකට අයත්ව ඉපදුණද ඒ සියලු දරුවෝ මිනිස් වර්ගයාගේ අනාගත ඉරණමේ නිර්මාපකයෝය. ළමා විය යනු දැනුම රැස් කරන අවධියයි. ඒ අර්ථයෙන් දීර්ඝ ළමා වියක් සහිත මිනිස් දරුවා ඒ දිගු ළමා විය පුරා රැස් කරනුයේ අනාගත මිනිස් විශ්වයෙහි ප්‍රභාවයි. කුතූහලයෙන් ඇවිළුණු දෑසින්ද විස්මයෙන් අයාගත් මුවින්ද යුතුව විශ‍්වයේ අරුමැසි රටා වියමන් වටහාගන්නා දරුවන්ට නිදහසේ දැනුම රැස් කරගැනීමටත්, පරිකල්පනයටත්, ආස්වාදයටත් ඉඩකඩ සකසාදීම වැඩිහිටි අපගේ වගකීමයි.

තම දරුවන්ට තමන් අත්විඳි ජීවිතයට වඩා සාරවත් හා පරිපූර්ණ ජීවිතයක් උදා කර දීම සෑම වැඩිහිටියකුගේම අපේක්ෂාවයි. රජයක් ලෙස අ‍පගේ අපේක්ෂාව වන්නේද රටේ සමාජ, ආර්ථික හෝ දේශපාලන ගැටලුවලින් පීඩා නොපැමිණෙන පරිපූර්ණ සුන්දර ළමාවියක් සියලු දරුවන්ට අත් කර දීමයි. පාසල් අධ්‍යාපනය අනිවාර්යය කරමින්, දරුවන්ගේ සෞඛ්‍යය, පෝෂණය හා මානසික අවශ්‍යතා සපිරීමටද රජයක් ලෙස අප ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නේ එබැවිනි. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව යමින් ළමයින්ගේ යහ-වර්ධනයට එරෙහිව පවත්නා සියලු බාධා මුළුමනින්ම ඉවත් කිරීම අපගේ අපේක්ෂාවද වගකීමද වන අතර, ඒ වෙනුවෙන් සමස්ත සමාජයේ අවධානයද සාමූහිකත්වයද දිනාගැනීමට අදට යෙදෙන ලෝක ළමා දිනය කදිම නිමිත්තක් වනු ඇත. 

Comments