
දරුවා සියලු ආකාරයේ ආපදා හා අපයෝජනවලින් මුදාගැනීම උදෙසා දෙමවුපිය වැඩිහිටියන් මහත් වගකීමෙන් කටයුතු කළ යුතු බවත් රජය, ජනමාධ්‍ය, ආගමික නායකයන් හා ප්‍රජාව යනාදි සෑම පාර්ශ්වයක්ම මේ වගකීම් හා වගවීමේ කොටස්කරුවන් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී. ඒ පණිවිඩයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.
අද ළමා ලොව යනු අප මවුබිමේ හෙට දවසයි. ළමා ලොව පිළිබඳ වඩාත් අවබෝධයෙන් දරුවන්ගේ සුරක්ෂිත බව සම්බන්ධව වඩවඩාත් අවධානය යොමු කිරීම කාලීනව ඉතා වැදගත්ය. ළමා මනස තේරුම් ගනිමින්, ඔවුන්ට ආදරණීයව සලකමින්, බාහිර සමාජයෙන් මෙන්ම පවුල තුළින්ද එල්ල වන විවිධ පීඩා හමුවේ නිසි රැකවරණය ලබා දෙමින්, ජීවිත අභියෝගයන්ට මුහුණ දෙන්නට දරුවන් ශක්තිමත් කරමින් අපි ඔවුන් රැකබලාගත යුතු වෙමු.
“මවුපිය වැඩිහිටි සෙනෙහස රඳවමු - සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු” යන මෙවර ලෝක ළමා දින තේමාව සමස්ත සමාජයට ඇරියුම් කරන්නේ ළමා ලොව සුරක්ෂිත කිරීමේ ඒ මහඟු කාර්යභාරය වෙනුවෙනි. ළමා වියේ ආදරණීය බව, නිර්මල අහිංසකත්වය, නිර්මාණශීලිත්වය අගයමින්, දරුවන්ගේ දියුණුවට අත දෙමින්, නිවැරදි මඟ පෙන්වමින් යහපත් හෙට දවසක් කරා ඔවුන් රැගෙන යන්නට මෙවර ලෝක ළමා දිනය පන්නරයක් වේවායි ඉත සිතින් සුබ පතමි.