සාහිත්‍ය චාරිකාව | සිළුමිණ

සාහිත්‍ය චාරිකාව

ඇලෙක්සැන්දර් සර්ගයේවිචි පුෂ්කින්

රුසියානු සාහිත්‍යයේ දැවැන්තයන් කිහිපදෙ‍නකු ඔවුන්ගේ ප්‍රධාන සාහිත්‍ය නිර්මාණ ද සමඟින් හඳුන්වාදීමේ අභිප්‍රායෙන් ලි‍යවෙන මේ ලිපි මාලාව, ආරම්භ කළ යුතු වන්නේ පුෂ්කින්ගෙනි. ඒ පිළිබඳව, මෙසමයෙහි වාද කරන කෙනෙක් ඇත්තේ නැත. මන්ද යත්, සම්භාව්‍ය රුසියානු සාහිත්‍යයේ නවයුගය පිළිබඳ නිසැක කඩඉම, මේ සදාතනික තරුණයා වන හෙයිනි.

සුප්‍රකට රුසියානු සාහිත්‍ය විචාරකයකුව සිටි ඇලෙක්සැන්දර් ත්වාදොව්ස්කි වරක් මෙසේ සඳහන් කෙළේය.

“ජීවිතයේ තාරුණ්‍යයෙහිදී ඔහු මිය ගියද, ඔහු සදාකාලිකවම වඩාත්ම සහලුද, වඩාත්ම නුවණැති ද වන්නේය....”

රුසියානු සාහිත්‍ය විචාරකයින් අතර අග්‍රතමයකු වන බෙලින්ස්කි මෙසේ ලියා තැබීය.

“පුෂ්කින් අයත් වන්නේ, සදා ජීවමාන වන, වර්ධනීය ක්‍රියාදාමයකටය. එය මරණයට හේතුවෙන් කෙටි වන හෝ කඩ වන හෝ ක්‍රියාදාමයක් නොවේ. ඒවනාහී, සමාජ සන්තානයෙහි නොනැවතී වර්ධනය වන්නාවූ සත්තාවකි.”

ඇලෙක්සැන්දර් පුෂ්කින් “ජාතික කවියකු” හැටියට හැඳින්වූ ඉවාන් තුර්ගිනිෆ්, මෙවන් අපූරු ප්‍රකාශයක් ද කෙළේය.

“අප ‘ජනතාව’ කියා හඳුන්වනු ලබන අයගෙන් කී දෙනෙක්, තම ශ්‍රේෂ්ඨ කවින්ගෙන් කවි කියවත්ද? සාමාන්‍ය ජර්මන් ජනතාව, ගතේ කියවන්නේ නැත. වෙනෙකක් තබා, සාමාන්‍ය ඉංගිරිසි ජනතාව, ශේක්ස්පියර් කියවන්නේද නැත.”

තුර්ග්නිෆ් එසේ කීවේ, පුෂ්කින් “ජනතා කවියකු” වශයෙන් හඳුන්වන්නේ නැතිව, “ජාතික කවියකු” වශයෙන් හැඳින්වීමේ හේතුයුක්ති පහදා දෙන්නටය.

තුර්ග්නිෆ්ගේ එම ප්‍රකාශයට අඩ සියවසකට පෙර, පුෂ්කින් විසින් ලියන ලද අවසන් නොකළ කවියක්, සිංහලයට නැගුවහොත්, එය කියන්නේ මෙසේය.

“ආශීර්වාද ලද්දේය, ප්‍රශස්ති කවියා

සාර් සමඟින් එකට හිඳිනා

...............................

උන්ගේ බාලට ඔහු සැරසිල්ලකි
උන්ගේ කරුණාවද, පැසසුම ලැබ
ආසිරි ලද්දේමය, ඒ කිවියර
එස‍ඳෙහි මරපල්ලෝ, පළවන්නෝ
බිහිදොර රැස්කන අසරණ ජනතා

...............................”

පුෂ්කින්ගේ අභිප්‍රාය වූයේ, කවියකු හැටියට ස්වකීය නිදාසත්වයත් ස්වාධීනත්වයත් හුවාතැබීම බැව්, ඔහුගේ බොහෝ සාහිත්‍ය නිර්මාණයන්ගෙන් පළවෙයි. ඔහු රුසියානු ජනතාවගේ ජාතික කවියා බවට පත්වූයේද, ඒ අරුතිනි.

මෙම නිදහස්කාමය, පුෂ්කින්ගේ බොහෝ කාව්‍ය නිර්මාණ බබුළුවන ගුණයක් වෙයි. “ඔහුගේ ඉතා සුප්‍රකට “අහිගුණ්ඨිකයෝ” නමැති දීර්ඝ කාව්‍ය නිර්මාණයෙහි, සෙම්ෆිරා නමැති සුරූපී අහිගුණ්ඨික තරුණියත්, ඇය හා පෙම් බඳින අලේකො නමැති ප්‍රභූ සමාජයේ තරුණයාත් අතර ඇති වන සංවාදයකින් බිඳක්, මේ බැලුව මැනවි.

සෙම්ෆිරා
නමුදු කිව මැන සබඳ
නැත්තේද සෝ තැවුල්
නුඹ දමා ආ, නුඹේ ලොව ගැන
අලේකො
දමා එන්නට, වීද කිසිවක්
සෙම්ෆිරා
නුඹම දන්නෙය, කියන් අලේකො
ඇයි නුඹේ රට, නුඹේ නගරය
නුඹ අතැර ආ සුහද මිතු කැල
අලේකො
තැවෙන්නේ කුමකටද
නුඹ එවග නොදන්නෙද
හුස්ම ගන්නත් ඉඩක් නොමැතිව
මිනිස් කැල ගාල් වන
නගරයේ නීචකම
මෙතෙකැයි කියන්නේ
කෙලෙසදැයි කියන් මට
නැවුම් වූ උදාසන
කඳුයාය නිදහස්වූ
සොඳුරු නිල් තණබිමේ
වසන්තේ මුදු සුවඳ
මේ කිසිත් විඳගන්ට
නැති නුවර නොවදෙ මා
හැර පියා මෙහි ආවෙ
අල්ප වූ ඇදහිලිද
අවිචාරයේ බොරු සිනාවද
අපවිත්‍ර මැරයින්ගෙ
අරුත් සුන් වෛරයද
මිලට ගත් නිල බලය
තනතුරුද නම්බුවද
අතැර ආ වග නුඹ නොදන්නෙද

 

පුෂ්කින් අමරණීය වන්නේ, මෙවන් නිදහස්කාමී කවි දහස් ගණනක් ලියූ නිසාම නොවෙයි. එම කවි මඟින්, අතිශයින් ජරාජීර්ණව පැවති සාර් පාලනය අනියමින් විවරණ්‍ය කළ නිසාද වෙයි. ඔහුගෙන් ආරම්භ වන රුසියානු සාහිත්‍යයේ පුනරුදයෙහි අර්ථ ධ්වනියද එයම වන්නේය.

රුසියානු නව සාහිත්‍යයේ පුරෝගාමියා වශයෙන් අවිවාදයෙන්ම පිළිගැනෙන, රුසියානු මහා කවියාද වන ඇලෙක්සැන්දර් සර්ගයේවිච් පුෂ්කින්, මොස්කව්හි රදල පවුලක 1799 වර්ෂයේ ජුනි 6 වැනි දින උපත ලැබීය. තමාගේ මීමුත්තකු වන හනිබාල් ගැන ඔහු තුළ පැවැත්තේ විශාල ආඩම්බරයකි. හනිබාල්, මහා පීටර් රජයේ ජනරාල්වරයකු වශයෙන් කටයුතු කර ඇත. සාර්කෝයේ සෙලෝහි රාජකීය ලයිසියම් ආයතනයේ අධ්‍යාපනය ලැබූ පුෂ්කින්, සිය ජීවිතයේ මුල් කාලයේ සිටම කාව්‍යකරණයෙහි කුසලතා දැක්වීය. 1817 වර්ෂයේදී ශාන්ත පීටර්ස්බර්ග්හි විදේශ කටයුතු අමාත්‍යාංශයට බඳවා ගනු ලැබූ හෙතෙම, අගනුවර ප්‍රභූවරුන්ගේ සමාජ ජීවිතය හා බැඳුණේය. එතෙකුදු වුවත්, ඔහු රහස් විප්ලවවාදී කණ්ඩායමක සාමාජිකයකු හැටියටද කටයුතු කර ඇති බැව් ප්‍රකටය. ඔහු විසින් 1820 වර්ෂයේදී ලියන ලද “නිදහසේ ප්‍රශස්තිය” (ස්තෝත්‍රය) නමැති කාව්‍ය නිර්මාණය කෙරෙහි, බලධාරීන්ගේ අවධානය යොමු විණි. එහි ප්‍රතිඵලය වූයේ, තරුණ කවියා කොකේසස් කඳුකරයට පිටුවහල්කර යැවීමය. එතෙකුදු වුවත්, ඔහු ස්වකීය රාජ්‍ය නිලතල දැරූ බවද පැවසෙයි.

ඊළඟ වර්ෂයේදී පුෂ්කින් කවියාගේ “රුස්ලන් සහ ලුද්මිලා” නමැති අතිරමණීය ප්‍රේමකාව්‍යය ප්‍රකාශයට පත් විය. ජනශ්‍රැතිය පදනම් කොටගෙන ලියන ලද මෙම කාව්‍යය නිසා, රුසියාවේ දීප්තිමත් කවියකු හැටියට පුෂ්කින්ගේ නම පතළ වන්නට වූයේය. පුෂ්කින්ගේ මුල්ම කාව්‍ය නිර්මාණයන්හි එක් මූලික තේමාවක් වූයේ, නිදහස පිළිබඳ ප්‍රේමයයි; හෙවත් නිදහස්කාමයයි. සුප්‍රකට ඉංගිරිසි ජාතික බයිරන් කවියාගෙන් ලබන ලද ආභාසයත්, අර නිදහස්කාමයත් සම්මිශ්‍රණය වීමෙන්, තරුණ පුෂ්කින්ගෙන් බිහි වූයේ, ඉතා ප්‍රබල ප්‍රාණවත් කාව්‍ය සම්ප්‍රදායයකි. ඒ පිළිබඳව ඉදිරිපත් කළ හැකි හොඳම නිදසුන් තුන, කොකේසස්හි සිරකරුවා (1822), බක්විසරායි උල්පත (1822) සහ අහිගුණ්ටිකයෝ (1823 - 1824) යන දීර්ඝ කාව්‍ය නිර්මාණයන්ය.

යථාර්ථවාදී රුසියානු සාහිත්‍යයෙහි පුරෝගාමියා හැටියට අවිවාදයෙන්ම සැලකෙන පුෂ්කින්, ස්වකීය දීර්ඝ කාව්‍ය රචනා දෙකක, රුසියානු ඉතිහාසය චිත්‍රණය කිරීමට සමත් වූයේය. මෙම කෘතීන් දෙක නම්, 1828 දී ලියන ලද “පොල්තාවා” සහ 1833 දී ලියන ලද “ලෝකඩ අශ්වාරෝහකයා” නමැති දීර්ඝ කාව්‍ය ද්වයයි.

ඔහුගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය නිර්මාණය වන ඉයුජිනි ඔනෙගින් නමැති නවකතාව ආරම්භ කරන ලද්දේ, 1823 වර්ෂයේදීය. පද්‍යයෙන් ලියන ලද මෙම විශාල නවකතාව බයිරෝනික් ප්‍රේම වෘතාන්ත සම්ප්‍රදායට අයත් වන අපූර්ව යථාර්ථවාදී සාහිත්‍ය නිර්මාණයකි. සමකාලීන සමාජ ජීවිතය පසුබිම් කරගෙන ලියන ලද එකී කෘතිය, ඔහුට අවසන් කරගත හැකි වූ‍ෙය් 1831 වර්ෂයේදීය.

රුස්ලාන් සහ ලුද්මිලා පළවීමෙන් ඉක්බිතිව එක්දහස් අටසිය විසිගණන්වල රොමෑන්ටිකවාදී නිදහස් මතධාරී කවි පරපුරේ නායකයා හැටියට, පුෂ්කින් සම්භාවනාවට පත් විය. ඒ නමුදු එයින් සෑහීමට නොපත් කවියා, 1823 වසරේ මැයි මාසයේදී, ස්වකීය අග්‍රතම කෘතිය වූ ඉයුජිනි ඔනෙගින් නමැති පද්‍ය නවකතාව ලිවීම ආරම්භ කෙළේය. ඔහු 1831 දක්වාම එහි කටයුතුවල නියැලී සිටියේය. නව කලාත්මක උපක්‍රම සහ ශෛලීන් යොදාගැනුණු මෙම නවකතාව ප්‍රකාශයට පත් වූයේ, 1833 වසරේදීය.

Comments