තොරතුරු සඟවන සංස්කෘතිය ජයගැනීම! | සිළුමිණ

තොරතුරු සඟවන සංස්කෘතිය ජයගැනීම!

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනය සැප්තැම්බර 28 දාට යෙදී තිබේ. රජය මෙන්ම සිවිල් සංවිධානද මේ වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැරසෙයි. ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ (තොරතුරු ජාල) නීතිඥ ජගත් ලියනාරච්චි මේ සම්බන්ධයෙන් දක්වන අදහස් මෙසේය...

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය ලංකාවට වැදගත් වන්නේ කොහොමද?

‘Right to Know Day’ මැයෙන් මෙය මුලින් ම ආරම්භ කළේ Article 19 සංවිධානයයි. පසු කාලයේ යුනෙස්කෝ සංවිධානය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ දිනයක් ප්‍රකාශයට පත් කළා. ලොව බොහෝ රටවල තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ විවිධ කතිකාවක් දියත් වුණා. අපේ ‍රටේද පනත සම්මත වීමට පෙර පටන්ම මේ සම්බන්ධ සාකච්ඡා සංවාද තිබුණා. ඒ කාලේ ඒවාට රාජ්‍යානුග්‍රහය තිබුණෙත් නැහැ; මාධ්‍ය එතරම් උනන්දු වුණෙත් නෑ. මුලින්ම මේ සඳහා රාජ්‍යානුග්‍රහය ලැබුණේ 2016දී. ඒ වන විට පනත සම්මත වී තිබුණා. මෙවර තේමාව වන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ යහ-භාවිතයන්. මෙයින් අදහස් වන්නේ පනත ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලීමක්. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පරිචයක් ලත් විවිධ විද්වතුන් ඊට සම්පත් දායකත්වය සපයනවා. එමෙන්ම ඊට පෙර දින සිවිල් සංවිධාන මඟිනුත් වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා‍. ජනතාවගේ පාර්ශ්වයෙන් විය යුතු මැදිහත්වීම් පිළිබඳ ඔවුන් කතිකාවක් ආරම්භ කරනවා.

තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම ඉෂ්ට කරන්නේ කොහොමද?

මෙහි වගකීම පාර්ශ්ව තුනකට පැවරෙනවා‍. 1.රජය, 2.සිවිල් සංවිධාන සහ 3.ජනමාධ්‍ය යනු ඒම පාර්ශ්වයි.

රජයේ පාර්ශ්වයෙන් දැනට මූලික අවධානය යොමු කර තිබෙන්නේ තොරතුරු නිලධාරීන් 3000 ක් පුහුණු කිරීම පිළිබඳවයි.

තොරතුරු ඉල්ලීමේ කාර්යය ජනතාවගේ පාර්ශ්වයෙන් ශක්තිමත් වීම සඳහා තොරතුරු නිලධාරීන්ගේ සේවය අනිවාර්යයෙන් අවශ්‍යයි. රජයේ පාර්ශ්වයෙන් නිලධාරීන් පුහුණු කිරීමට වැඩි බරක් තබා සිටින නිසා, බිම් මට්ටමේ දැනුවත් කිරීම් පිළිබඳ අවධානය ප්‍රමාණවත් නොවන බවකුත් පෙනෙන්න තිබෙනවා. මෙහිදී සිවිල් සංවිධානවල මැදිහත්වීම වැදගත්. ඒත් ජනමාධ්‍ය වගේම ඇතැම් සිවිල් සංවිධානත් මේ පිළිබඳ දක්වන උනන්දුව මදි. සමහර සිවිල් සංවිධානවල විෂයපථයට මෙය ඇතුළත් කර ගැනීමත් දුෂ්කරයි. ඊට හේතුව ඔවුන්ට ආධාර ලැබෙන්නේ විෂය ක්ෂේත්‍ර කීපයකට පමණක් වීම.

පනත ක්‍රියාත්මක වීමට පෙර ජනමාධ්‍යයේදී තිබූ උනන්දුව එක ක්‍රියාත්මක වීමේදී පසුබාන ගතියකුත් පේනවා. මෙහි පළමු කෙටුම්පත සකස් කෙරුණේ 2003දී.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, කර්තෘ සංසදය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මේ පිළිබඳ උනන්දු වුණා. වික්ටර් අයිවන්, වරුණ කරුණාතිලක, සුනන්ද දේශප්‍රිය යනාදි මාධ්‍යවේදීන් ක්‍රියාකාරී වැඩකොටසක් ඉටු කළා. වර්තමානයේ ජනමාධ්‍ය ආයතනවල මේ ගැන උනන්දුවක් නැති බවයි පෙනෙන්නේ.

ජනමාධ්‍ය මෙහිදී මැදිහත් විය යුත්තේ කවරාකාරයෙන් ද?

1. තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රගතිය, එහි අඩුපාඩු පිළිබඳ වාර්තා ලිවීම

2. තම අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයක් රට වැසියන්ට ලබාදීම

මානව හිමිකම් ක්ෂේත්‍රයෙහි වර්ධනයක් මෙයින් ඇති විය හැකියි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතැම් නඩු තීන්දු සම්ප්‍රදායික රෙගුලාසි අබිබවා යන අවස්ථා තිබෙනවා. තොරතුරු ලබාදීමේ ක්‍රියාවට ආයතන සංග්‍රහයේ වගන්ති හරස්වීම එක් නිදසුනක්.

3. තමන් ඉල්ලුම්පත් යොමු කිරීමෙන් තොරතුරු ලබාගැනීම ඔස්සේ වාර්තා පළ කිරීම. මෙසේ ලබා ගන්නා තොරතුරුවල විශ්වාසවන්ත බවක් තිබෙනවා. එනිසා එකල මෙන් දුරකථනයෙන් රහසිගත මූලාශ්‍රය ඔස්සේ තොරතුරු ලබාගැනීම අවශ්‍ය වන්නේ නෑ. මෙය ප්‍රවර්ධනය කරගත යුතු තත්ත්වයක්.

තොරතුරු පනත ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය ගැන ඔබේ අදහස කුමක්ද?

තොරතුරු අයදුම් කිරීම මන්දගාමී වීම ලෝකයේ ඕනෑම රටකට පොදු තත්ත්වයක්. අදාළ ආකෘති පත්‍රය පුරවා ෆැක්ස් කිරීම, ලියාපදිංචි තැපෑලෙන් යැවීම හෝ ගෙන ගොස් බාරදීම යන කවරාකාරයෙන් වුව ද තොරතුරු ඉල්ලන්න පුළුවන්.

තොරතුරු නොලැබුණාම නම් කළ නිලධාරියකු මඟින් ඉල්ලීමේ අවස්ථාව තියෙනවා. එසේ නොහැකි වුව හොත් තොරතුරු කොමිසමට පැමිණිලි කළ හැකියි. මේ වන විට එවැනි පැමිණිලි 300 ක් පමණ කොමිසමට ලැබී තිබෙනවා. කෙටි කාලයක දී එවැනි සංඛ්‍යාවක් ලැබීමෙන් පෙනෙන්නේ මෙහි ප්‍රගතිය ගැන සතුටු විය හැකි බවයි.

ලෝක මට්ටමෙන් බැලූ විට අප කෙබඳු තැනකද ඉන්නේ?

තොරතුරු පනත් ක්‍රියාත්මක වන රටවල් සමඟ සන්සන්දනය කළ විට 2015දී අප හිටියේ හත් වැනි තැන. නමුත් මෙක්සිකෝවේ තොරතුරු පනතට එක්ව‍ූ සංශෝධන එය ඉහළට ගොස් අප නව වැනි තැනට පත් වුණා. මෑත කාලයෙහි අපේ රටේ තොරතුරු පනතට එක්වූ සංශෝධන අනුව 2017 පෙබරවාරි මාසය වන විට ලොව තුන්වැනි හොඳම තොරතුරු පනත බවට පත් වුණා. මේ විදියට ඉහළ-පහළ ය‍ෑම් ඉදිරියේදීත් සිදු විය හැකියි.

තොරතුරු පනත මීට වඩා සාර්ථකව ක්‍රියාත්මක වීම කෙරෙහි ජනතාවගේ ආකල්ප බලපාන්නේ කොහොමද?

දකුණු ආසියාවේ බොහෝ රටවල් මෙන් ම ලංකා‍වද දීර්ඝ කාලයක් යටත්විජිත රාජ්‍යයක් හැටියට පැවතුණා. යටත්විජිත තත්ත්වයෙන් නිදහස් වුණත් චින්තනමය නිදහසක් ලැබුණේ නැහැ. අපට තිබුණේ තොරතුරු සඟවන සංස්කෘතියක්. මෙය ජය ගැනීම එක්තරා අභියෝගයක්. දැන් ඒ තත්වය යහපත් අතට හැරෙමින් තිබෙනවා. තොරතුරු සංස්කෘතිය හුරු වන විට ක්‍රමයෙන් මීට වඩා යහපත් තත්ත්වයක් ඇති වන බවට සැකයක් නෑ.

සාකච්ඡා කළේ
තිඹිරියාගම බණ්ඩාර 

Comments