ඉදිරි මාස 2-3 ඇතුළත කාලගුණය දරුණු වෙයි? | සිළුමිණ

ඉදිරි මාස 2-3 ඇතුළත කාලගුණය දරුණු වෙයි?

 දැන් කාලගුණය අමුතුය. දැන් වියළි කලාපයට නියඟය එපා වෙලාය. තෙත් කලාපයට වැස්ස එපා වෙලාය. මේ අතර කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ ඉදිරි මාස 2 - 3 ඇතුළත අපේ රටට සුළි සුළං, අකුණු, ගංවතුර, ටොනේඩෝ, නායයාම් වැනි ස්වාභාවික ආපදා බහුලව සිදුවිය හැකි බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනාවැකි අනුෂා වර්ණසූරිය මහත්මිය පවසන්නේ මේ පිළිබඳව ජනතාව පූර්ණ අවධානය යොමුකර ආපදා අනතුරු අවම කර ගැනීමට ආරක්ෂිත ක්‍රම කළ යුතු බවයි.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන හා එක්ව නිකුත් කළ 2016 දී අපේ රටට සිදුවූ ආපදාවල ඇගැයීම් වාර්තාව (PDNA) දැන් නිකුත් වී තිබේ. ඒ අනුව 2016 දී මැයි මාසයේ හා අන් මාසවල සිදුවූ ගංවතුර නායයාම් නිසා සිදුවූ ආපදා නිසා අපේ රටට සිදුවූ පාඩුව රුපියල් කෝටි 10000 කි. ඒ අනුව 2016 දී ආපදා නිසා සිදුවූ අලාභ හානිවල පූර්ණ වටිනාකම රුපියල් කෝටි 8700 කි. විනාශ වූ නිශ්චල දේපොළවල වටිනාකම රුපියල් කෝටි 1281 කි.

2016 ආපදාවල හානි වටිනාකම පිළිබඳ ඇගැයීම් වාර්තාව පිළිබඳව තවදුරටත් කරුණු දැක්වූ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ සහකාර අධ්‍යක්ෂිකා විශාඛා හිදැල්ලගේ මහත්මිය පවසන පරිදි 2017 වසරේදීත් අප රටට සිදුවූ ආපදාවල වටිනාකම රුපියල් කෝටි 6000කට වැඩිය. ඒ අනුව 2016 හා 2017 වසරවල අප රටට සිදුවූ පූර්ණ හානිවල වටිනාකම රුපියල් කෝටි 16000 කි. හිදැල්ලගේ මහත්මිය පවසන පරිදි මේ ආපදාවලට ප්‍රධාන හේතුව අවිධිමත් සංවර්ධනය හා රජය හා පෞද්ගලික අංශය සංවර්ධන කටයුතුවලදී පරිසරය පිළිබඳව දක්වන නොසැලකිල්ලය.

2016 සිදුවූ ගංවතුර හා නායයෘම් ආපදා නිසා පුද්ගලයන් ලක්ෂ 5ක් පමණ අවතැන් වූ අතර නිවාස 59000ක් පමණ හානියට පත් විය. ඒ නිසා 93 දෙනකු මරණයට පත් විය. 117ක් අතුරුදන් විය. මෙනිසා කොළඹ, ගම්පහ, රත්නපුර, කෑගල්ල, පුත්තලම, අනුරාධපුරය, දිස්ත්‍රික්කවලට ප්‍රබල බලපෑම් ඇතිවිය. මොනරාගල දිස්ත්‍රික්කයට හැර අන් සියලු දිස්ත්‍රික්කවලට 2016 දී ගංවතුර හා නායයෑම් නිසා ආපදා සිදුවූ අතර ඉන් සිදුවූ පාරිසරික හානිය තවම ගණනය කර නැත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත තොරතුරු අනුව 1913 සිට 2001 දක්වා අපේ රටට බලපා ඇති සුළි සුළං ගණන 10 කි. එසේ ඇතිවූ සියලුම සුළි සුළං තත්ත්ව ඇතිවී ඇත්තේ නොවැම්බර් දෙසැම්බර් මාසවලය. මෙයින් වඩාත් ප්‍රබල වූ සුළි සුළං 1907, 1922, 1969, 1978, 1992, 2000 හා 2001 දී අහිමි වී තිබේ. මෙයින් 1978 හටගත් සුළි සුළඟින් මිනිස් ජීවිත 915ක් විනාශ වී තිබේ. උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවලට බරපතළ හානි මින් සිදුවූ අතර ඒ ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය මි. මී. 300 ට වැඩි විය. ඒ නිසා ඒ ප්‍රදේශ බොහොමයක් ගංවතුරෙන් යට විය. වසර 2000 දෙසැම්බර් 26 සවස 4ට ත්‍රිකුණාමලය වෙරළ තීරයෙන් රට ඇතුළට ඇතුළු වූ සුළඟින් පසුදින අලුයම 5 වන තෙක් රටේ උතුරුමැද, වයඹ, නැගෙනහිර ප්‍රදේශවලට බලපෑම් ඇති කළේය. ඉන් පවුල් 50000කට උන්හිටි තැන් අහිමි වූ අතර ජීවිත 7ක් සදහටම අපට අහිමි විය. මේ වාසුළිය ශ්‍රී ලංකාව ඇතුළත ගමන් කළ වේගය පැයට කිලෝමීටර් 180 කි. ඊට අමතරව 1913 දෙසැම්බර් 15, 1919 දෙසැම්බර් 30, 1922 නොවැම්බර් 18, 1931 දෙසැම්බර් 9 හා 22 දා (ත්‍රිකුණාමලය) දිනවලදී ද සුළි සුළං ඇති විය. 1964 දෙසැම්බර් 22 ත්‍රිකුණාමලය අසලින් ද 1966 දී නොවැම්බර් 9 පෙරවරු 11.30ට මුලතිව් අසලින් ද, 1967 දෙසැම්බර් 6 දින ත්‍රිකුණාමලය, මඩකළපුව මායිම් අසලින් ද 1978 නොවැම්බර් 23 රාත්‍රී 7 ට මඩකළපුව අසලින්ද දරුණු සුළි සුළං ඇතිවී තිබේ. 1992 නොවැම්බර් 12 දින සවස 2.30ට පොතුවිල් අසලින් අපේ රටට ඇතුළු වූ සුළි සුළඟ හමන දිස්ත්‍රික්ක 4කට අලාභ හානි කරමින් කටුනායකින් ඉවතට ගොස් ඇත.

මේ කරුණු අනුව ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ මහතා පවසන පරිදිත්, කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසන පරිදිත් අපේ රට හරහා ගොස් ඇති සුළි සුළංවලත් වැඩි හරියක් අපේ රට හරහා ගොස් ඇත්තේ නොවැම්බර් දෙසැම්බර් මාසවලදීය. මේ මාසවල බෙංගාල බොක්කේ සුළි සුළං ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිය. ඒවා පසුව අප රටට ඒමට පුළුවන. ඒ අනුව ඉදිරි මාස 2 - 3 ඇතුළත අපේ රටටත් සුළි සුළං හා සුළි කුණාටු ඇතිවීමේ අවදානමක් පවතින ඒ කාලගුණ විද්‍යාඥයෝ පවසති.

මේ අතර පසුගියදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය වැඩමුළුවකදී අදහස් දැක්වූ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් පැවසුවේ දැනට ලැබී ඇති කාලගුණ දත්ත හා තොරතුරු අනුව ලබන ඔක්තෝබර් නොවැම්බර් මාසවල ලැබීමට නියමිත අන්තර් මෝසම් වැස්ස ලැබිය යුතු අන්දමින් ලැබෙනු ඇති බවයි. ඒ සමඟම ලබන දෙසැම්බර් සිට 2018 පෙබරවාරි දක්වා ලැබීමට නියමිත අන්තර් මෝසම් වැසි ද නිසි පරිදි හැකි බව ද කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවැකි පළ කරයි. කෙසේ වුවත් ඉදිරි මාසවල ලානිනා තත්ත්වයක් ඇතිවීමේ යම් සම්භාවිතාවක් ඇති බවත් එසේ වූවොත් අන්තර් මෝසම් වැස්ස අඩු වනු ඇති බවත් ප්‍රේමලාල් මහතා පවසයි.

මේ අතර පොදුවේ ලබන මාස දෙක ඇතුළත අපේ රටට අධික වැසි අකුණු සුළි සුළං ටොනේඩෝ වැනි ආන්තික කාලගුණ තත්ත්ව ඇතිවීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ (අනාවැකි) අනුෂා වර්ණසූරිය මහත්මිය පෙන්වා දෙන්නීය.

කෙසේ වුවත් මේ මාසේ ලැබීමට නියමිත දෙවැනි අන්තර් මෝසමෙන් අපේ රටට ලැබිය යුතු වැස්සෙන් 30%ක් ලැබීමට නියමිතය. මේ ඔක්තෝබර්, නොවැම්බර්වල ලැබෙන මේ වැස්ස නිසා අපේ රටේ තරමක් ආපදා ඇතිවීමට ඉඩ ඇති අතර ඊට මුහුණ දීමට සූදානම් විය යුතුව ඇත.

කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) අතුල කරුණානායක මහතා පවසන පරිදි ඉදිරි මාස දෙක ඇතුළත අකුණු හා ටොනේඩෝ ද බහුලව ඇතිවීමට පුළුවන. ඒ පිළිබඳ සැවොම අවධානය යොමු කළ යුතුය. ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුය.

අපේ රටේ තැන තැන ඉදිවී ඇති සන්නිවේදන කුලුනු හරියට ප්‍රමිතියට අනුව ඉදිකර ඇත්නම් ඒ අවට කුලුනේ උසට සමාන අරයක් ඇති ප්‍රදේශයක සිටින සියලු චංචල නිශ්චල හා ජනතාව අකුණුවලින් ආරක්ෂිතය.

ඊට අමතරව විද්‍යානුකූල ලෙස අකුණු සන්නායක සවි කිරීමෙන් ද නිවාසවලට ආරක්ෂාව සකසාගත හැකිය. අතුල කරුණානායක මහතා පවසන පරිදි මේ සන්නිවේදන කුලුනුවලට විදුලිය ගන්නා ට්‍රාන්ස්ෆෝමරය මඟින්ම අවට නිවාසවලට විදුලිය ගන්නේනම් සන්නිවේදන කුලුනට අකුණු වදින විට එය අවට නිවාසවල විදුලි උපකරණවලට යම් බලපෑමක් එල්ල කරන තත්ත්වයක් ඇත. ඒ සඳහා ප්‍රදේශවාසීන් එක්ව විදුලිබල මණ්ඩලයට දන්වා වෙනත් මාර්ගයකින් විදුලිය ලබාගත යුතුව තිබේ.

අපේ රටේ දැනට වැඩිම වැස්ස ලැබෙන ස්ථානය ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හඳුන්වා දෙන්නේ මාලිබොඩයි. වසරකට ලැබෙන වැස්ස ප්‍රමාණය මි. මී. 5300 කි.

එමෙන්ම 2003 මැයි 17 වැනිදා දෙනියායට වාර්තාගත වැස්සක් ලැබී ඇත. ඒ. ප්‍රමාණය මි. මී. 734 කි. ඊට පසු 2016 මැයි 25 කුකුළේගඟ ප්‍රදේශයට පැය කීපයක් ඇතුළත මි. මී. 553.5 ක වැස්සක් ලැබී ඇත. දැනට ලැබී ඇති තොරතුරු අනුව අපේ රටේ වැඩිම අකුණු ගහන ප්‍රදේශය අයගමයි. යටියන්තොට, බුලත්කොහුපිටිය වැනි ප්‍රදේශවලට ද අකුණු බහුලය. ඊට අමතරව ඔක්තෝබර් මස 10 පමණ සිට සවස 5 හා සවස 8 අතර රටේ තෙත් කලාපයට අකුණු වැඩිපුර ලැබීමේ ඉඩකඩ පවතී. කෙසේ වුවත් ඉදිරියේදී අකුණු වැඩිපුර ලැබෙන්නේ සවස 5 - 9 කාලයේ බව ද මතක තබා ගත යුතුය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේ රටේත් ඉන්දියාවේ කාලගුණ මධ්‍යස්ථානයේත් උදවු ඇතිව අලුත් නිවැරැදි දත්ත අනුව කාලගුණ අනාවැකි ජනතාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබේ.

ඒ සඳහා කොළඹ ප්‍රධාන කාර්යාලය ප්‍රාදේශීය කාලගුණ තොරතුරු මධ්‍යස්ථාන 23ක් හා තවත් විවිධ ආයතන හා පුද්ගලයන්ගේ පූර්ණ සහාය ලබාගනු ලැබේ.

කෙසේ වුවත් රටේ සියලු ක්ෂේත්‍ර කෙරේම බලපාන රටේ කාලගුණය ගැන නිවැරැදි තොරතුරු දීම කාලගුණ දෙපාර්තමේන්තුවේ යුතුකම වන අතර ඒ අනුව අපේ ජීවිත ඊට මුහුණ දීමට හැඩගස්සා ගැනීම අපේ කාර්යභාරය වේ.

නිහාල් පී. අබේසිංහ

Comments