අලිගම්බේ මේ ලඳුන් හෙටත් බිළී බෑ යුතුද? | සිළුමිණ

අලිගම්බේ මේ ලඳුන් හෙටත් බිළී බෑ යුතුද?

 අලිගම්බේ කඳුවැටිය ඉහත්තාවෙන් නිල් අහස පෙනෙයි. හිරු රැසින් මලානික වූ ගහකොළ ඉඳහිට හමන සුළගට සෙලවෙයි. නියං සමයට දියකඩිති සිඳීගොස් බීමට වතුර බිඳක් ඉතිරි නොකළද අලිගම්බේ මිනිස්සු නිල් අහසට ගතු නොකිහ. නියං සායට බීමට දිය බිඳක් සොයා ඔවුහු බොහෝ දුරබැහැර ඇවිදිති. මේ ගමේ ගැහැනු ජීවත් වීම සඳහා ගමින් පිටතට ගොස් සාස්තර කියති; එසේ නොමැති කාලවල අලිගම්බේ කුඩා ඇළෙහි මාළු අල්ලති. ඔවුන්ගේ දරුවෝ අලිගම්බේ වැව් දියට පින් සිදු වන්නට යාන්තම් හුස්ම ගනිති.

සාගම අලිගම්බේ ප්‍රදේශයේ සිට දෙපසින් එක දිගට විහිදුණු කෙත්යායක් මැදින් වැටී ඇති පටු මාගෙහි අපි මේ ගම්මානය සොයා ගියෙමු. මාළු අල්ලන දසුන අපට සුපුරුදුය; එහෙත් කාන්තාවන් බිළීබෑම ආගන්තුකය. මේ ගමෙහි පටුමගෙහි දෙපස හමු වන කුඩා ඇළ මාර්යෙහි හිමිදිරියේ සිට මාළු අල්ලන ගැහැනුය. ගෙපිල සිට අල්ලාගත් මාළු අලු අතර රඳවමින් මාළු තෝරන ගැහැනුය. මේ ගමට ඉඳහිට පැමිණෙන පිටස්තරයන් වන අපට අරුමයක් වුවද ගම්මුන්ට මෙය සුලබ දසුනකි.

අම්පාර දිස්ත්‍රික්කයේ කිලෝ මීටර හතළිස් පහක් පමණ දුරක් ගමන් කළ විට හමු වන ආලිගම්බේ ආලියඩිවෙම්බු ගම අතිදුෂ්කරය. මේ ගම්මානයේ ජීවත් වන්නෝ තෙළිගු (අහිකුණ්ඨික) ගෝත්‍රික වැසියෝය. අනෙත් මිනිසුන්ගෙන් වෙන්ව ජීවත් වන මේ ගමේ නිවෙසක් යැයි කිව හැකි කිසිවක් නැත. එක ගොඩේ සාදන ලද පැල්පත් කිහිපයකි. ගමට විදුලි එළියක් හෝ නිසි මංමාවතක් නැත. බීමට ජලය පොදක් සොයාගැනීමත් අසීරුය. තෙළිගු දේශයේ සිට මෙරටට පැමිණි මේ මිනිසුන් පිළිබඳ කිසිවකුගේ අවධානය යොමු නොවූ සේය.

පසුගිය යුද සමයේ ඔවුහු බොහෝ කාලයක් ත්‍රස්තවාදයෙන් බැටකෑහ. තිරුක්කෝවිල් කදවුරේ වසර හතකට වඩා කාලයක් සිටි ඔවුන් නැවත අලිගම්බේ ගමට පැමිණෙන විට අලිගම්බේ ගම්වැසියන්ගේ ගෙවල් දොරවල් වල් බිහි වී, ගම කැලයට බිලි වී තිබිණි. නැවත ගොඩනගාගත් පැල්පත්වල ජීවත් වන මොවුන්ට මූලික අවශ්‍යතා සපුරාගැනීමටවත් කිසිදු ආදායමක් නැත; වගා කිරීමට තමන්ට කියා ඉඩමක් නැත.මේ ගම්මානයේ පවුල් 350කට අධික ප්‍රමාණයක් වෙසෙති. රාජ්‍ය නොවන ආයතනවලින් එක පෙළට සාදන ලද කුඩා ස්ථිර නිවාස 50ක් පමණ පසු ගිය කාලයේ ඉදි කර දී ඇත. ඒත් තවමත් අතිබහුතරයක් ජීවත් වන්නේ තාවකාලික පැල්පත්වලය. පොල් අතු හෙවිලි කළ නිවාස රැසකි. ජීවත් වීම සදහා ඇතැම් පිරිමි තවමත් ඉඳහිට නයි නටවමින් ගැහැනුන් සාස්තර කියමින්ද ගමින් ගමට යති. මේ ගම්මානයේ ස්ථීර රැකියාවක් නැතිව ජීවත් වන මේ ජනයා ඇතැම් විට කරන්නට කිසි දෙයක් නොමැති කල්හි ගමින් ගමට ගොස් කුලී වැඩ කරති.

"මගේ ගම අනුරාධපුරයේ. මම ගියේ සිංහල පාසලට. මට තෙළිගු භාෂාවත් හොඳට කථා කරන්න පුළුවන්. මම බැන්දට පස්සේ තමයි අලිගම්බෙට අවේ. මේ ගම්මානයේ අය බොහෝ දෙනෙක් එදාට ලැබෙන කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. ගැහැනු මාළු අල්ලන්න හුරු වෙලා ඉන්නේ දුප්පත්කම නිසයි. අපිත් ඉඳලා-හිටලා කුලියක් ලැබුණොත් කීයක් හරි හොයාගන්නවා. කුඹුරුවල තණකොළ ගලවනඑක තමයි අපට ලැබෙන ලොකුම කුලී වැඩ. ගොඩක් ළමයි ලොකු පන්තිවලට එද්දි ඉස්කොලේ යන්නේ නැහැ. මේ ආකාරයෙන් අපේ ගමේ විශාල ගැටලු රැසක් තියෙනවා. ඒ නිසා අපේ ගම්මානයේ කාන්තාවට ස්වයං රැකියාවන් කරන්න වැඩ පිළිවෙළක් හදලා දෙන්න..." ඇය පවසන්නට වූවාය. ගිනි අව්වේ පිච්චෙමින් මේ ගමේ කාන්තාවන් ජීවත් වීමට කරන සටන ගමේ කාන්තාවක එම් නිරෝෂණි ඔවුන්ගේ දුක පැවසුවාය.

මේ ගමට පාසලක් තිබීම දරුවන්ගේ වාසනාවකි. එම නිසා මෙම මවුපියන්ද කෙසේ හෝ තම දරුවන් පාසල් අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ දරති. ඇතැම් දරුවෝ ඉහළ පන්තිවලට එන විට සමහරකු නිසි ලෙස අධ්‍යාපනය නොලබන අවස්ථාද ඇත. මේ ගමේ අධ්‍යපනය ලැබූ ඇතැම් දරුවෝ අධ්‍යපනය ලබා රජයේ රැකියාවන්හි නියැළෙන අවස්ථාද ඇත.

"අපේ ගම්මානේ ස්ථිර නිවාස නැති අය 300ක් විතර ඉන්නවා. කුලී වැඩක් කරලා තමයි ජීවත් වෙන්නේ. කාටවත් ස්ථිර රැකියා නැහැ. මොනවත් රස්සාවක් නැති වෙලාවට අපේ ගෑනු උදවිය යාන්තමින් මාළුවෙක් අල්ලලා හරි වේල පිරිමහගන්නවා. ගමට ලංගම බස් රථයක් දවසකට වතාවක් එනවා. එහෙම නැති වුණාම සැතපුම් තුනක්-හතරක් පයින්ම අක්කරපත්තුව හෝ සාගම ප්‍රධාන මාර්ගයට යන්න සිදු වෙනවා. ගමට එන පාර කැඩිලා. මීට වසර කිහිපයකට කලින් හැදුවා. ආයෙත් හොඳටම අබලන් වෙලා තියෙනවා..." අලිගම්බේ චන්දසේකරන් පවසන්නට වූවේය.

මේ වන විට ගම්වාසීන් බොහෝ දෙනකු ක්‍රිස්තියානි ආගමට බැඳී ඇත. ආගමක් ලෙස ඔවුහු ක්‍රිස්තියානි ආගම අදහති. මේ ජනයාගේ සාම්ප්‍රදායික සිරිත්-විරිත් ටිකෙන් ටික වියැකී යමින් තිබේ.

"හැන්දෑවට අපේ ගම්මානයට අලි එනවා... අපි හරිම බයෙන් තමයි ජීවත් වෙන්නේ. මේ වන විට එක් අයෙක් අලි ගහලා මැරුණා. අනෙක් අයට තුවාල සිදු වුණා. එම නිසා රාත්‍රී වෙද්දි අපිට හරිම බයෙන් ජීවත් වෙන්නේ. මෙම අලි ගැටලුවට ඉතා ඉක්මනින් විසඳුමක් දෙන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වාගේම ගමේ තිබෙන විවිධ අඩුපාඩු සකස් කරලා අපටත් අනෙක් මිනිසුන් ලෙස ජීවත් වෙන්න උදව් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා" යැයි එම්. ආලිගම්බේ නිරෝෂණ පවසයි.

"මම නයි නටවලා තමයි ජීවත් වෙන්නේ. මාසයකට දින හත-අටක් තමයි මේ ආකාරයෙන් නයි නටවන්න යන්නේ. ඒ ගියත් ගොඩක් දවස්වලට ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ. එකෙන් ජීවත් වෙන්න ඉතා අපහසුයි. කලාතුරකින් සාමාන්‍ය මුදලක් හොයාගන්න පුළුවන් අවස්ථාවනුත් තියෙනවා. එම නිසා අපේ ගමේ තිබෙන අඩු-පාඩු ටික හදලා අපට ජීවත් වෙන්න හැකි ආකාරයෙන් උදවු කරන්න. එහෙම වුණොත් අපේ ගෑනු අයට මේ විදිහට මාළු අල්ලන්න ඕන නැහැ. නැති-බැරිකමටයි මේ හැම දේම කරන්නේ..." විලයාඩිපිල්ලේ අදහස් දක්වන්නට වූවේය.

මේ අකාරයට අලිගම්බේ ජනතාවට මහත් ගැටලු රැසක් ඇත. බලධාරීන්ගේ අවධානයට යොමු නොවූ මේ මිනිස්සු ජීවත් වීමේ සටනක යෙදෙති. ඔවුන්ට සිහින මාලිගා නැත. ජීවත් වීමට මඟක් සොයන අලිගම්බේ මිනිසුන්ට පිළිසරණක් විය හැකි නම් එය ඔවුන්ට ප්‍රමාණවත්ය.

සුභද්‍රා දේශප්‍රිය 

Comments