
පසුගිය කන්න කිහිපය තුළ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ ආහාර නිෂ්පාදනයේ ඇතිවූ පසුබෑම වළක්වාලීමේ අරමුණින් රජය ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇත.
ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ සමාරම්භක උලෙළ මහවැලි හුරුළුවැව කලාපයේ මඩාටුගම කොට්ඨාසයේ තිබ්බටුවැව දී ඔක්තෝබර් 6 වැනිදා පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ‘යළි අපි නැගිටිමු - අටුකොටු පුරවමු’ යන්න මෙවර ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ තේමාව වේ.
අපේ රට බත බුලතින් ස්වයංපෝෂිත කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව ක්‍රියාත්මක මෙම ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය වෙනුවෙන් මහවැලි අධිකාරිය මහවැලි සතියක් ප්‍රකාශයට පත් කර ඇතැයි මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න මහතා පවසයි.
ඒ අනුව 2017/18 මාස් කන්නයේ ආහාර නිෂ්පාදනයේ නව ප්‍රබෝධයක් ඇති කරලීම හා වස විසෙන් තොර ගුණාත්මක ආහාර මහවැලි කලාප තුළ නිෂ්පාදනය කිරීම අරමුණු කරගෙන මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ. මේ යටතේ ඔක්තෝබර් 5 සිට ඔක්තෝබර් 12 දක්වා මහවැලි කලාපවල විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇතැයි ද ගෝඨාභය ජයරත්න මහතා පවසයි.
මේ යටතේ ඔක්තෝබර් 5 වැනිදා ආගමික දිනය ලෙස සිංහපුර කොට්ඨාසයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් හා අවුකනදී වැසි පිරිත හා ආගමික පූජා පැවැත්වීම් සිදු කෙරේ.
ඔක්තෝබර් 6 වැනිදා ජාතික ගොවි දිනය වන අතර එදින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහ වප් මඟුල් උලෙළ හුරුළුවැව තිබ්බටුවැවදී පැවැත්වේ. ඊට සමගාමීව 2017/2018 මහ කන්නයේ වගා සැලැස්ම ප්‍රකාශයට පත්කිරීම, ඉඩම් ඔප්පු ප්‍රදානය, මහවැලි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම 2017/18 මහ වගා කන්නයට නිසි ලෙස සැරසෙමු යන තේමාව යටතේ ගොවීන් දැනුවත් කිරීම හා වලව කන්නයේ වගා රෝපණ ද්‍රව්‍ය ලබාදීම හා අඹ පැළ 5000ක් ගොවීන් වෙත ලබාදීම සිදු කෙරේ. ඔක්තෝබර් 7 වැනිදා මහවැලි සතියේ පරිසර දිනය ලෙස ක්‍රියාවට නංවා ඇත. මේ යටතේ රඹකැන් ඔය කලාපයේ රුක් රෝපණ වැඩ සටහන හා යෝධ නිදිකුම්බා මර්දනය වැඩ සටහන් ද පැවැත්වේ.
ඔක්තෝබර් 10 වැනිදා මහවැලි සතියේ ධීවර දිනය වන අතර ඒ දිනයේදී මොරගහකන්ද ජලාශයේ ජලජීවි වගා ආරම්භ කිරීම සිදු කෙරේ. එහිදී මිරිදිය මත්ස්‍ය ඇගිල්ලන් ලක්ෂ 3ක් මුදා හැරීමේ වැඩ සටහන ක්‍රියාවට නංවනු ලැබේ.