
පසුගියදා ඉන්දුනීසියාවේ පැවති හොඳම නව්‍යකරණ සම්මාන උලෙළේදී රටවල් 1500ක් අතුරින් හොඳම නව නිපැයුමට හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට හිමි විය. එම සම්මානය දිනාගනු ලැබුවේ මේ තරගාවලිය සඳහා සහභාගි වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ තේනුක සත්සර සිසුවා විසිනි. ඒ සඳහා ඔහු ඉදිරිපත් කර තිබූ නව නිපැයුම වූයේ රථ වාහනවල දෝෂ හඳුනාගැනීමේ උපාංගයකි.
මේ උපාංගය 1996 වසරෙන් පසු නිෂ්පාදිත ඕනෑම වාහානයකට සවි කළ හැකි අතර, එයට හේතුව වන්නේ 1996න් පසු නිෂ්පාදිත වාහනවල OBD2 පද්ධතිය අඩංගු වීමය. තේනුක සත්සරගේ නිෂ්පාදනය පෙනුමෙන් කුඩා පෙට්ටියකට සමාන වන අතර, මේ උපකරණය වාහනයේ OBD2 පද්ධතියට සම්බන්ධ කළ යුතුය. මෙහිදී අදාළ තොරතුරු ලබාගැනීමට අවශ්‍ය වේලාවද සටහන් කළ යුතු අතර, ඉන් පසු එලෙස ලබා දෙනු ලබන වෙලාවට අදාළව උපකරණය විසින් රථය සම්පූර්ණයෙන් ස්කෑන් කරනු ලැබේ.
මේ ස්කෑන් කිරීමේදී රථයේ කිසියම් දෝෂයක් වේ නම් එය හඳුනාගෙන, ලබා දී ඇති දූරකථනයට කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දෙනු ලැබේ. එමෙන්ම රථය ධාවනය වෙමින් පවතින අවස්ථාවකදී වුව කිසියම් දෝෂයක් ඇති වුව හොත් එය හඳුනාගෙන කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දීමට මේ උපකරණයට හැකියාව තිබේ. තේනුක සිසුවාගේ මේ උපකරණය රන් සම්මානයෙන් පුද ලබන අතරම තරගාවලියට සහභාගි වන රටවල් පහක් සඳහා පිරිනැමෙන විශේෂ සම්මාන අතුරින් හොඳම නව්‍යකරණ නව නිපැයුම සඳහා වන රන් සම්මානයද හිමි කරගැනීමට සමත් විය. මේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් රන් සම්මාන හතරක්, රිදී සම්මානයක් හා ලෝකඩ සම්මානයක්ද හිමි විය.
ටිරෝනි