
උතුරුමැද හා නැගෙනහිර ප්‍රදේශවල අක්කර 15000 ක් යල මහ අස්වද්දන ගංවතුර වළක්වන යාන් ඔය වාරි ව්‍යාපෘතියේ වැඩ කටයුතු දැනට සියට 65 ක් අවසන් බවත් ඒ සඳහා රුපියල් කෝටි 3600 ක් වැය කළ බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. අනුරාධපුර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මායිමේ ගොමරන්කඩවල ප්‍රදේශයේ මෙය ඉදිවෙමින් පවතී.
උතුරුමැද හා නැගෙනහිර පළාත්වල දැනට ක්‍රියාත්මක ලොකුම වාරි ව්‍යාපෘතිය වන “යාන් ඔය වාරි ව්‍යාපෘතිය” මඟින් මෙරට ප්‍රථම වරට කිලෝමීටර් 6 ක් දිග වේලි 5 ක් ඉදිකර ඇතැයි ද යාන් ඔය ජලාශ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු එම්.යු. හේමකුමාර මහතා පවසයි.
වේලි ඉදිකිරීමේ කටයුතුවලින් දැනට සියයට 95 ක් අවසන් අතර වම් ඉවුර ඇළ කිලෝමීටර් 20 ක් දිගට හා දකුණු ඉවුර ඇළ කිලෝමීටර 10 ක් දිගට දැනට ඉදිවෙමින් පවතී.
ඉහත සඳහන් කළ කිලෝමීටර 6 ක් දිග වේලි මඟින් යාන් ඔය හරස්කර ඉදිකරනු ලබන ජලාශය අක්කර අඩි 150000 ක වපසරියකින් යුක්ත බවත් එය පරාක්‍රම සමුද්‍රයට වඩා විශාල බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පවසයි.
මෙම ජලාශ ව්‍යාපෘතියේදි ප්‍රධාන ලෙස සිදු කරන්නේ යාන් ඔය හරහා කිලෝමීටර 2.1 ක් දිග ප්‍රධාන වේල්ල හා තවත් සැදැලි වේලි 5ක් ඉදිකර අක්කර අඩි 150000 ක් විශාල ජලාශයක් ඉදිකර නැගෙනහිර පළාතේ හා උතුරු මැද කෙළවර මායිමේ ගිනිකොණ ප්‍රදේශයේ ඉඩම් සංවර්ධනයයි. ඊට අමතරව මෙතෙක් වාර්ෂිකව නොවැම්බර්, දෙසැම්බර් මාසයේ මේ ප්‍රදේශයේ පවතින ගංවතුර හා පිටාර වතුර ඇතිවීම වැළැක්වීමටත් ඉහත ප්‍රදේශවල යල කන්නයේ ඉඩම් අක්කර 10000 ක් අස්වැද්දීමත් නව ව්‍යාපෘතියෙන් සිදුවන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ එම්.යු. හේමකුමාර මහතා පවසයි.