සාහිත්‍යයට නව ඩයිනෝසෝර අන්දරයක් | සිළුමිණ

සාහිත්‍යයට නව ඩයිනෝසෝර අන්දරයක්

නව මාධ්‍යය ලොව පුරා ප්‍රචලිත වීමත් සමග එය නූතන ජන ජීවිතය තුල සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරමින් සිටී. විශේෂයෙන්ම තොරතුරු සන්නිවේදනයේ දි අද එය බහුජන මාධ්‍යයට වඩා වේගවත් වී ඇති අතර පුද්ගල හා සිද්ධි ජාලකරණය ද අලුත් අත්දැකීමක් ලෙස සමාජ ගත විය. සමාජ මාධ්‍යය අද වන විට ඕනෑම සමාජයක් තුළ සුවිශේෂ සන්නිවේදන කාර්යයක් ඉටු කරයි. වර්තමානය වන විට සමාජ ජාලයන් ලොව පුරා ව්‍යාප්ත වි ඇති ආකාරය අනුව මෙහි ප්‍රබලත්වය වටහා ගත හැකිය. 2017 පළමු කාර්තුව වන විට ලෝකයේ ෆේස් බුක් සමාජ ජාලකරණ මාධ්‍යය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව බිලියන 1.94 කි. එසේ ම බිලියනයකට අධික ප්‍රමාණයක් යූ ටියුබ් චැනලය භාවිත කරති. බිලියන 5ක වීඩියෝ වැඩසටහන් මේ හරහා ලොව පුරා හුවමාරු වේ. ට්විටර් භාවිතා කරන්නන් මිලියන 328 ක් වන විට ඉන්ස්ටර්ග්රෑම් භාවිතා කරන්නන් මිලියන 700 කි. මේ දත්තයන් අනුව පැහැදිලි වන දෙයක් වන්නේ නූතන සමාජයේ දී සමාජ අන්තර් සම්බන්ධතාවන් සක්‍රීය කිරීමට හා තොරතුරු හුවමාරු කිරීම වේගවත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරනු ලබන බවයි.

අප වර්තමානයේ ගෙවා දමමින් සිටින්නේ දෘශ්‍ය යුගය (Visual Age) යි. මේ නිසා කනට වඩා බලවත් වන්නේ ඇසයි. දැකීම ප්‍රබල වෙයි. මේ නිසා වර්තමානයේ නව මාධ්‍ය අතර දෘශ්‍ය මාධ්‍ය වඩාත් ප්‍රබල වේ. සමාජ මාධ්‍ය වැටෙන්නේ ද මේ දෘශ්‍යයමය කොටසට යි. විශේෂයෙන් ම ෆේස් බුක්, යූ ටියුබ් හා ඉන්ස්ටර්ග්රෑම් මෙහිදී ප්‍රබල ම සමාජ මාධ්‍ය බවට පත්වන්නේ ඒ නිසා ය. ශ්‍රී ලංකාව තුළ ද මේ සමාජ මාධ්‍යය වඩාත් පුළුල් ව හා ප්‍රබල ව භාවිතා වේ.

සමාජ මාධ්‍ය ජාලයන් මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළ පුළුල් ව පැතිර යෑමට පටන් ගැනුණේ සුහුරු ජංගම දුරකථන (Smart Mobile Phones) පොදු සමාජය තුළ බහුල ව භාවිතයට පැමිණීමත් සමඟ ය. මේ නිසා පුරවැසියාට ස්වකීය අදහස් ප්‍රකාශ කිරිමට හා එය පොදු සමාජයට සන්නිවේදනය කිරිමට පුළුල් අවස්ථාවක් උදා වී තිබේ. මෙය සාහිත්‍ය හා මාධ්‍යය ප්‍රජාතන්ත්‍රවාදය පුළුල්වීමක් ලෙසයි බොහෝ විචාරකයන් සලකන්නේ. ප්‍රකට නිර්මාණ අධ්‍යක්ෂවරයකු වන පියුස් පාණ්ඩේ පවසන්නේ සමාජ මාධ්‍ය නිසා ඕනෑ ම කෙනකුට එක ම අවස්ථාවේ දී ම තමන්ට ම රචකයා ද, සංස්කාරකවරයා ද, ප්‍රකාශකයා ද විය හැකි බවයි. මෙය මෙතෙක් කිසිම මාධ්‍යයක දී රචකයාට අත්විදීම නොලැබුණු අත්දැකීමකි. මෙතෙක් බහුජන මාධ්‍යය තුළදී ප්‍රකාශකයා හෝ රචකයා තමන්ගේ අදහස පොදු සමාජය වෙත සන්නිවේදනය කළේ වෙනත් කෙනකු මඟිනි. නමුත් සමාජ මාධ්‍යය තුළදී තමන්ගේ ම අවකාශයක තමන්ගේ සැබෑ අදහස කිසිදු සංස්කරණය කිරීමකින් තොරව පොදු සමාජය වෙත සන්නිවේදනය කිරීමේ ප්‍රජාතන්ත්‍රීය නිදහස තමන්ට උරුම වී තිබේ. නමුත් එම නිදහස භාවිත කිරීමේ ස්වයං සීමාවන් තමන් ම පනවා ගත යුතු වන්නේ ඒ ඒ සමාජ සංස්කෘතික පරිසරයන්ට අනුකූල ව ය. නමුත් සමාජ මාධ්‍යය භාවිතයේදි එය එලෙසින් සිදුවනවාදැ යි වෙනම ම සාකච්ඡාවට බදුන් කළ යුතුය.

සාහිත්‍ය කෙරෙහි ඇති කරන බලපෑම

සමාජ මාධ්‍යය යනු සැබෑ සාහිත්‍යය නොවේ. නමුත් එය නිර්මාණශීලී පුද්ගලයකුගේ අදහස් ප්‍රකාශ කිරීම, සිය නිර්මාණශීලිත්වය වඩවා ගැනීම, සහභාගිත්වය හා සහයෝගිතාව පිළිබද නව්‍ය හා ආකර්ෂණීය අවස්ථාවක් උදාකර දී තිබේ. අපගේ භාෂා භාවිතය හා අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳ නැවත සලකා බැලීමට අවස්ථාව අපට උදාවී ඇත්තේ සමාජ මාධ්‍යය භාවිතය නිසා ය. මාධ්‍යය ද හා නිර්මාණශීලිත්වය පිළිබඳ නැවත සිතීමට ද සමාජ මාධ්‍යය හරහා අවස්ථාව ලැබේ. ඇතැම්විට සැබෑ සාහිත්‍ය යන්න පිළිබඳ දැනට ඇති නිර්වචන අලුත් කිරීමට ද ඇතැම් විට අනාගතයේ දී සිදුවෙනු ඇත. කෙසේ වෙතත් සමස්ත සමාජය කෙරෙහි ද එහි අනුෂාංගික අංග කෙරෙහි ද තීරණාත්මක බලපෑමක් කිරීමට සමාජ මාධ්‍යයන්ට අද හැකි වී තිබේ. මේ නිසා සාහිත්‍ය කලා කටයුතු කෙරෙහිද එය කරනු ලබන බලපෑම මොහොතින් මොහොත තීව්‍ර වෙමින් පවතී. සමාජ මාධ්‍ය සාහිත්‍ය කෙරෙහි සිදු කරනු ලබන බලපෑම ධනාත්මක හා ඍණාත්මක ලෙස කොටස් දෙකකින් සාකච්ඡා කළ හැකිය.

ධනාත්මක බලපෑම

ශ්‍රී ලංකාවේ බොහෝ සාහිත්‍ය නිර්මාණකරුවන් දීර්ඝ කාලයක් පුරා මුහුණ දුන් ප්‍රධාන ම ගැටලුවක් වූයේ සිය ප්‍රකාශනය පොදු සමාජය වෙත රැගෙන යෑමට මාධ්‍යයක් නොතිබිමයි. පැවති බහුජන මාධ්‍ය වන පුවත්පත්, ගුවන් විදුලිය හා රූපවාහිනියෙන් ලැබුණේ සිමිත ඉඩ අවකාශයක් පමණි. ඒවායේද සාහිත්‍ය කලා වැනි විෂයයන්ට ලබා දී තිබුණ ඉඩකඩ සීමාසහිත විය. තමන් විසින් ම පොතක් ලෙස සිය නිර්මාණ මුද්‍රණය කරන්නේ නම් ඒ සදහා විශාල බරපැනක් මෙන්ම බෙදාහැරීමේ ජාලයක් අවශ්‍යය විය. මේ නිසා බොහෝ කුසලතා පූර්ණ රචකයෝ, නිර්මාණකරුවෝ සිය හැකියාවන් වැළලී යන්නට ඉඩහැර සිටියෝ ය. නමුත් සයිබර් අවකාශය හා ඒ හා ගොඩනැගුණු සමාජ ජාලකරන අවස්ථා නිසා මේ තත්ත්වය නව ස්වරූපයකින් වෙනස් වෙමින් පවතී. විශේෂයෙන් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යය ජාලයකදී එය බෙහෙවින් තීරණාත්මක බවද හදුනාගත හැකිය. විශේෂයෙන් වෙෙළඳ දැන්වීම් හා වෙනත් පණිවිඩ රැගෙන යෑමට සමාජ ජාල භාවිත කරන්නේ නම් නිර්මාණාත්මක ලියන්නකුට සිය නිර්මාණ, අදහස් හා පණිවිඩ රසික සමාජය වෙත රැගෙන යෑම සඳහා සමාජ මාධ්‍ය භාවිත කළ නොහැක්කේ ඇයි ද යන ප්‍රශ්නය නැඟිය හැකිය. පුවත්පත් හා සඟරා මඟින් සිය සාහිත්‍ය නිර්මාණ රසිකයා වෙත ගෙනයෑමේදී සාහිත්‍යකරුවා මුහුණපාන ප්‍රධාන ගැටලුව වන්නේ, ඒවායේ ඉඩකඩ සීමිත වීම හා පුවත්පත් සඟරා සංස්කාරකවරුන්ගේ මෙන්ම ආයතන හිමිකරුවන්ගේ දෘෂ්ටිවාදමය සීමාවනුත් ය. නමුත් ස්වාධීන ව පොතක් මුද්‍රණය කිරීම යනු තමන්ගේ ම වැඩකි. ඒ සඳහා විශාල මුදලක් සාපේක්ෂ ව ආයෝජනය කිරීමට සිදු වේ. එය දැරීමට නොහැකිවීම හා බෙදාහැරීමේ යාන්ත්‍රණයක් නොමැතිවීම වැනි කාරණා නිසා සාහිත්‍යකරුවා මන්දෝත්සාහි වේ. ප්‍රකාශකයකු හරහා ඒ දේ කරගැනීමටත් අලුත් නිර්මාණකරුවකුට නොහැකිය. නව නිර්මාණකරුවකුගේ කෘති අලෙවි කරගැනීමට අපහසු ය යන පූර්ව උපකල්පනය පොදු පිළිගැනීම නිසා ප්‍රකාශකයන් ද එවැනි නිර්මාණකරුවන් ගේ කෘති ප්‍රකාශයට පත්කිරීමට මැළි වේ. මෙවැනි අවකාශයක සමාජ මාධ්‍යය පැමිණීම නිසා නිර්මාණකරුවන්ට අලුත් කවුළුවක්, ඉඩක් නිර්මාණය විය. සිය නිර්මාණාත්මක හැකියාවන් මේ හරහා සමාජ ගත කිරීමේ අවස්ථාව උදා විය. මේ සමාජ මාධ්‍ය සාහිත්‍ය ක්ෂේත්‍රයට කරනු ලබන්නේ ධනාත්මක බලපෑමකි.

අනෙක් අතට නවක නිර්මාණකරුවන් සිය සාහිත්‍යකරණය අභ්‍යාස කිරීම සදහා ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය ජාලයක් අපූරු වැඩබිමක් බවට පත් කරගත හැකිය. නමුත් එය දැනුවත් ව කළ යුතු දෙයකි. සිය නිර්මාණයක් අන්තර්ජාලයේ පළ කළ පසු ඊට ලැබෙන ප්‍රතිචාර විමසිල්ලෙන් සලකා බලන්නේ නම් තමන්ගේ අඩුපාඩු සකසාගෙන සිය සාහිත්‍යකරණය වඩා ප්‍රශස්ත මට්මකට පත්කර ගැනිමට මේ මඟින් ඉඩ සාදාගත හැකිය. මේ නිසා නූතන පත්තර වලින්, ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන් නොලැබෙන අභ්‍යාස අවකාශයක් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයකින් තමන්ට ම සකස් කරගත හැකි වේ. තමන් මෙසේ ලියන දෙයට තමන්ට ඉතා වේගවත් ඍජු ප්‍රතිචාර ලැබිමක් ද අන්තර්ජාලයෙන් උදා කරගත හැකිය. අනෙක් මාධ්‍ය මඟින් එවැනි දෙයක් ලබාගත හැකි නොවේ. මෙසේ ලැබෙන ප්‍රතිචාර විමසිල්ලෙන් සැලැකිල්ලට ගැනිමට නිර්මාණකරුවා සමත් වන්නේ නම් සිය නිර්මාණාත්මක භාවිතය ඉහළ තලයකට ගෙන ඒමට අවස්ථාව උදා වේ. මේ ආකාරයට සිය නිර්මාණ කුසලතා වර්ධනය කරගෙන සම්මානයට පවා පාත්‍ර වු සාහිත්‍යකරුවන් ශ්‍රී ලාංකික සාහිත්‍ය ක්ෂේත්‍ර මෑත දී බහුලවීම මීට දිය හැකි හොඳ ම උදාහරණයයි. විශේෂයෙන් ම කාව්‍ය ක්ෂේත්‍රයේ මෙය වෙන ම ම හඳුනා ගත හැකි ලක්ෂණයකි.

ෆේස්බුක් වැනි මාධ්‍යයක් අනෙක් අතට සාහිත්‍ය කෘති අලෙවි කරගැනීමේ අලෙවි උපක්‍රමයක් ලෙස ද දැනුවත් ව භාවිත කළ හැකි වේ. තමන්ගේ කෘතිය පිළිබඳ පොදු සමාජයේ දැනුවත්බවක් ඇති කිරීමටත්, එය මිලදි ගැනීමට පොලඹවා ගත හැකි ප්‍රචාරණ උපක්‍රම වරින් වර භාවිත කිරිමටත් මෙම නව මාධ්‍යයෙන් අවස්ථාව උදා වේ. එය වෙනත් බහුජන මාධ්‍යයකින් ලබා ගැනිමට නොහැකි මහගු අවස්ථාවකි. මෙය ඉතා ම උපක්‍රමශීලී ව භාවිත කළ හැකි නම් එය සාහිත්‍ය කෘති පුළුල් පාඨක සමාජයක් වෙත ගෙනයෑමට අවස්ථාවක් වනු ඇත. උදාහරණයක් ලෙස සිය සාහිත්‍ය කෘතියෙන් උපුටාගත් කොටස් පළ කරමින් කෘතිය පිළිබඳ පාඨක ලාලසාව දැල්විය හැකිය. එය මිලදි ගැනිමට ඇති ස්ථාන පිළිබඳ දැනුවත් කළ හැකිය. මේ ආකාරයට විවිධ ප්‍රචාරණ උපක්‍රම මගින් අලෙවිය වර්ධනය කරගැනීමට අවස්ථාව උදා වේ.

පොදු සාහිත්‍ය කටයුතු ප්‍රවර්ධනය කිරීමට ද සමාජ මාධ්‍යය භාවිත කළ හැකි වේ. සාහිත්‍ය සම්මන්ත්‍රණ, සාහිත්‍ය දේශන, කුඩා කණ්ඩායම් සාකච්ඡා, කෘති ජනගත කිරිම් වැනි අවස්ථාවන්ට අවශ්‍ය ප්‍රචාරණය සමාජ මාධ්‍ය මගින් ඉතා පහසුවෙන් ලබාගත හැකි වේ. අවශ්‍ය වන්නේ සයිබර් අවකාශය නිවැරදි ව භාවිත කිරීමට අවශ්‍ය දැනුම පමණි.

සාහිත්‍ය පිළිබඳ හැදැරීමේ අවස්ථාවද සමාජ මාධ්‍ය ජාල මගින් සාහිත්‍ය වෙනුවෙන් ධනාත්මකව උපයාගත හැකි වාසියකි. විවිධ ලේඛකයන්ගේ සාහිත්‍ය පඨිතයන් අධ්‍යයනය කිරීමේ අවස්ථාව මේ හරහා ලබා ගත හැක. එවැනි කොටස් තමන් හා තම මිතුරන් සමග බෙදාගනිමින් ඒවා අධ්‍යයනය කිරීමෙන් තමන්ගේ සාහිත්‍ය ඥානය වැඩි දියුණු කරගත හැකි වේ.

ඍණාත්මක බලපෑම

සයිබර් මාධ්‍යය එයට ම ආවේණික සීමාවන්ගේ සමන්විත මාධ්‍යයකි. විශේෂයෙන් දීර්ඝ ලේඛන කියැවිමට මේ මාධ්‍යය භාවිත කිරීමට ශ්‍රී ලාංකික රසිකයා තවමත් හුරුවී නොමැතිවිම නිසා නවකතා, කෙටිකතා වැනි සාහිත්‍ය අංග සමාජ මාධ්‍ය හරහා පාඨකයා වෙත රැගෙන යෑම දුෂ්කර කටයුත්තක් වී ඇත. මේ නිසා සමාජ මාධ්‍ය සාහිත්‍ය ප්‍රකාශන වේදිකාවක් ලෙස වඩාත් උචිත වන්නේ කවියා වැනි එතරම් දිගු නොවන නිර්මාණ විෂයයන් සඳහා ය. අනෙක් අතට මෙය දෘශ්‍ය මාධ්‍යයක් නිසා කීපයක් වුවද පළ කිරිමට සිදුවන්නේ කිසියම් දෘශ්‍යමය ලක්ෂණ එයට එකතු කරමිනි. උදාහරණයක් ලෙස අදාළ කවියේ ප්‍රස්තුතයට ගැළපෙන චිත්‍රයක් හෝ ඡායාරූපයක් සමඟ එය පළ කිරිමට සිදු වේ. මේ නිසා වඩාත් පුළුල් සාහිත්‍ය පරිශීලනයකට සමාජ මාධ්‍යයෙන් ඉඩ ලැබෙනවා යැයි කිව නොහැකිය. මෙම මාධ්‍යයට වඩාත් හුරුවීමෙන් පාඨකයාද දීර්ඝ පඨිතයන් ඇසුරු කිරීමෙන් වියෝවිමට ඇති ඉඩකඩ වැඩි ය. මේ නිසා එය සාහිත්‍යයේ ප්‍රගමනයට බාධා ඇති කරන්නක් ලෙස ගත හැකි වේ.

සමාජ මාධ්‍යයයෙහි පළකරන දේ සම්බන්ධ ව වේගවත් ප්‍රතිචාර ලැබීම මේ මාධ්‍යයට ආවේණික ලක්ෂණයකි. සාමාන්‍යයයෙන් කිසියම් සටහනක් පළ කර පැයක් පමණ කාලයක් ගත වන විට එයට ලැබෙන ලයික් ප්‍රමාණය සියය ඉක්මවා යෑම සුලබ ය. එයට පක්ෂ ව හෝ විරුද්ධ ව කරන අදහස් දැක්විම් ද විශාල ප්‍රමාණයකි. මේ නිසා ආධුනිකයකුට වුව ද කියවන්නා අතර යම් "නමක්" සාදා ගැනිමට ගත වන්නේ කෙටි කලෙකි. එය ඇතැම් විට තමන්ගේ නිර්මාණ ඉතා ඉහළ මට්ටමක පවතී යැයි සිතෙන සාවද්‍ය තක්සේරුවකට යෑමට රචකයාට බලකරයි. මේ සරල ප්‍රතිචාර මත එවැනි සාවද්‍ය බරතැබිමක් තමන් විසින් ම කළහොත් ඒ නිර්මාණකරුවා ඉතා කෙටි කලක් ඇතුළත සිය නිර්මාණ දිවියෙන් සමුගැනීමට ඇති සම්භාවිතාව වැඩි ය. ආධුනික නිර්මාණකරුවකුට මේ සරල ප්‍රතිචාර කළමනාකරණය කිරීමට නොදන්නා නිසා මේ උගුලේ අසුවිමට ඇති ඉඩ වැඩි වේ. මෙය සමාජ මාධ්‍යයන් සාහිත්‍ය ක්ෂේත්‍රයට කරන ඍණාත්මක බලපෑමක් ලෙස ගත හැකි ය. සයිබර් අවකාශයෙන් බොහෝ කුසලතා පෙන්වූ නිර්මාණකරුවන් කෙටිකලකින් පසු අතුරුදන්වීමට මෙවැනි කාරණයක් තීරණාත්මක ලෙස බලපාන බව අපගේ නිරීක්ෂණයයි.

එසේ ම සමාජ ජාලයන්හි සිය නිර්මාණ පළකරන බොහෝ නවක නිර්මාණකරුවන් තමන්ගේ නිර්මාණය පිළිබඳ ව දක්වන විවේචනයන්ට එතරම් කැමැත්තක් නොදැක්වීම ද දැකිය හැකි පොදු ලක්ෂණයකි. මෙය සමාජ ජාලයෙන් ලැබෙන සරල ප්‍රතිචාරය නිසා ඇතිවන අතුරු ඵලයක් ලෙස ගත හැකි ය. තමන්ගේ නිර්මාණයකට ලැබෙන විශාල ලයික් හා කොමෙන්ට් ප්‍රමාණය අනුව එය ඉතා උසස් නිර්මාණයකැ යි සිතීම හා තමන් නිර්මාණ ක්ෂේත්‍රයේ පරිණතයකු යැයි සිතන මමංකාරය (Ego) වළකාගත නොගතහොත් ඒ නිර්මාණකරුවාට යා හැකි දුර ඉතා වේගයෙන් කෙටි වේ. එවැනි දෙයක් ඇතිවිමට සයිබර් අවකාශයේ සමාජ මාධ්‍යවල ද බොහෝ ඉඩකඩ තිබේ.

සමාජ මාධ්‍ය හරහා සාහිත්‍යයට සිදුවන අනෙක් ඍණාත්මක බලපෑම නම් මේ විවෘත අවකාශයේ බොහෝ නිර්මාණ කොපි කිරිමට හා සොරා ගැනීමට ලක්විමයි. මේ නිසා බොහෝ පරිණත නිර්මාණකරුවන් මේ මාධ්‍ය භාවිත කිරීමෙන් මගහැර සිටින බවක් ද දැකිය හැකිය. එය සමාජ මාධ්‍ය හරහා සාහිත්‍ය වර්ධනයට පැනවෙන බාධාවකි.

කෙසේ වෙතත් අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ ලෝකයේ තාක්ෂණික විප්ලවයත් සමඟ සන්නිවේදන තාක්ෂණය අත්පත් කරගෙන ඇති දියුණුව භාවිතයට නොගෙන සාහිත්‍යයට එයින් සම්පූර්ණයෙන් විනර්මුක්ත ව සිටිය නොහැකි බවයි. ඉදිරියේදී මුද්‍රිත පතපොත පවා ඉවත්වී ගොස් අන්තර්ජාලය ඔස්සේ සාහිත්‍යය පරිශීලනය කරන යුගයකට ලෝකය අනිවාර්යෙන් ම පිවිසේවි. ඒ නිසා මේ මාධ්‍යයයෙහි ඇති ධනාත්මක ලක්ෂණ සිය සාහිත්‍යකරණය සදහා අඩු වැඩි වශයෙන් භාවිත කිරීමට වර්තමාන හා අනාගත සාහිත්‍යකරුවන්ට සිදුවීම අනිවාර්ය වේ. එය මගහැර යන්නට උත්සාහ කරන්නේ නම් එය නව ඩයිනෝසෝර අන්දරයක් සාහිත්‍යය ඉතිහාසයට එකතු කිරීමට මුලපිරීමක් ලෙස ගැනිම යුක්ති සහගත වේ.

Comments