
අලුත්නුවර පෙරහර පවත්නා රාජ්‍ය වර්ෂ 1452 වර්ෂයේ අවදියේ කොළොන්න අටකලන් දෙකෝරලයේ වැසියෝ අටකන් කෝරලයේ මැද පත්තුවේ ඇමටියගොඩ ගම තුළ පිහිටි 'ඌරාබොඩ කන්ද' නම් ස්ථානයේ පදිංචිව සිටි 'රාමගිරි බ්‍රාහ්මණ රාල' ‘දේවගිරි බ්‍රාහ්මණ රාල‘ යන දෙදෙනා සමඟ තම-තමන්ට රිසි පුදපඬුරු ගෙන අලුත්නුවර දේවාලය කරා මහ පෙරහරින් ගියහ. ඔවුන් එම ස්ථානයට ළඟා වන විට වෙනදා ඔවුන් වෙනුවෙන් වෙන් කරන වීදියෙහි වෙනත් කණ්ඩායමක් පදිංචිව සිටියහ. මේ අය වෙනුවෙන් වෙනත් වීදියක් වෙන් කර නොතිබුණෙන් එකල්හි පැවැති චාරිත්‍ර අනුව පුදපඬුරු ගෙන ආපසු ඒමට සිදු විය. තමාට දෙවියන් ඇදහීම සඳහා කෝවිලක් නොවූයෙන් බාර-හාර ඔප්පු කිරීම හා දේවාශීර්වාද ලබාගැනීම සඳහා කොළොන්න-අටකලන් දෙකෝරලයේ වැසියෝ ඒ සඳහා අලුත්නුවර දේවාලයට යෑමට පුරුදුව සිටියහ. එමෙන්ම මේ දෙකෝරලයේ ගම්වැසියන් සඳහා දේවාල භූමියෙහි වෙනම වීදියක් වෙන් කර තිබී ඇත. ඔවුන් එම වීදියෙහි නවාතැන් ගෙන පුද-පූජා පවත්වා නැවත ආපසු පැමිණිය යුතු විය.
මෙසේ ගිය මඟ ඔස්සේ කහටපිටි තොටින් එගොඩට ආපසු එන අතර එක්තරා සමතලා භූමි භාගයක් සහ ඒ අසල ඇළක පිරිසුදු වතුර පිරී තිබෙනු දැක මේ ස්ථානයෙහි මෙපිරිස රාත්‍රී නවාතැන් ගත්හ. ගෙනගිය ආහාර මෙහිදී පිස අනුභව කර රාත්‍රිය ගත කළ අතර, නායක බ්‍රාහ්මණයන් දෙදෙනා එම සමතලා භූමිය මැද කපක් සිටුවාගෙන ගිය පුදපඬුරු සියල්ල එහි ගැටගසා රාත්‍රිය පහන් වන තුරු තමන්ට සිදු වූ අභාග්‍ය සම්පන්න සිද්ධිය කතරගම දෙවියන්ට පවසා යාච්ඤා කර, තමන්ට නිදහසේ දෙවියන් යැදීම සඳහා දෙවියන් සතු කිසියම් වස්තුවක් (පූජා භාණ්ඩයක්) තමන්ට දෙන ලෙස ඉල්ලා සිටියහ.
පසුදා උදෑසන පුදපඬුරු එලෙසම තිබියදී එම ස්ථානයෙන් සියල්ල විසිර ගියහ. බ්‍රාහ්මණ යුවළ ඌරාබොඩ කන්දට පැමිණියහ. තම නිවෙස්වලට පැමිණි බ්‍රාහ්මණ දෙපළ පසු දින තම නිවෙස්වල නිඳා සිටිනුයේ රාමගිරි බ්‍රාහ්මණ රාල වෙත කිසියම් අයකු සිහිනයෙන් පැමිණ ඔබ ගමන් කළ මාර්ගය අසල දෙල් ගසකට දේවාභරණයක් පහළ වී ඇති බවත් එය රැගෙන තමන්ට රිසි පරිදි පුදපූජා පවත්වන ලෙසත්, පවසා නොපෙනී ගියේය. පසුදා උදෑසන නින්දෙන් අවදිව මෙම සිද්ධිය දේවගිරි බ්‍රාහ්මණ රාලට පවසා මෙම ස්ථානය සෙවීම සඳහා ආ මඟ දෙපස පරීක්ෂා කරමින් ගමන් කළ විට එක්තරා කවුඩුබාලයකු නම් කුරුල්ලකු 'උඩබාකෝ උඩබාකෝ' යනුවෙන් හඬනු ඇසී කිමෙක්දැයි උඩ බලනුයේ දෙල් ගස මුඳුනක අත්තක රන් ඊතලයක් දැවටී තිබෙනු දැක වහා එම ගස මුලට ගොස් ගස මුල සිට දෙවියන්ට යාච්ඤා කළ විට එම රන් ඊතලය රාමගිරි බ්‍රාහ්මණ රාලගේ ජටාව මතට වැඩම කර තිබේ.
මේ අවස්ථාව වන විට මෙම ස්ථානයට පැමිණි වෙංගා නම් ද්‍රවිඩ ජාතිකයා ලවා වත්මන් දෙවොල් බිම පිහිටි ස්ථානයේ මල්පැලක් කර දේවාභරණ එහි තැන්පත් කළේය.
රත්නපුර - කතරගම පාරේ ගොඩකවෙල නගරයෙන් උතුරු දෙසට හැරී කිමී 7ක් දුර ගමන් කළ විට හමු වන අම්මඩුව දේවාලය රාජ්‍ය වර්ෂ 1452 දී ආරම්භ කරන ලද්දකි. රා. ව. 1410 සිට 1467 දක්වා පුරා වසර 57ක පමණ කාලයක් කෝට්ටේ රජ පැමිණ සවැනි ශ්‍රී පරාක්‍රමබාහු පාලන සමයේදී සබරගමු පළාතේ මේ දේවාලය ඉදිව තිබේ.
පසු පෙර දිනක කපක් සිටුවා එහි පුදන ලද පුද පඬුරු මේ ස්ථානයට ගෙන ඒම සඳහා එම ස්ථානයට ගියහ. මේ අවස්ථාව වන විට සිටුවූ තුඹය දෙපස පැළ වූ බැවිල ගස් දෙකක් තුඹය මුල එකට පැටලී තිබෙනු දැක අතින් ඇදදැමීමට උත්සාහ කළමුත් එහි උන් කිසිවකුටත් එසේ කළ නොහැකි වූ බැවින් එම ගස් දෙක මුලින් උදුරාගෙන පුදපඬුරුද රැගෙන දෙවොල කරා පැමිණියහ.
මෙලෙස විසිතුරු මාලිගා කර
දෙවි විමන පරයා ගෙනේ
සතොස පෙර තිබූ
පඬුරු ගෙනෙනට
සෙනඟ රැස් කර හරිමිනේ
නොලස ගිය සෙන් දුටුව දැවටුණු
බැවිල ගස් දෙක අදිමිනේ
එලෙස බිඳිනට බැරි වුණා දැක
පඬුරු සහ වැඩමවමිනේ
ඉක්බිති පුදපඬුරුවලින් දෙවියන් පුදා බැවිල ගස් දෙක අං ඇදීමට ගන්නා අං දෙකක් මෙන් යොදාගෙන දෙවියන් උදෙසා අං ඇදීමේ ක්‍රීඩාව පවත්වා ඇත.
සත් දිනක් නීරෝ හිම් කෙළි කළ
සත් දිනක් අං කෙළිමිනේ
සත් දිනක් නීරෝ හිමි නිමවා
රන්පනම් පුද කරමිනේ
සත් දිනක් අං කෙළිය පිණිසයි
අංමඬුව නම පැවතුණේ
සෙත් දිගාසිරි ආ වඩාලා
මඟුල් පෙරහැර කරමිනේ
දේවාලයෙහි ඇති රන් ආභරණයෙහි ආරක්ෂාව ගැන සිතා එවකට ප්‍රාන්ත පාලක ධුරය හෙබවූ අගලගමුවේ කුරුප්පු මුදියන්සේ නම් රටේ රාල සමඟ එක්ව කෝට්ටේ ශ්‍රී පරාක්‍රමබාහු රජතුමා බැහැදැක මේ ආශීර්වාදාත්මක සිද්ධිය සැල කර තිබේ. මේ අවදිය VI වැනි පරාක්‍රමබාහු රාජ්‍යෝදයයි. මේ ගැන සතුට පළ කර රජතුමා ගමට සන්නසක් සළු හතරක් හා ඇතෙක් තෑගි කර දෙදෙනා ආපසු එවූහ.
මේ සිද්ධිය තුඩ පතක මෙසේ සඳහන් කර තිබේ.
ශ්‍රී පරාක්‍රමබාහු නරේන්ද්‍රසිහ
ස්වාමි දරුවන්ගෙන් ලැබුණේ
ලුද්දලු අම්මඩු පුරවර සමඟින්
ඇතෙක් සමඟ සළුවක් ලැබුණේ
සිද්ධ කතරගම දෙවිඳුගේ අම්මඩු
දෙවොලට ඔබිනා ලෙසිනේ
ඇද්ද මේ මුළු රට කොතැනකවත්
ඔය වස්ත්‍ර රුසිරි දෙව්පුර ලෙසිනේ
පෙර දිනක කපක් සිටුවා පුදපූජා පැවැත්වූ මිටියාවතේ කොළොන්න අටකලන් දෙකෝරලයේ වැසියන් එක් රැස් කර මළකඳුරේ ආර හරස් කර ඇතුගල් අමුණ බැඳ වේල්ල කපා දියවර හරවා වී තිස් අමුනක වපසරිය කුඹුරු අස්සද්දා දේවාලයේ ඒ ඒ තනතුරු ඉසිලූ අයට වෙන වෙනම ප්‍රදානයන් කර තිබේ.
දේවාලයට දෙන ලද සියලු දීමනාවලට කුඩපත් තල්පත් හා සීට්ටු දී තිබේ. ඒවා මේ දක්වා සුරක්ෂිතව පවතී. ඉන් එක් පැවරීමක් මෙසේය:
'ශත වර්ෂ එක්වාදහස් හත්සිය දෙකට (රා. ව. 1780) පැමිණ මෙම වර්ෂයෙහි නවම් මස අව ශතවක නම් තිථිය ලත් බදාදා මෙදවස සපරගමු දිශාවෙන් අටකලන් කෝරලය බද මැද පත්තුවේ අම්මඩු දේවාලයට අඩුත්තු කපු නිලයේ මුල් බීජු සතරමුනේ වපසරිය ද මීට අඩුත්තු ගෙවතු ගහකොළ ගොඩවල් පිටත් ඇතුළුව මෙම දේවාලයේ කපු නිලයේ මංචනායක අප්පුට සේන්දු කර මේ සිට්ටුව දුන් සේදිත් ඒ වගත් මෙසේම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ දළදා මන්දිරයේ දියවඩන නිලමේ ද සපරගමු දිශාව සහ මහනුවර මහ අදිකාරම් නිලමේ කරවන අංගම්මන දිවාකර රාජපක්ෂ වාසල මුදියන්සේ රාලහාමි වම්හ.'
තවත් පැවරීමක මෙසේ ද සඳහන් වෙයි:
'ශක වර්ෂ එක්වාදහස් සත්සිය තුනට පැමිණි මෙම වර්ෂයෙහි මැදින් දින පුර පෑලවිය නම් තිථියලත් බ්‍රහස්පතින්දා මෙම දින සපරගමු දිසාවෙන් අටකලන් කෝරලේ බද අම්මඩු දේවාලේ වීදියේ කපු නිලේත් ඊට අඩුත්තු ගොඩමඩත් ඇතුළුව කෝම්පිටියේ කපු රාලට සේන්දු කර මේ සීට්ටුව දුන් සේදීත් ඒ වගත් මෙසේම - යටිනුවර රට අතපත්තුවද, දොඩන්වෙල දේවාලයේ බස්නායක නිලමේද, මහ අරමුදලේ වන්නකු නිලමේද, හලුවඩන නිලමේද, ගිලීමලේ බඹර බොටුව ඇතුළුව සපරගමු දිශාව කරවන දොඩන්වෙල දිසා රාලහාමි වම්හ.'
දේවාල පෙරහර කුඹල් පෙරහර, දෙවේලේ පෙරහර, මහ පෙරහර යන අවස්ථා තුනෙන් යුක්තය. පෙරහර පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසයේය.
කතරගම, සබරගමු මහ සමන් හා මහනුවර දළදා පෙරහර අවසන් වූ පසු අමාවක ගිය පෑළවිය දිනක කප් සිටුවීමෙන් පසු පෙරහර ආරම්භ වේ. මහ පෙරහර දින පහ අවසන් වූ පසු දිය කැපීමේ චාරිත්‍රය සිදු කෙරේ. අවසන් නැටුම, වන කොටි කොළඹ නිම කොට මහ පෙරහරින් දිය කැපීමේ ස්ථානයට ළඟා වේ. සුදු රෙදිවලින් ආවරණය කරන ලද ජලාශයේ දේවාභරණයෙන් මායිම් කරන ලද ස්ථානයෙන් කෙණ්ඩියට පැන් ගෙන දේවාලය කර වැඩම කරගෙන එනු ලැබේ. මේ ජලය ඊළඟ පෙරහර දක්වා ආරක්ෂා කෙරේ. ක්ෂණික රෝග සඳහා මේ ශුද්ධ වූ ජලය ඖෂධ වශයෙන් භාවිත කෙරේ. දිය කැපීම කරවන ප්‍රධාන කපු මහතා පළමුව උදා හිරු දෙසද, දෙවනුව ගරායක් මුණ දෙසද බලා වස් දොස් දුර කරගත යුතුය. අනතුරුව එම ගරා-යක් මුහුණ බැඳි තැනැත්තා ගරා-යක් නැටුම අවසන් කළ පසු පෙරහරේ සියලු කටයුතු අවසන් වේ.
දේවාලයේ මංගල උත්සව 4 කි.
1. අලුත් සහල් මංගල්‍යය
2. නානුමුර මංගල්‍යය
3. ඉල්මහකවිච්චිය
4. ඇසළ මංගල්‍යය
අලුත් සහල් මංගල්‍යය පෙබරවාරි, මාර්තු, අප්‍රේල් යන මාසවලින් (ගොයම් පැසෙන කාලය) සිදු කෙරේ. ගොවියන් කුඹුරු පැසී ඇති ඇති බව දැන්වූ පසු සුබ නැකැකින් රන්දොලිය සහිතව පෙරහැර පිටත්ව අඳුර වැටෙන විට හුනුවල වෙල්යාය මධ්‍යයේ ඉදි කරන ලද තාවකාලික වීදියට ළඟා වේ. මෙය වීදි සැණකෙළියකට සමාන කළ හැකිය. බොල්තුඹේ දේවාලයෙන්ද මේ උත්සවය සඳහා මෙම ස්ථානයටම පැමිණේ. පහන් වනතුරු සැණකෙළිය කර, දෙවියන් සඳහා වෙන් කර ඇති කරල් මහ පෙරහරින් දේවාලයට වැඩම කෙරේ. ඉන්පසු එවේලේම වී බවට හරවා කොටා සහල් කරමින් දේව පූජාව පවත්වනු ලැබේ. පූජාවට ගත් ආහාර හා ඉතිරි ආහාර කවළම් කර පෙරහරට සහභාගි වූවන් අතර බෙදා දීමෙන් පසු මංගල්‍යය අවසන් වේ.
නානුමුර මංගල්‍යය යනු දේවාභරණ දිය කපා වැඩම කරවන ලද ශුද්ධ වූ ජලයෙන් දෝවනය කර පිරිසුදු කිරීමය. මෙසේ දෝවනය කරන ලද ශුද්ධ ජලය පුෂ්ප දෝරුව නම් වූ විශේෂ භාජනයකට එක් රැස් කෙරේ. මේ ශුද්ධ ජලය ක්ෂණික රෝග සඳහා ප්‍රථමාධාර වශයෙන් භාවිත කෙරේ.
ඉතිරි ජලය පෙරහරේ ගිය උදවියට සහ බැතිමතුන්ට බත්ගොටු දීමේදී සියල්ලන් අතර බෙදී යනු පිණිස දිය සහිත පුෂ්ප දෝරුවට අත දමා ගොටුවලට බත් බෙදීමට ගනු ලැබේ.
ඉල් මහ කච්චිය යනු වසරක් අවසාන වීම නිමිත්තෙන් පවත්වන මංගල්‍යයකි. ඇසළ මංගල්‍යය දින 15ක් පැවැත්වෙන අතර, අන් සියල්ල දින 03ක් පමණ පැවැත්වේ. අම්මඩුව දේවාල රාජකාරි පංගු හීල 26ක් මේ දක්වා ක්‍රියාත්මක වේ. දේවාලයේ රාජකාරි කර මේ ඉඩම් භුක්ති විඳිය හැකිය. විකුණන්නේ නම් රාජකාරියට යටත්ව එය කළ යුතුය. පූර්ව අනුමැතිය අවශ්‍යය.
ලේඛනගතව ඇති රාජකාරි පංගු 26කට අයත් කාර්යයන් සියල්ල එක්තැන් වූ විට අලංකාර පෙරහරක් නිර්මාණය වේ. එයින් දේවාලයේ ආරක්ෂාවද නඩත්තුවටද සිදු වේ.
ස්වර්ණ කතරගම දෙවිඳුගේ
අම්මඩු දේවාලෙට ඔබිනා ලෙසිනේ
කර්ග මුණ්ඩ ගිරි පර්වත
විලසින් එගජතෙකු ඔප්පු වුණේ
අර්ණ රඹ පැළ සේම එදල
දෙක සම්මුඛ සුරිඳුට ඔප්පු උනේ
වර්ණ රුසිරු අම්මඩු දේවාලේ
දික්ගෙඩි දොරකඩ දිලෙන මෙනේ
මේ වන විට බස්නායක නිලමේවරු 23 දෙනකුගේ නම් සඳහන් ලේඛන දේවාලය සතුව පවතී. දේවාලයේ ආරම්භයේ සිට මේ දක්වා පැරැණි බස්නායක නිලමේවරුන් සියලු රාජකාරි පංගුකරුවන් සමඟ දැඩි භක්තියකින් යුතුව පෙරහැර මංගල්‍යයන් සිදු කර සියලු රටවැසියන්ට දේවාශීර්වාද ලබාදීමට කටයුතු කර තිබේ.