අලි ප්‍රශ්නය | සිළුමිණ

අලි ප්‍රශ්නය

 මිනිසා වනපෙත් වනසා, තම ආහරබිම් අහිමි කළේ යැයි උද්ඝෝෂණය කිරීමට ලිප්ටන් වටරවුමට එන්නේ නැත. ජලය හා අහරබිම් අහිමි එම සතුන් කොටුවේ උපවාස කරන්නට හෝ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල ගොවි සංවිධාන රැස්වීම්වල රණ්ඩු කරන්නට හෝ එන්නේ ද නැත.

ඒ වෙනුවට වන අලි ගම් වදිති. වගාබිම්වල ළිංවල වැටෙති. මෙහිදී මතුවෙන “මිනිස් ගැටුම” හා සම්බන්ධ මෙම අවනඩුව එක් පියවරකින් ඉදිරියට තල්ලුවී සාකච්ඡාවට බදුන් වීම ඇරඹී සතියකි. ඒ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා බලංගොඩ සංවර්ධන කමිටු සභා රැස්වීමේදී කළ ප්‍රකාශයක් මුල්කර ගනිමිනි. වචනවල මතුපිට අර්ථය දේශපාලන පහරදීම්වල උපායක් ලෙස යොදා ගැනුණු කළ, ඔහු අවස්ථා කිහිපයකදීම පැහැදිලි කිරීම් කර තිබුණ ද පරිසරවේදීන්ගේ අමෝරාගත් අවි තව ම ඇමැතිවරයා දෙසට එල්ල වී තිබේ.

පරිසරවේදීන් පවසන්නේ අලින් විදේශයට විකුණා ඌරන් මසට මරා කිඹුලන් වනසා ප්‍රශ්නය විසඳීමේ ස්ථාවරයක ඇමැතිවරයා සිටිනා බවය. එය මේ ආණ්ඩුවේ ස්ථාවරය දැයි ඇතැම් සමාජ ජාල මාධ්‍ය විමසයි.

ඊට පිළිතුරු සපයා නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය 13 දා රූපවාහිනි නාළිකාවකට සඳහන් කළේ මෙවැනි අදහසකි. “මා මතු කළේ මේ ප්‍රශ්නය තුළ තිබෙන බරපතළ කමයි. සමාජය මේ ප්‍රශ්නයට මුහුණදී සිටින ජනතාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් සංවේදී භාවයක් නෑ. අඩු ම වශයෙන් වසරකට අලින් 200 පමණක් මිනිසුන් 100 කට ආසන්න ප්‍රමාණයකුත් මෙනිසා මිය යනවා. දැවැන්ත වගා හානියක් සිදු වෙනවා. සතුන් මසට මරන්න හෝ විකුණන්න කියන අදහස මා ඍජුව කීවේ නෑ. මෙය දේශපාලන ප්‍රශ්නයක්. මෙහිදී සැලකිය යුතු ජනතාවක් පීඩාවට පත්වෙලා තිබෙනවා.”

වර්ෂ 1920 වන විට මෙරට පැවති වන ආවරණ භූමිය 47% යි. එය මේ වන විට 20% දක්වා අඩුවී තිබේ. එමෙන් ම වගාව සඳහා වනාන්තර එළිකිරීම, ජනාවාස ඉදිවීම, ව්‍යාප්ත වීමත් සමඟ එම ප්‍රදේශ කරා වන අලින් සහ වන සතුන් පැමිණීම බහුලවීම මෙම ප්‍රශ්නය උග්‍රවීමට බලපා තිබේ.

2008 වසරේ සිට 2012 වසර දක්වා පමණක් අලි ප්‍රහාර හේතුවෙන් මියගිය ගණන පුද්ගලයන් 341 කි. එම කාලය තුළ පමණක් අලින්ගෙන් සිදුවූ දේපළ හානි හා සිදුවීම් සංඛ්‍යාව 8000 කට ආසන්නය. අවම වශයෙන් මේ හා සම්බන්ධ වගා හානි, ජීවිත හානි, අලිමරණ හා ඒ සම්බන්ධ ජනතා උද්ඝෝෂණ සම්බන්ධ පුවත් 10ක්වත් දිනකට මාධ්‍ය තුළ පළවෙයි. මෙම ගැටලුවට දිස්ත්‍රික්ක 18 ක ජනතාව මුහුණදී සිටිති.

2013 වර්ෂයේ සංගණනයට අනුව මෙරට අලි ගහනය 5879 කි. ඒ අනුව උතුරු පළාතේ අලි 233 ක්. වයඹ 1139 ක්, මහවැලි කලාපවල 1751 ක්, මධ්‍යම පළාතේ 47 ක්, නැගෙනහිර පළාතේ 1573 ක්, දකුණු පළාතේ 1086 ක් වශයෙන් සිටින බව මාධ්‍ය වාර්තා කළත් මේ වාර්තා ගැටලු සහගත බව පරිසරවේදීහු පවසති. එහෙත් නිල වශයෙන් ඉදිරිපත් කළ හැකි සංඛ්‍යා දත්ත කිසිවක් ඔවුන් සතුවද නැත. වන අලින් ගම් වැදීම වැළැක්වීම සඳහා යොදා ගනු ලබන ප්‍රධාන බාධකය වන්නේ විදුලිවැට ඉවත්කිරීමය. එය 1966 සිට අද දක්වා ම යොදා ගැනෙයි. එහෙත් එම ප්‍රශ්නයට විදුලි වැට ‍මෙතෙක් සාර්ථක පිළියමක් වී නැත. 2012 වස‍ෙර් සිට මේ දක්වා කිලෝමීටර 377.6 ක් දුරකට විදුලි වැට ඉදිකර ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. එහෙත් එය මුළුමනින් ම වනඅලින් ගම්වැදීම වැළැක්වීමට පිළියමක් වී නැත.

ගම් වදින අලින්ගෙන් සිදුවන හානි වැළැක්වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති අලින් පන්නා දැමීම සඳහා යොදා ගන්නා උපාය පූර්ණ වශයෙන් සාර්ථක වී නොමැති අතර ඒ සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැති බව ඇතැම් මාධ්‍ය වාර්තා පවසයි.

විදුලි වැට ඉදිකිරීමට අමතරව අලිවෙඩි බෙදාදීම අලින් පලවා හැරීම වෙනත් ප්‍රදේශවලට එළවා දැමීම නිරන්තරයෙන් සිදුවුවද මේ කිසිවක් අලි මිනිස් ගැටුම නැවැත්වීමට නොව එය පාලනය කිරීමටවත් සමත්වී නැත. මෙහි අව්‍යාජ ප්‍රතිඵලය වී ඇත්තේ අලින් විසින් මිනිසුන් මරා දැමීමත්, වෙඩි තැබීම්, විදුලිය වැද්දීම්, හක්කපටස් යොදා ගැනීම් මඟින් මිනිසුන් වන අලින් විටින් විට මරා දැමීමත්ය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එච්.ඩී. රත්නායක මහතා පවසන්නේ මෙවැනි අදහසකි.

“අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා අපේ දෙපාර්තමේන්තුව උපරිම වශයෙන් කටයුතු කරමින් සිටිනවා. මේ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් තරම් සම්පත් නොමැති නිසා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය ඇතිව තමයි විදුලි වැටවල් ඉදිකිරීම සිදුවන්නේ. ඉදිරියේදී තවත් කිලෝමීටර් 3500 ක් පමණ භූමියක විදුලිවැට ඉදිකිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.”

දිනපතා පළවන පුවත් අතරින් මෙම ගැටුම සම්බන්ධයෙන් එක් බරපතළ සිදුවීමක් වාර්තා වූයේ 2017 අප්‍රේල් මාසයේ තණමල්විල හා මීගස්වැව ප්‍රදේශයෙනි. එදින පුද්ගලයන් දෙදෙනෙකු අලි ප්‍රහාරවලින් මිය ගිය අතර එම සිරුරු මිහිදන් කරන දිනයේ තණමල්විල කිතුල්ගමේ ප්‍රදේශයේදි අලියෙකු පහරදීමෙන් තවත් ‍ගොවියෙකු මරණයට පත්විය.

පසුගිය අගෝස්තු 15 දා ඕමන්ත ප්‍රදේශයේ ගම්මානයකට ජලය සොයා පැමිණි අලි රංචුවක් වගා ළිඳකට වැටුණි.

වන ජීවී නිලධාරීහු එම සතුන් ගොඩ ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූහ. පළමුව ගොඩගත් සතා කැලයට පලවා හැරි නමුත් දෙවනුව ගොඩගත් සතා බැකෝ යන්ත්‍රයට පහරදී රියදුරා අනතුරට ලක් කිරීමට පෙර ඇතින්නට වෙඩි තැබීමට වනජීවී නිලධාරීන්ට සිදුවිය. ගොඩගත් ඇතින්න පළවා හැරීමට ගත් උත්සාහය අසාර්ථක වූ කල තවත් ජීවිතයක් ගලවා ගැනීමට නිලධාරින් හමුවේ වෙනත් විකල්පයක් නොවුණි. අවසානයේ වෙඩි වැදුණු ඇතින්න මරණයට පත්විය. අවසානයේ බැකෝ යන්ත්‍ර රියදුරාගේ ජීවිතය ගලවා ගැනීමට ඇතින්නට වෙඩි තැබූ වන ජීවී නිලධාරියාට විනය පරීක්ෂණයක් සිදුවෙමින් ඇත. අලි මිනිස් ගැටුම අද මෙවැනි බරපතළ අර්බුදයකට ලක්ව තිබේ. වන අලි ගම් වදින ප්‍රදේශවල ජනතාව දිනපතා උද්ඝෝෂණ පවත්වමින් ඊට විසඳුම් ඉල්ලා සිටින්නේ දේශපාලන යාන්ත්‍රණයෙනි.

නියෝජ්‍ය ඇමැති පරණවිතාන මහතා ඉදිරිපත් කරන්නේ මේ ගැටලුවට ඇමතිවරයාට හා ආණ්ඩුවට විවේචන ඇත්නම් එය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගැටලු තිබිය නොහැකිය. එය විවේචනයකට අයත් කාර්යයකි. ප්‍රශ්නය වන්නේ ප්‍රශ්නයක් පදනම් කර ගනිමින් දේශපාලන වාසිය මත ජනතාව මුහුණ දෙන ගැටලු විකෘති කරමින්, ජනතාව මුහුණ දෙන ගැටලු විසඳා ගැනීමේ දිසාවකට වඩා දේශපාලන වාසි ඇති දෙසට වි‍ෙව්චන ගොඩ නැඟීමට උත්සාහ කිරීමය.

ධම්මික ප්‍රියදර්ශන 

Comments