තල් නිෂ්පාදන ප්‍රචලිත කරලීමට වැඩසටහන් | සිළුමිණ

තල් නිෂ්පාදන ප්‍රචලිත කරලීමට වැඩසටහන්

 අපගේ කප්රුක පොල් ගසයි. කිතුල් ගස ද අපට එවන් කප්රුකකි. එහෙත් උතුරට කප්රුක වන්නේ තල් ගසයි. මන්ද යත් එහි සියලු කොටස්ම පාහේ ආර්ථිකමය වශයෙන් වටිනාකමකින් යුක්ත නිසා ය. එපමණක් නොව උතුරේ ජන ජීවිතයත් එහි සංස්කෘතියත් හා තදානුබද්ධ වූ තල් ශාකය උතුරේ අනන්‍යතාව පෙන්වන සංකේතයක් බඳු ය. ශ්‍රී‍ ලංකාවේ බහුල ලෙස ම තල් ශාකය ව්‍යාප්ත වූ ප්‍රදේශ වන්නේ යාපනය, කිලිනොච්චිය හා මන්නාරමයි. ඊට අමතරව නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිතව මෙන් ම සුළු වශයෙන් හම්බන්තොට ආදී ප්‍රදේශවල ද තල් ශාක දැකිය හැකි ය.

වියළි දේශගුණයක හොඳින් වැඩෙන තල් නියං සමයකදී වුව ද මැනවින් වැඩේ. පසේ ජල සංරක්ෂණයට මෙන් ම නිසරු පස සරු කර ගැනීමටත් මෙය වැදගත් වේ. එපමණක් නොව මෙහි පලිබෝධ හානිය අල්පය. පරිණත තල් ශාකයක් මීටර් 30 ක් පමණ උස වන අතර පාදස්ථානයේදී විෂ්කම්භය මීටර් දෙකකට ආසන්නය. මෙය වසර සියයක පමණ ආයු කාලයකට හිමිකම් කියයි. මෙහි වර්ධනය සෙමෙන් සිදුවන අතර සාමාන්‍යයෙන් පැළයක් කඳ පොළොවෙන් ඉහළට මතුවීමට වසර තුන හතරක් පමණ ගතවේ.

තල් ආශ්‍රිත නිෂ්පාදන

තල් රා යාපනයේ තල් ආශ්‍රිත ප්‍රධාන නිෂ්පාදනයකි. එමෙන් ම තල් අරක්කු, තල් වයින් ද නිපදවනු ලබයි‍. තල් හකුරු ඒ ආශ්‍රිත තවත් වැදගත් නිෂ්පාදනයකි. ළපටි තල් ගෙඩි හෙවත් තල් කුරුම්බා රසවත් පානයකි. ඉඳුණු තල් ගෙඩියේ යුෂ තල් කැවුම්, තල් පිනාටු වැනි රසවත් ආහාර නිපදවීමට යොදා ගනියි. තල් ගෙඩියක ඇට දෙකක් හෝ තුනක් පවතී. එම ඇට පැළ කර ලබාගන්නා තල් අලවලින් තල් පිටි සාදාගනු ලබයි. මෙම තල් අල පිටි රස කැවිලි, පිට්ටු හා කූල් වැනි උතුරේ ආවේණික ආහාර රැසක අමුද්‍රව්‍යයකි. එමෙන් ම වියළි තල් අල මෙන් ම තම්බා වියළූ තල් අල ද අප අතර ද බෙහෙවින් ජනප්‍රිය ආහාරයකි.‍ තල් ආශ්‍රිත මෙම නිෂ්පාදනවලට අමතරව අගය එකතු කළ නිෂ්පාදන ද වෙළෙඳ පොළේ මිලදී ගැනීමට ඇත. ඒ තල් බිස්කට්, තල් ජෑම්, තල්යෝගට්, තල් පැණි, තල් පලතුරු බීම, ක්ෂණික තල් පාන, පාම්පෝෂ ආදි යයි.

එමෙන් ම මුළුතැන්ගෙයි ඇසුරුම් පෙට්ටි, කිරිගොටු, මලු, වටාපත්, පැදුරු, තොප්පි, හැඹිලි, අත්බෑග්, ආභරණ පෙට්ටි ආදිය තල් පත්‍ර ඇසුරෙන් නිපදවන භාණ්ඩ අතර ප්‍රධානවේ.

එපමණක් නොව තල් පත්‍ර නිවාස සෙවිලි කිරීමට, වැටවල් සඳහා මෙන් ම යාපනයේ ගොවිතැන් කටයුතු වලදී බෝගවලට සෙවණ සැපය‍ිමට ආවරණ ලෙස ද යොදා ගනී. තල් ශාකයේ කොටස් උපයෝගි කොට ගෙන නිපදවන මල් බඳුන්, විසිතුරු මල්, බිත්ති සැරසිලි සංචාරක ආකර්ෂණයට තුඩු දෙන අනෙකුත් නිෂ්පාදන අතරවේ. තවද තල් කඳ කල් පවතින දෘඪ දැවයක් හෙයින් එය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු සඳහා යොදා ගනී. ලණු කොසු ආදිය තල් ආශ්‍රිතව සිදු කරන තවත් නිෂ්පාදන වේ.

තල් ආශ්‍රිත වෙළෙඳපොළ

ඉහත සඳහන් කළ තල් ආශ්‍රිත නිෂ්පාදනයන්ට ඇත්තේ ඉතා හොඳ වෙළෙඳපොළ වටිනාකමකි. උතුරේ සංචාරය කරන දේශීය මෙන් ම විදේශ‍ීය සංචාරකයන්ගෙන් මෙම නිෂ්පාදනයන් කෙරෙහි ඉහළ ඉල්ලුමක් පවතී. පොලිතින් හා ප්ලාස්ටික් මඟින් ඇති කරන පාරිසරික ගැටලු මඟ හරවා ගැනීමට තල් පත්‍ර යොදා නිපදවන ඇසුරුම් මලු, වට්ටි පෙට්ටි, අත්බෑග් ආදිය පරිසර හිතකර ආදේශකයන් ය. ශරීරයට අහිතකර කෘත්‍රිම බීම වර්ග වෙනුවට තල් බීම අඩු පිරිවැයකින් නිපදවා පාරිභෝගිකයාට සහනදායි මිලකට ලබාදිය හැකි කදිම ආදේශයකි. තවද දේශීය සීනි පරිභෝජනයෙන් සියයට අනූ දෙකක් ම විදේශයෙන් ආනයනය කරන අතර සමස්ත සීනි පරිභෝජනයෙන් දේශීයව නිපදවන්නේ සියයට අටක් පමණ සුළු ප්‍රමාණයකි. උක් සීනි සඳහා වැය වන විදේශීය විනිමය තල් හකුරු ප්‍රචලිත කිරීම මඟින් ඉතිරි කරගත හැකි ය. එපමණක් නොව කැනඩාව, අමෙරිකාව, ජර්මනිය වැනි රටවලට ද තල් නිෂ්පාදන අපනයනය කිරීමේ විභවයක් පවතී. වෙනත් කෘෂි බෝග වගාවන් සඳහා මෙන් පොහොර, පළිබෝධනාශක වැනි යෙදවුම් මෙයට අවශ්‍ය නොවන අතර විශේෂ නඩත්තුවක් ද අවශ්‍ය නොවේ. තල් ආශ්‍රිත නිපදවන ආහාර වස විසෙන් තොර කාබනික නිෂ්පාදකයන් ය. මෙවන් කාබනික නිෂ්පාදනවලට වෙළෙඳපොළේ ඇත්තේ හොඳ ඉල්ලුමකි.

තල් ආශ්‍රිත වෙළෙඳපොළ පුළුල් කිරීම

තල් සංවර්ධන මණ්ඩලය මඟින් මේ වනවිටත් තල් ආදර්ශ අලෙවි සල් විවෘත කර ඇතත් ඒවායේ ව්‍යාප්තිය පුළුල් කළ යුතු ය. විශේෂයෙන් ම නගර බද ප්‍රදේශයන්වල මෙන් ම සංචාරක පුරවර ආශ්‍රිතව මෙවැනි අලෙවි සල් විවෘත කිරීම ඉතා අගනේ ය. යාපනයේ සුපිරි වෙළෙඳසල් මෙන් රටේ සෑම සුපිරි වෙළෙඳ සලකම පාහේ තල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවියට වෙනම ඉඩකඩක් වෙන් කිරීම අවශ්‍ය වේ. විශේෂයෙන් ම උතුරේ කාන්තාවන්හට මෙන් ම රැකියා විරහිත තරුණ පරපුරට ස්වයං රැකියාවක් ලෙස තල් ආශ්‍රිත නිෂ්පාදන සිදුකිරීමට යොමු කිරීම රැකියා වියුක්තියට හොඳ පිළියමක් මෙන් ම ඔවුනට හොඳ ආදායම් මාර්ගයක දොරටු විවර වීමකි. මේ සඳහා පුහුණු වැඩමුලු, උපදේශන සේවා ආදිය කදිම අත්වැලක් සපයනු ඇත. එමෙන් ම තල් නිෂ්පාදන පාරිභෝගිකයා තුළ ප්‍රචලිත කරලීමට වැඩසටහන් දියත් කිරීම මඟින් එහි ඉල්ලුම ද වැඩිවේ. තවද තල් ආශ්‍රිත ප්‍රදර්ශන පැවැත්වීම ප්‍රශංසනීය වේ. එපමණක් නොව අඩු කාලයකින් පීදෙන, අඩු උස, වැඩි අස්වනු ලබාදෙන ප්‍රභේද බිහිකිරීම සඳහා පර්යේෂණ දියත් කළ යුතු ය‍. තල් ආශ්‍රිත නිෂ්පාදනයන් තවදුරටත් විවිධාංගීකරණය මඟින් නව වෙළෙඳපොළ අවස්ථා ඇති කරගත හැකි ය.

(යාපනයේ කෘෂිකර්මාන්තය පිළිබඳව සිදු කළ අධ්‍යයනයක් ඇසුරෙනි)

උමයංගනා පූජනී ගුණසේකර
කෘෂිකර්ම විද්‍යා පීඨය,
රුහුණ විශ්වවිද්‍යාලය. 

Comments