උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ මහානායක පදවියෙන් පිදුම් ලබන ගිර‍ාඹේ මංගල මහනාහිමි | සිළුමිණ

උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ මහානායක පදවියෙන් පිදුම් ලබන ගිර‍ාඹේ මංගල මහනාහිමි

 යම් භික්ෂුවක් ව්‍යක්ත විශාරද බහුශ්‍රැත වේද, ධර්මධර වේද, විනයධර වේද, ධර්මය අනුව ක්‍රියා කරයි ද එබඳු වූ භික්ෂුව සංඝ ශෝභන ගුණයෙන් යුතුයැයි බුදු රජාණන් වහන්සේ දේශනා කොට ඇත. එකී ගුණ සමුදායන්ගෙන් සමන්විත ඉතා දුෂ්කර ඈත පිටිසර ගම්මානයක නිහඬ සේවයක් කරන අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගිරාඹේ මංගල මහනාහිමිපාණෝ මෙරට සඟ පරපුරට මහඟු ආදර්ශයකි.

ඓතිහාසික දිගාමඬුල්ල පුරවරයේ ආගමික, ජාතික, ශාසනික ප්‍රබෝධයක් ඇති කළ මහා සංඝරත්නයට හා බෞද්ධ ජනතාවට අභිමානයක් ගෙන දෙමින් අම්පාර ප්‍රදේශයෙන් ප්‍රථම වරට මහානායක ධුරයකින් පිදුම් ලබන උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක භාෂා විශාරද අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමියන්ගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ මහානායක ධුරයට‍ එම සංඝ සභා‍ව ඒකඡන්දයෙන් තෝරා පත් කරගෙන ඇත.

ශාසනික සේවාවන්හි පමණක් නොව ජාතික හා සාමාජික සේවාවන්හිදීද ‍උද්‍යෝගයෙන් ක්‍රියා කරන උන් වහන්සේ කන්ද උඩරට බදුල්ල දිස්ත්‍රික්කයේ උඩුකිඳ උඩ පළාත කෝරලේ ගිරාඹ නම් ගමේදී කාංගන මුදියන්සේලාගේ පුංචිරාල සහ දිසානායක මුදියන්සේලාගේ හීන්මැණිකා වන දම්පතීන්ගේ සතරවන දරුවා ලෙස 1950 ජූනි 17 දින උපත ලබා කාංගන මුදියන්සේලාගේ හීන්බණ්ඩා යන නාමය ලබා ඇත. 1962 මැයි 24 වැනි දින වළගම්පුර ශ්‍රීනිකේත ජිනචක්‍ර විහාරස්ථානයේදී මැදවෙල ශ්‍රී ප්‍රඥාසාර නායක මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් හා ඌමෑලේ පඤ්ඤානන්ද නාහිමියන්ගේ හා දොඩම්දූවේ ධම්මරතන නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි බව ලැබීය.

ගිරාඹේ මංගල මහා නාහිමියෝ 1972 වර්ෂයේ උපසම්පදා විනය කර්මය අරමුණු කරගෙන රචනා කළ ‘සදිසා වැදුම’ ධර්ම ග්‍රන්ථය යහපත් සමාජයක් ගොඩනැඟීමට සමාජයේ ජීවත්වන මවුපිය-දූදරු ආදි සමාජ කොටස් ඔවුනොවුන්ගෙන් ඉටු විය යුතු යුතුකම් හා අයිතිවාසිකම් පිළිබඳ බුද්ධ දේශනාවට අනුව දැනුමක් ලබාදීම පිණිස ධර්මය දානය පිණිස රචනා කළේය. ඒ වගේ ම උන්වහන්සේ ඉගෙනුම ලබන කාලයේදී බුදුසරණ සහ සිංහල බෞද්ධයා පුවත්පත්වලටද වරින් වර ලිපි සපයා බෞද්ධයා තුළ ධර්මය පිළිබඳ ප්‍රබෝධයක් ඇති කිරීමටද උත්සාහ කළේය.

අප ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1983 මාර්තු 05 වන දින උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ කාරක සභාවට පත්වීමත්, 1994 නොවැම්බර් 04 වන දින සපුගොල්ල තපෝදාරාම මූල මහා විහාරස්ථානයේ දී උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ සමාන ඡන්දයෙන් එහි ප්‍රධාන අධිකරණ නායක පදවිය සඳහා තෝරා පත් කරගත්හ.

පැවිදි දිවියේ මහත් දුෂ්කර කාල පරිච්ඡේදයක් පසු කළද, සමාජයට යමක් කිරීම උන්වහන්සේගේ මූලික අභිප්‍රාය විය. පුහු ‍ආටෝප, පරමාර්ථ, අපේක්ෂා කිසිවක් නො මැතිව කටයුතු කළ උන්වහන්සේ බොහෝ දුෂ්කර අම්පාර ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැණ පහන දීප්තිමත් කිරීමට මහත් වූ වෙහෙසක් ගත්හ. දහම් පාසල් දරුදැරියන්ට නිරන්තර මාර්ගෝපදේශකයාණන් වහන්සේ නමක් වූහ.

මේ සියලු ගුණයන්ගෙන් සුපෝෂිත වූ අප නායක හිමිපාණන් වහන්සේට සිය පදවි ප්‍රාප්තිය පිළිබඳ රාජකීය ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් අද (24) සවස 3.00ට පිළිගැන්වීමට නියමිතය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධර්මපාල වංශාලංකාර සද්ධර්මකීර්තිශ්‍රී ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ සභාපති කල්‍යාණවංශ කීර්ති ශ්‍රී විපස්සනා කම්මට්ඨාචාර්ය වංගීස වංසාලංකාර දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මැති-ඇමැතිවරුන් හා ගිහි-පැවිදි සම්භාවනීය පීරිස් එම පුණ්‍ය මහෝත්සවයට සහභාගි වීමට නියමිතය.

නයනා නිල්මිණි 

Comments