පොත් පෙරළීම | සිළුමිණ

පොත් පෙරළීම

ඇතැම් පොතක්

කෙළින් ම හදවතට ඇතුළු වී

නටයි, ගයයි, පෙරළි කරයි

ඇතැම් පොතක්

හදවතටත් මොළයටත් ඇතුළු වෙයි

තවත් පොතක්

මොළයට ඇතුළු වී තෝන් ලණුව අතට ගනී...

පොත් වසන්තයේදී ලියැවෙන්නේ ම පොත් ගැන ය; ඒ ගැන කමා කළ මැනවි. පොත් ගැන මතක් වෙන හැම වාරයකදී ම කේ. ජයතිලකයන්ගේ මේ කුඩා කවිය මතක් වෙයි; ඒ ගැන ද කමා කළ මැනවි. වසර දොළහක් පමණ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයට පැමිණි ගමන වෙහෙසකර ද කියා වරෙක සිතේ. මුලින් ම තිබුණේ පොත් ම පමණී. සැනකෙළි වෙස් ගන්නට ගන්නට එයට නා නා ප්‍රකාර දෑ එකතු විණි. පළමු ව කොපි පොත් ද (මේවාට කියන්නේ පොත් කියා වුව ද මේවා අභ්‍යාස පොත් ය.) දෙවනුව පාසල් උපකරණ ද අනතුරුව විවිධාකාර හෝටල් ද මීට ඇතුළත් විණි. පොත් ගන්නටත්, පොත් බලන්නටත් ජනතාව පොදි කන තැනකට ගිනි ගණන්වලට මුත් විවිධ සෑම්පලයේ කෑම වර්ග ද නැතිවම බැරි යැයි කෙනකු තර්ක කරන්නට පිළිවන. එහි ද සත්‍යයක් නැතිවා ම නොවෙයි. නූඩ්ලස් කන්නට ම පොත් ප්‍රදර්ශනය කරා එන කිහිපදෙනෙක් ම මම ද හඳුනමි... කෙසේ නමුත් මේ සියලු අහුකොන් අස්සේ වෛවාරණ සැණකෙළි අත්විඳ ඇති අපට මේ පොත් සැණකෙළිය නම් ආශ්චර්යයක් ම ය. පොත් ගැන මෙසේ ලියන්නට සිතුණේ මේ දිනවල පැවැත්වෙන අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය නිසා ය; ලංකාවේ වැඩි ම ජනගහනයක් සහභාගී වන සැණකෙළිය නිසා ය.

පොත් ප්‍රදර්ශනයේ කරක් ගැසීම වෙහෙසකර, ආයාසකර කාර්යයක් වුව ද එය මඟ හැරීමට නම් නොහැකි උත්තේජනයක් සපයන්නක් බැව් ඔබ ද පිළිගන්නවා නිසැකයි. අප පොත් අතර සරන්නේ ඒ ඒ වීදුරු කුටි හෝ රාක්ක අතරින් පෙනෙන විවිධාකාර ලේඛකයන් සමඟ නිහඬ සංලාපයේ යෙදෙමින් ය. එහෙත් දැන් ඒ තරම් යෝනිසෝමනිසිකාරයෙන් යුතු ව පොත් තෝරන්නට තරම් ඉසිඹුවක් ඇත්තේ ම නැත. කෑම කඩ විශේෂයෙන් නූඩ්ල්ස් කඩ අසල තරම්ම නැතත් පොත් අසල ද මිනිස්සු පොර කති. ඉදින් විවේක බුද්ධියෙන් පොත් තෝරා ගැන්මට අසීරු ය. මේ මොනවා කෙසේ ලීවත්, සිතුවත් පොත් ප්‍රදර්ශනයට නම් නොගොසින් ඉන්නට බැරි ය.

මේ සියල්ලෙන් පෙනෙන්නේ පොත් කියවන්නන් බහුල බවක් ද? ම සිත පැනයක් නැඟේ. එසේ නම් සමාජය මෙතරම් කලහකාරී, ව්‍යසනකාරී, පොලඹවනසුලු තැනක් වේද? සමහරු පොත් ගන්නේ කියවන්නට ය; තවත් සමහරු පොත් ගන්නේ අනෙකාට පෙනෙන්නට ය; එසේත් නැත්නම් ප්‍රදර්ශනකාමීත්වය වෙනුවෙනි. ඒ හරියට සමහර උපාසක අම්මලා සිල් ගන්නවා වැනි ය. ඔවුන් ද සිල් ගන්නේ අනුන්ට පෙනෙන්නට විනා සසර කතරින් එතෙර වීමේ අරමුණ ඇති ව නොවේ. තවත් සමහරු පොත් ගන්නේ එකතු කරන්නට ය. සමහර කාන්තාවන් අභරණ එකතු කරන්නේ යම් බඳු ආශාවකින් ද ඒ හා සමාන ආශාවකින් පොත් එකතු කරන්නන් මට හමු වී තිබේ.

මේ සියලලන් අතර තවත් විශේෂ ම කොට්ඨාසයක් වෙති. ඒ පොත් පෙරළන්නෝ ය. තම අභ්‍යන්තරයේ නැති උගත්කමක් මවා පෙන්වන්නට ය. ඔවුහු පොත් පෙරළන්නේ අනෙකාට නොදැනෙන තරමට සියුම් ව ය.

මෙකල වැඩිපුර ම ඇත්තේ පොත් පෙරළන්නන් යැයි කියා සිතේ. සමහරු කියෙව්වා යැයි කියන පොත්වල තරමට මොළය අක්‍රිය වී දැයි සිතේ. ඔවුහු එතරම් ම පොත් කියැවූවේ යැයි කියා උදම් අනති.

“දර පැළීමට ගිය අවස්ථාවලදී මම දරමඬුවෙහි හිඳ පොත් කියැවූවෙමි. නැතිනම් අටුවට නැඟ පොත් කියැවූවෙමි. දරමඬුව මෙන් ම අටුව ද පොත් කියැවීමට සුදුසු තැන් නොවේ. ලී කෑල්ලක් ගෙන ඉටිපන්දමේ උස ලකුණු කරන මගේ මහලු ස්වාමි දුව පසුදින උදේ ඒ ලී කෑල්ලෙන් ම ඉටිපන්දම මැන බැලුවා ය. ලී කෑල්ලට වඩා ඉටිපන්දම කොට වුවහොත් මහැල්ල කුස්සියේ සිට කෑ ගසන්නට පටන් ගනී. ඇතැම් විට එවැනි අවස්ථාවල දී ගෙයි උඩුමහලේ සිටින විට්රූෂ්කා කෑගසනවා මට ඇසෙයි.

“කෑ නොගා ඉන්න අම්මේ. මේක මහ කන්දොස්කිරියාවක්. ඔය කොලුවා කඩේ තියෙන පොත් ගෙනත් රෑට ඉටිපන්දම් පත්තු කරගෙන කියවනවා. එයාගේ බඩුත් එක්ක පොත් නැද්ද කියා අටුව උඩට නැඟලා බලන්න.”

වහා අටුවට නැග්ග මැහැල්ල මගේ පොතක් ගෙන පිච්චුවා ය.

මැක්සිම් ගෝර්කි පොත් කියැවූයේ එසේ ය. කුඩා කල සිට ම අනාථ වූ ගෝර්කි කාත් කවුරුවත් නැතිව හැදුණු වැඩුණු, කුසගින්නේ වේදනාව දැන සිටි, තාඩන පීඩන වලට ම බඳුන් වූ, ඉබාගාතේ යමින්, කුලී වැඩ කරමින්, ලැබුණු දෙයක් කමින් බොමින්, අගුපිල්වල ලගිමින්, මිනිසුන් තළන පෙළන රාජ්‍ය පාලනයට විරුද්ධ ව කැරලි ගසමින්, ඒ නිසාම හිරබත් කමින් අවසානයේ තමා අපේක්ෂා කළ උත්තරීත්තර සමාජයක් පිහිටුවා ගැනීමට සමත් වූ ජගත් කීර්තියට පත් ලේඛකයෙකි.

අප කියමින් සිටියේ පොත් පෙරළන්නන් ගැන ය. පොත් පෙරළන්නන් ගැන කියන විට පොත් ජීවිතය ම කරගත් ලේඛකයන් මතකයට නැඟීම අරුම නොවේ. අප දන්නා සමහරු ලොකු පොත් අන් අයට පෙනෙන්නට උස්සාගෙන බස්වල යති; තම ගමන්මල්ලේ ඒ පොත බහාගෙන පහසුවෙන් යෑමට හැකියාව තබාගෙන ම ලොකු පොත් අතින් කටින් එල්ලා ගෙන යති; කන්නේ ද, බොන්නේ ද, වැසිකිළි යන්නේ ද පොත අතේ තියා ගෙන ය. ඔවුහු පෙරළන්නේ අමුතු ම පොතකි.

මේ සියලු ම අමුතු පොත් පෙරළන්නන්ගෙන්, පොත් කියවන්නන්ගෙන් මේ සාහිත්‍ය මාසයේ දී මම ඉල්ලීමක් කරමි. මේ සියලු පොත් කියැවීමට පෙර තමා නමැති පොත කියවා ගන්නට උත්සාහ කරන්න; අනතුරු ව ඔබ කියවන ඕනෑ ම පොතකින්, තමා නමැති පොතට අඩුවැඩිය පමණක් එක් කර ගන්න...

sumudu.chathurani@lakehouse.lk

Comments