
අධික වර්ෂාව නිසා බස්නාහිර, දකුණ, සබරගමු පළාත්වලට ගංවතුර හා නායයෑම් තත්ත්ව ඇතිවීමේ ඉඩකඩ ඇති බවත්, එවැන්නක් සිදුවුවහොත් ඊට මුහුණදීමට බෝට්ටු 100ක්, අඟුල් 120ක් දිය ගොඩ යා හැකි යුද ටැංකි 5ක් සමඟ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා ආපදා සහන සේවකයන් ද සූදානම් කර ඇතැයි ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
මේ අනුව නාවික හමුදා බෝට්ටු 15ක් ද දිය ගොඩ යා හැකි නවීන යුද ටැංකි 5ක් සූදානම් බවත් කළුතර දිස්ත්‍රික්කයේ බෝට්ටු 40 ක් හා අඟුල් 42 ක් දිසාපතිවරයාට ලබාදී ඇති බවත් රත්නපුරයට බෝට්ටු 15 ක් හා අඟුල් 35 ක් දී ඇති බවත් ඇමැතිවරයා කීය.
මීට අමතරව ගාල්ලට බෝට්ටු 25 ක් හා අඟුල් 12 ක් ද මාතරට බෝට්ටු 10 ක් හා අඟුල් 17 ක් ද ලබාදී තිබේ.
මීට අමතරව ගංවතුරින් හා නාය යෑම්වලට ලක්වීමට ඉඩ ඇති ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන අයුරු පිළිබඳව දැනටම උපදෙස් දී ඇති බව පවසන ඇමැතිවරයා පූර්ව අනතුරු ඇගවීම් කර පූර්ව සූදානම් සිදුකර ඇති බවත් කීය.
මේ සඳහා මනා කළමනාකරණ ක්‍රමවේදයක් සකස්කර මුදල් ද වෙන්කර ඇත.
මේ අතර වැඩ බලන කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ සැප්තැම්බර් 12 වැනිදා (අනිද්දා) යළිත් දකුණ බස්නාහිර හා සබරගමුව හා මධ්‍යම පළාත්වලට තදබල වැසි හා අකුණු අනතුරු අනතුරු ඇතිවීමට ඉඩ ඇති බවයි. 9, 10 දිනවල ද ඒ ප්‍රදේශවලට වැසි ඇතිවේ.
ඒ සමඟ ම 12 වැනිදා විශේෂයෙන් මෙතෙක් කල් නියඟය තිබූ උතුරු මැද, වයඹ හා නැගෙනහිර පළාත්වලට තරමක් වැසි (මි.මී. 40) ඇතිවීමට ඉඩ ඇති බව ද අතුල මහතා පවසයි.
මේ නිසා තෙත් කලාපයේ ගංවතුර නායයෑම් හා අකුණු ඇතිවීමට ඉඩ ඇති බව ද ඉන් ආරක්ෂා වීමට පූර්ව ආරක්ෂක විධිවිධාන අනුගමනය කළ යුතු බව ද අතුල මහතා කියයි.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් පර්යේෂණ අංශ ප්‍රධාන ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පවසන්නේ වැස්ස දිගටම තිබුණොත් කළුතර , රත්නපුරය, නුවරඑළිය, ගාල්ල, හා කෑගල්ල දිස්ත්‍රික්කවල නායයෑම් ඇතිවීමට ඉඩ ඇති බවයි.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට පාලින්ද නුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල ද, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්නපුර, නිවිතිගල, ඉඹුල්පේ ප්‍රා.ලේ. ප්‍රදේශවල ද කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, අරනායක ප්‍රා.ලේ. බල ප්‍රදේශවල ද නුවරඑළිය අඹගමුව කෝරෙළ් හා ගිනිගත්හේන ප්‍රදේශවල ද නායයෑම් ඇතිවීමට ඉඩ ඇතැයි බණ්ඩාර මහතා පවසයි. නායයෑමේ පූර්ව ලක්ෂණ අනුව ඉන් ආරක්ෂාවීමට හැකි බව ද ඔහු කියයි.