
සැප්තැම්බර් මස 03 දා යනු ලංකාද්විපයේ සංවිධානාත්මකව පොලීසිය පිහිටුවන ලද ඓතිහාසික දිනයවේ. පොලීසිය පිළිබඳව ලෝක ඉතිහාසය පරිශීලනයේදී ද වඩාත් පැරණිතම ඉතිහාසයක් ශ්‍රී ලංකා පොලීසියට ඇත. නූතන පොලිස් ක්රමයේ පියා ලෙස විරුදාවලියලත් සර් රොබට් පීල් මහතා 1829 දී එංගලන්තයේ මෙට්‍රොපොලිටන් පොලීසිය පිහිටු වූ අතර එය ලෝකයේ සංවිධානාත්මකව පිහිට වූ ප්‍රථම පොලිසීය ලෙස සැලකේ. එයින් වසර 37 කට පසු එනම් වර්ෂ 1866 දී ශ්‍රී ලංකා පොලීසිය 1865 අංක 16 දරන ආඥා පනතෙන් ආරම්භ වී අදට වසර එකසිය පනස් එකක් සපිරේ.
ශ්‍රී ලංකාව තුළ පොලිස් සේවය අසංවිධානාත්මකව පිහිටුවීම සිදුවන්නේ බ්‍රිතාන්‍යයන් විසින් 1795 වර්ෂයේදී කොළඹ වරායේ ගුදම්වල ආරක්ෂාව වෙනුවෙන් සංචාරක ආරක්ෂක ක්‍රමවේදයක් ලෙස ය. පසු කාලීනව විධිමත් පොලිස් සේවයක අවශ්‍යතාවය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කරන ලද ඉල්ලීමත්, රට තුළ සිදුවූ විවිධ දාමරික ක්‍රියා මැඬලීමට එවකට ක්‍රියාත්මක වූ පොලිස් විදානේ ක්‍රමය ප්‍රමාණවත් නොවීමත් මත විධිමත් පොලිස් සේවයක අවශ්‍යතාව මතු විය.
1865 අංක 16 දරන ආඥා පනතෙන් පොලිස් සේවය නිල වශයෙන් ස්ථාපිත කිරීමෙන් පසු ප්‍රධාන පොලිස් අධිකාරිව සිටි ජී.ඩබ්.ආර්. කැම්බල් මහතාව ප්‍රථම පොලිස්පති පත් කර ඇති අතර 1947 වර්ෂයේදී ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස්පතිවරයා ලෙස ශ්‍රීමත් රිචඩ් අළුවිහාරේ මහතා පත්වීම පොලිස් ඉතිහාසයේ සන්ධිස්ථානයකි.
පොලිස් නිලධාරියෙක් රාජකාරියේ නිරතව සිටියදී නීතිය හා සාමය වෙනුවෙන් වූ ප්‍රථම ජීවිත පරිත්‍යාගය සිදුකරන්නේ වර්ෂ 1864 මාර්තු මස 21 වන සඳුදා දින, මාවනැල්ල උතුවන්කන්ද ප්‍රදේශයේදී ය. දීකිරිකෑවගේ සරදියෙල් නැමති සැකකරු අත්අඩංගුවට ගැනීමට දියත් කළ මෙහෙයුමේ දී ඔහු සමඟ සිටි තවත් සැකකරුවෙක් වන මම්මලේ මරික්කාර් නැමැත්තා තැබූ වෙඩි පහරකට ලක්වීමෙන් එම මෙහෙයුමේ නිරතව සිටි සහාන් (Sabhan) නම් පොලිස් නිලධාරියා වීර වික්‍රමාන්විතව ජීවිතක්ෂයට පත්විය.
පොලිස් විරු සහාන් නිලධාරියාගේ සිට අද දක්වා පොලිස් නිලධරයන් 3117 ක් ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය උදෙසා හා මහජනතාවගේ ජීවිත මෙන් ම දේපළ සුරක්ෂිත කිරීම සඳහා වීර වික්‍රමාන්විතව තම ජීවිත පරිත්‍යාග කර ඇති බව සිහිපත් කරන්නේ ගෞරවාන්විතවය.
මෙරට ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම වෙනුවෙන් වූ පොලිස් කැරලි මර්දන රාජකාරියේ ආරම්භක අවස්ථාවක් ලෙස 1915 දී ඇති වී ඇත. එහි දී ලංකාවේ මුල් වරට යුද නීතිය (Martial law) බස්නාහිර හා සබරගමු පළාත්වලට රජය මඟින් පනවා එය ආරක්ෂා කිරීමට පොලීසිය වෙත පවරන ලද බව ඉතිහාසයේ දැක්වේ. එමෙන් ම ශ්‍රී ලංකා ජනරජය ප්‍රතිස්ථාපිත කිරීමට පෙර කාල පරිච්ඡේදයේ (1948 – 1971) රට තුළ සිදුවූ විවිධ ප්‍රචණ්ඩකාරී වාතාවරණයන්හිදී ජන ජීවිතය හා මහජන දේපළ ආරක්ෂා කිරීමට පොලිසිය ක්‍රියා කර ඇත්තේ ඉතා අඩු පහසුකම් හා අවම ශ්‍රම බළකායක් සහිතවය. එම වකවානුවේ දී ප්‍රථම වරට කාන්තා පොලිස් කොස්තාපල් නිලධාරිනියක් ඝාතනයට ලක්වූ අතර ත්රස්තවාදීන් සමඟ පැවැති යුද්ධයෙදී ද කාන්තා නිලධාරිනියන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බව සිහිපත් කළ යුතු ය.
සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම වෙනුවෙන් පුරා දින තුන්සිය හැටපහේදී ම දිවා රාත්‍රියේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පොලිසිය, වර්තමානය වන විට ප්‍රාදේශීය පොලිස් ස්ථාන 484 කින් හා නිලධරයන් 87,000 කින් පමණ සමන්විත වේ. මෙම ආයතන ව්‍යුහය පොලිස් ස්ථාන 600 ක් දක්වා වර්ධනය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් පවතී. ඒ සඳහා පොලිස්පතිතුමන්, නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමන්, අග්‍රාමාත්‍යතුමන්, අතිගරු ජනාධිපතිතුමන් ප්රමුඛ රජයේ අවධානය යොමුව ඇත.
පසුගිය 151 වසර තුළ ගතවූ ආසන්නතම වසර 50 සුවිශේෂී අභියෝග රැසකට මුහුණදුන් ශ්‍රී ලංකා පොලීසිය ලද ජයග්රහණයන් ද අසීමිත වේ. විශේෂයෙන්ම යුද්ධය පැවැති කාල වකවානුවේදී හා පශ්චාත් යුද සමයේදී ද අපරාධ පාලනය ඉතා හොඳින් ක්‍රියාත්මක කර ඇත. එසේම විවිධ මත්ද්‍රව්‍ය රට තුළ පැතිරීම වළක්වමින් සැලකිය යුතු මර්දනයක් සිදු කිරීමට සමත්ව ඇත. රථවාහන වැඩිවීමට හා ජනගහන වර්ධනයට සාපේක්ෂව රථවාහන අනතුරු අවම කර ගනිමින් මාරක රිය අනතුරු හා බරපතළ දේපළ හානි අනතුරු අවම කර ගැනීමට ද හැකි වී ඇත.
මහජනතාවට පොලිස් සේවාවන් පහසුවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි පුරා මාසයක කාලයක් ක්‍රියාත්මක වන පරිදි ජංගම පොලිස් ස්ථාන පිහිටුවීමේ “ගමට පොලීසිය” වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. ඊට සමගාමීව ආගමික, අධ්‍යාපනික, සංස්කෘතික, සෞඛ්‍ය, ක්‍රීඩා සහ පොදු කටයුතු යන විෂයන් යටතේ විවිධ වැඩසටහන් ග්‍රාමීය ප්‍රජාව සහ එක්ව සිදු කිරීමට ද පොලිස් නිලධාරීන් තම සේවාව ලබා දී ඇත. එහිදී සුවදායක පරිසරයක උරුමය සඳහා පරිසර ආරක්ෂක වැඩසටහන් සඳහා වැඩි දායකත්වයක් ලබා දීම ද ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා නිරතුරු දායකත්වය සැලසීම සිදු කෙරේ.
151 වන පොලිස් දින නිල උත්සවය බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩා පිටියේදී මෙම මස 07 වන දින පස්වරු 2.30 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම සන්ධ්‍යාවේදී පොලිස් පැරෂුට් සංදර්ශන, තූර්ය වාදන සංදර්ශන, ටැටු සංදර්ශන, සරඹ සංදර්ශන, තුරග සංදර්ශන, නිල සුනඛ සංදර්ශනවලින් අලංකෘත වේ. මෙම උත්සවයට සහභාගි වීමට, සංදර්ශන නැරැඹීමට සියලුම මහජනතාවට අවස්ථාව සලසා දී ඇත.
ප්‍රෞඩ අතීතයකින්, ඵලදායි වර්තමානයකින් සහ දීප්තිමත් අනාගතයකින් සුසැඳි ශ්‍රී ලංකා පොලීසිය විශිෂ්ටත්වයේ ගමන පෙරටම යමින් අපරාධ හා ප්රචණ්ඩත්වය පිළිබඳ බියකින් තොරව, සාමකාමී හා සමෘද්ධිමත් භාවය සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලාංකික සියලු දෙනාටම ඉඩ හසර සැලැසෙන බව 151 වන පොලිස් දිනයේදී ද අභිමානයෙන් සිහිපත් කරමි.
පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර