ඉගිලෙන ලේනා | සිළුමිණ

ඉගිලෙන ලේනා

 දිනක් සිංහරාජ වනයේ මෝනිං සයිඩ් පෙදෙසේ අලියකු පසු පස යන අතර වෙහෙසට පත් හිටපු වන ජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා ඇතුළු ගෝල පිරිස ගල් තලාවක් මත ගිමන් හැරීමට නතර විය. ඒ අසල දිරාපත් වූ රූස්ස ගසක් වූ අතර එහි විහිදුණු අතුපතර කුරුල්ලන්ගේ මනරම් රැඟුම් නැරැඹීම පිරිසගේ වෙහෙස නිවාලන්නට මහත් රුකුලක් විය. එහෙත් වෛද්‍ය අතපත්තුට තරමක් කේන්ති ගියේ තම ගෝලයකු නිසා කුරුල්ලන් හදිසියේම ඉගිල ගිය බැවිනි.

“අපි සාමාන්‍යයෙන් කැලේ යද්දි දඩයම් පිහියක් අරගෙන යනවා, කැලේදී ඇති වන විවිධ අවශ්‍යතාවලදි පාවිච්චි කරන්න. මාත් එක්ක ගිය ලලිත් එක පාරටම අර දිරාපත් වුණු ගහේ මුලට දඩයම් පිහියේ මොට පැත්තෙන් තට්ටු කර කර තාලයක් තියන්න ගත්තා. අර ලස්සනට හිටිය කුරුල්ලො ඔක්කොම බයේ ඉගිලිලා ගියා. මට ටිකක් කේන්ති ගියා තමයි, ඒත් එක පාරටම ඒ කේන්තිය නිවලා දාන්න කඳේ ගුලක් අස්සෙන් පුංචි හොම්බක් දාලා බලපු කෙනෙක් සමත් වුණා.

දඩයම් පිහියෙන් තට්ටු කරන සද්දෙට හොඳටම තේරුණා ඒ ගහේ අරටුව දිරලා බෙනයක් වෙලා තියෙන්නේ කියලා. ඒ බෙනය අස්සේ හුඟාක් සත්තුන්ට රැකවරණය තිබෙනවා. ඒත් නිදාගෙන ඉද්දි ඇසුණු මේ තට්ටු කරන සද්දෙ නිසා බය වුණු පුංචි ලේනෙක් වගේ සතා ගහ උඩටම දිව්වා. ඒ වුණාට එයාට පැනගන්න වෙන කිසිම ගස් අත්තක් ළඟක තිබුණේ නැහැ. ඒ පාර මේ ලේනා එක පාරටම අත්තටු දිග හැරලා සරුංගලයක් වගේ අහසේ පාවෙන්න ගත්තා. එතකොටයි අපි දැනගත්තේ එයා හම්බාවෙක් කියලා.”

හම්බාවා වෙනත් සතුන් මෙන් නොව නගරබදව හෝ ගම්බදව මිනිස් වාස හමුවේ දක්නට නොලැබෙන්නෙකි. උන් තවමත් ඉතිරිව ඇත්තේ ගං ඉවුරු අසබඩ රූස්ස වනාන්තරවල ගස් මුදුන්වල පමණි. එහෙත් නිශාචරයන් නිසා වනපෙතේදී වුව නිරන්තර උන් දැක ගැනීම උගහට බවය වෛද්‍ය අතපත්තු පවසන්නේ.

“ලේන කුලයට අයත් වුණත් මේ සතුන්ගේ හතර අතට විහිදුණු පාද යුගල මැදින් සම් පටලයකින් බැඳිලා. හම්බාවන්ගේ විශේෂ දෙකක් දකින්න පුළුවන්. එකක් අළු හම්බාවා. අනෙකා කුඩා හම්බාවා. අළු හම්බාවාගේ ශරීර ප්‍රමාණය අනෙකාට වඩා තරමක් විශාලයි. ඒත් දෙවර්ගයටම තිබෙන්නේ බොහෝදුරට සමාන ගති ලක්ෂණ. මේ අය ශ්‍රී ලංකාවට ආවේණික සතුන් නොවේ. මිනිසුන්ගෙන් මේ සතාට ඍජුවම බලපෑමක් නැතත්, දැඩි වඳ වීමේ තර්ජනයකට ලක් වෙලා තිබෙන්නේ මිනිස්සු නිසාමයි. ගස් කපලා, වන විනාශ කරලා මේ සතුන්ට ඉන්න තැන් අහිමි වෙන නිසා දැඩි වඳ වී යෑමේ තර්ජනයකට ලක් වූ සතකු ලෙසයි හම්බාවා ගැනෙන්නේ.”

හම්බාවාගේ විශේෂත්වය වන්නේ සිරුර දෙපස ඇති සම් පටල දෙකය. මෙය විනිවිද පෙනෙන අතර හම්බාවා ඇවිදින විට ඒ තටු කැපී නොපෙනෙන ලෙස සිරුර දෙපස හැකිලී පවතී.

“පාවෙනකොට පේනවා හොඳටම මේ හම්බාවාගේ එකම පැත්තෙ ඉදිරිපස පාදය සහ පිටුපස පාදය මේ සමෙන් හා වෙලා තිබෙන්නේ කියලා. ඒත් ඒවා තටු සලනවා වගේ ඉහළ පහළ කරන්න බෑ. මේ සම් පටලය මැණික් කටුව අසල තිබෙන ආධාරකයකින් නැවූ විට වැලමිට දක්වා හැකිළෙනවා. ඒත් එය ඇවිදින්න බාධාවක් නොවේ. එහෙමය කියලා හම්බාවුන් වේගයෙන් ඇවිදින්නෙත් නෑ. හරි කම්මැලි කමින් ගමන් කරන්නෙ. පිඹුරන් වැනි සතුන් හැර විශේෂ විලෝපිකයන්ගෙන් ගැලවී යන්න තරම් ගැටලුවක් මේ නිශාචරයින්ට නැහැ.

රෝම පිරුණු සිලින්ඩරාකාර වල්ගයක් හම්බාවන්ට තිබෙන්නෙ. හිස සහ කඳ එකට ගත් විට එන දිගට වඩා වැඩි දිගක් මේ වල්ගයට තිබෙනවා. කොඳු නාරටිය දිගේ ඇති රෝම වඩා දිගයි සිනිඳුයි. අළු හම්බාවාගේ වල්ගය නැතිව සිරුර අඟල් දහසයහමාරක් පමණ දිග වුවත් කුඩා හම්බාවාගේ සිරුරේ දිග ඇත්තේ අඟල් 12ක් පමණ ප්‍රමාණයක්. හම්බාවනුත් ලේනුන් වගේම ඉදිරි පාදවල නිය හතරක් සහ පසු පාදවල නිය පහක් බැගින් දරනවා.

නමින් අළු හම්බාවා වුණත් මේ සතා කියන තරම් අළු පාට සතෙක් නොවෙයි. අළුවට හුරු දුඹුරු කළු පැහැයක් තමයි තිබෙන්නේ. පාද යාකරන සම ලි අළු පැහැයක් දරනවා. වල්ගය මුල සිට අගට කළු දුඹුරු පැහැයක් ගන්නේ. හොම්බ අවට සහ හිසේ කුඩා අඳුරු පැල්ලම් දකින්න පුළුවන්. බඩ පැත්තට වන සිරුරේ ඇතුළු ප්‍රදේශය අළු සුදු පැහැයෙන් සැදී තිබෙනවා. එත් පොඩි හම්බාවා චෙස්නට් පාටයි.”

වෛද්‍ය අතපත්තු විද්‍යාත්මකව හම්බාවා විස්තර කරන්නේ එසේය. ඒ අතරට ඔහු තවත් කරුණු එක් කරයි.

“අළු ‘හම්බාවියකට’ නම් එක වරකට එක පැටවයි. ඒත් කුඩා හම්බාවියන් වරකට පැටවුන් දෙදෙනෙකු බිහි කරන අවස්ථා තිබෙනවා. මේ වර්ග දෙකම බොහෝ විට ගැබ් ගන්නේ වසරේ මුල් මාස දෙක තුන ඇතුළත. ඒත් නිශ්චිත අභිජනන සමයක් තිබෙනවා කියලා ස්ථිරව කියන්න බෑ. ගැහැනු සතාට ස්තන ග්‍රන්ථි යුගල තුනක් තිබුණත් පැටවුන් වැඩිපුර ඇති වන්නේ නෑ. හැබැයි මේ පැටවුන්ට සනීපෙට ඉන්න පුළුවන් වන විදිහට ගස් බෙනයක සුව පහසුව දෙන පරඬැල් කොළ වර්ග අතුරලා සුව යහනක් සදා දෙන්න හම්බා මව කටයුතු කරනවා. මුන් ශාක භක්ෂක නිසා ඉරා කන්න අවශ්‍ය රදනක දත් නෑ. පලතුරු වර්ග, මල්, දළු, කොළ කන අතරම ඉඳ හිට කුඩා කුරුමිණියෙක්, සමනළයෙක් මෙනු පතට ඇතුළත් කරගන්න හම්බාවුන් අමතක කරන්නෙත් නෑ.

හම්බාවුන්ටත් විශාල ඇස් දෙකක් තිබෙනවා. ලුමිනස් පාට ස්ථරයකින් එය ආවරණය වී තිබෙන්නේ.

ඇඳිරි වැටෙද්දි ගස්බෙනවලින් ඉවතට විත් තමන්ගේ රාජකාරි අරඹන්න පටන් ගන්නවා. කැලේට කොලේට ආදරේ කරන අයට නම් හම්බාවාගේ හඬ හරිම මිහිරියි. සමහරු හිතන්නේ හම්බාවාත් අර ‘ජුරාසික් පාක්’ චිත්‍රපටයේ එන ඉගිලෙන ඩයිනෝසරයන්ගෙන් පැවත එන සත්ත්ව විශේෂයක් කියලා. ඒත් ලේන කුලේට අයිති හම්බාවාට ඒ තරම් ඈත වසර මිලියන ගණනක අතීතයක් නෑ.”

අරුණි 

Comments