
පසුගිය දෙවසර ඇතුළත වත්මන් රජය මඟින් ජාතික නිවාස, සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් රට පුරා උදා කළ ගම්මාන 500ක් ඉදි කරමින් පවතින අතර ඒවායේ නිවාස 20000ක් පමණ ඉදි වෙමින් ඇති බවත් නිවාස අමාත්‍යාංශය පවසයි. 2020 වන විට මේ යටතේ නව උදා කළ ගම්මාන 2500ක් ඉදි කිරීමට යෝජිත ය.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වය ඇතිව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වය ඇතිව ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් මෙම නිවාස සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.
මේ සඳහා මහාභාණ්ඩාගාරය හා රජය හා ආධාර ලබාදෙන ආයතන දැනට රුපියල් දසලක්ෂ 17000 වැය කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය පවසයි.
මේ යටතේ දැනටමත් උදාකළ ගම්මාන 38ක් රටපුරා විවෘත කර තිබේ. එහි ඇති නිවාස ගණන 1000කි. ඊට අමතරව උතුරු පළාතේ වවුනියාවේ බෝගස්වැව ප්‍රදේශයේ සිංහල ජනතාව සඳහා නව උදා කළ ගම්මාන 9ක් ඉදිකරමින් තිබෙන බවත් එහි නිවාස 1740ක් ඉදි වන බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
රුපියල් මිලියන 1267ක වියදමින් උතුරු පළාතේ මුස්ලිම් හා දෙමළ අවතැන්වූවන් සඳහා උදා කළ ගම්මාන 48ක් ඉන්දියානු ආධාර යටතේ දැන් ඉදි වෙමින් තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ග්‍රාම ශක්ති වැඩපිළිවෙළ යටතේ ආදර්ශ ගම්මාන 100ක් ඉදිකිරීමට කටයුතු කෙරේ. නැගෙනහිර පළාතේ ජනතාවට නව උදාකළ ගම්මාන 28ක් රුපියල් මිලියන 1000ක වියදමින් මඩකලපුවේ ඉදි වෙමින් පවතී.
ජාතික නිවාස සංවර්ධන වැඩපිළිවෙළට 2015 වසරේ රජය රුපියල් මිලියන 5000ක් ද 2016 වසරේ රුපියල් මිලියන 6000ක් ද 2017 වසරේ රුපියල් මිලියන 6138ක් ද ලබාදී තිබෙන බව ද ඒ මුදල් මගින් ජනතාවගේ ඉල්ලීම පරිදි උදා කළ ගම්මාන ඉදි කරන බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.