හිතන්න, කව්ද ඔබ කියා... | සිළුමිණ

හිතන්න, කව්ද ඔබ කියා...

 ඔබ කව්ද? ඔබ කාගේ කව්ද? යන පැනය ඔබ කෙරෙහි නිරතුරුව පවතී. සිංහලයා නොයිඳුල් ජාතියක් බව විශ්වාස කරති. මුස්ලිම්, මැලේ හා ශ්‍රි ලාංකේය දමිල, ඉන්දියානු දමිල ජනයා මෙන්ම තම අනන්‍යතාව පිළිබඳ උදම් අනති. ඔබ කව්ද යන්න විද්‍යාත්මකව තහවුරු කර ගැනීමට ඔබට අවස්ථාවක් ලැබෙන්නේ නම්, මව පියා ඇතුළු බොහෝ දේ අහිමි කර ගැනිමට ඔබ සුදානම්ය. එහෙත් නිර්මාණකරුවන්ට කිසි දාක එවන් ගැටලුවක් පැවැතියේ නැත. ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ නිර්මාණකරුවා කීවේ “එකමවකගේ දරු කැළ බැවිනා යමු යමු වී නොපමා“ යනුවෙන්ය. වසර ගණනාවක් තිස්සේ ජාතික ගීය ගැයූවද අප රටේ වෙසෙන්නන් එක මවකගේ දරුවන් බව අප විශ්වාස කළේ නැත. එය ජාතික ගීයට පමණක්ම සීමාවිය. එහෙත් කොළඹ විශ්ව විද්‍යාලයේ අනුක විද්‍යා ජෛව තාක්ෂණ ආයතනය අප රටේ වෙසෙන්නන් ගේ ඥාතිත්වය කෙබඳුද යන්න විද්‍යාත්මකව පර්යේෂණ පවත්වා තිබේ. ඒ මව් පාර්ශ්වය ඔස්සේ ඇති ඥාතීත්වය පිළිබඳවයි.

ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ අනුක ජීව විද්‍යා ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය රුවන්දි රණසිංහ ලංකාවේ වෙසෙන ප්‍රධාන ජනවර්ග හයක් පරීක්ෂාවට ලක්කර තිබේ. මේ ජානමය සබඳතා විමසීම සඳහා සිංහල, ශ්‍රී ලාංකේය ද්‍රවිඩ, ඉන්දීය දෙමළ, මුස්ලිම්, මැලේ සහ වැද්දා යන ජන වර්ග හය තෝරාගෙන තිබේ. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ අනුක ජීව විද්‍යා ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය කමනී තෙන්නකෝන්, මහාචාර්ය එරික් කරුණානායක, හයිද්‍රාබාද්(ccmb) විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කේ. තංගරාජා, ආචාර්ය නිරාජ් රායි හා ස්වීඩනයේ උප්පාලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාරි ඇලන් හා ආචාර්ය නිරාජ් රායි මේ පර්යේෂණය සඳහා සහභාගී වී සිටී.

ශ්‍රී ලංකාවේ වෙසෙන ජනයා මවු පාර්ශ්වයෙන් වෙනස් වන්නේ කෙසේ ද යන්න අධ්‍යනය සඳහා මව් පාර්ශ­්වයේ ප්‍රවේණික ද්‍රව්‍ය අධ්‍යනය කර ඇති අතර ඒ සඳහා මයිට කොන්ඩියෙන්ටල් DNA ජානය අධ්‍යනය කර තිබේ. මේ හිදී මයිට කොන්ඩියෙල් ජානයේ අන්තර්ගත අති විශේෂ කොටස් දෙකක් වන හයිපවේරියල් රීජන්(HV) Iහා II අධ්‍යනයට භාජනය කර ඇත.

අදාළ පර්යේෂණය සඳහා ජනවර්ග හයට අයත් පුද්ගලයන් 202ක් අහඹුලෙස තෝරාගෙන ඇත. එම DNA සාම්පල් 202 ලබා ගැනීමට රුධිරය හා කම්මුලේ ඇතුළු අශ්‍රිත සෛල ලබාගෙන තිබේ. එසේ සාම්පල් ලබා ගැනීමේ දී DNA ප්‍රධානය කරන පුද්ගලයන්ගේ පරම්පරා තුනක් ආපස්සට විමසා තිබේ. එසේ විමර්ශනයකිරීමේ දි පරම්පරා තුනක් ඇතුළත මිශ්‍ර නොවූ ( ජාතීන් අතර ආවාහ විවාහ සිදු නොවූ) පවුල් වලට අයත් සාමාජිකයන් පමණක් පරීක්ෂණයට යෙදාගෙන ඇත. ඒ සේ සිදු කර ඇත්තේ පර්යේෂණයේදී සාර්ථක ප්‍රතිඵල අපේක්ෂාවෙනි.

පර්යේෂණයේ සාර්ථක ප්‍රතිපල සදහා අනුක ජීව විද්‍යාත්මක පර්යේෂණ කිහිපයක් යොදාගෙන ඇත. ඉන් එක් ක්‍රමයක්වන්නේ පොලිමරේස දාම ප්‍රතික්‍රියා තාක්ෂණය (PCR) යොදාගැනීමයි. එහිදී HV Iහා HV II යන ජාන ප්‍රතිවලිත කර එයින් ලැබෙන අනුක්‍රමණ සම්මත අනුක්‍රමන හා සන්සන්දනය කර බලා ලබාගත් අනුක්‍රමණ ඇති එක් එක් පුද්ගලයාට අදාළ නියෝක්‍රියෝටයිට වෙනස්කම් දත්ත ගත කර ඒවායේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇති වෙනස්කම් විමසන ලදි ඒක දර්ශක හෙවත් එක් එක් පද්ගලයාගේ හැප්ලොටයිප් වෙනස්කම් විමසා එම හැප්ලොටයිප් හැප්ලෝ ගෘප් නම් පොදු වර්ගීකරණයට (ඒක දර්ශක කණ්ඩායම්) ලක් කර අපේ රටේ වෙසෙන පුද්ගලයන් ලෝකයේ වෙනත් ජන කණ්ඩායම් හා සමීපවන්නේ කෙසේ ද යන්න විමර්ශනය කර තිබේ.

පුද්ගල වෙනස්කම් අධ්‍යයනය සඳහා විවිධ මෘදුකාංග භාවිත කර ඇත. එසේ විවිධ මෘදුකාංග භාවිත කරමින් අනුකදාම (ස්විකින්ස්) වංශ ප්‍රවේණික අධ්‍යයනය කට යොමු කර තිබේ. එයින් ලංකාවේ ජනකණ්ඩායම් හය සහිත වංශ ප්‍රවේණික ගසක් නිර්මාණය කර ඇත. ස්විකින්ස් අතර ඇති අනුක දුර උපයෝගි කරගනිමින් නිර්මාණය කරන ලද වංශ ප්‍රවේණික ගස උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රධාන ජන කණ්ඩායම් හය මව් පාර්ශ්වයෙන් සමිප හෝ දුරස් වන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කර තිබේ. එහි ප්‍රතිඵල අනුව ලංකාවේ වැද්දා ජන කණ්ඩායම වෙනම ජන කණ්ඩායමක් ලෙස හඳුනාගෙන තිබේ. මුස්ලිම් හා මැලේ ජනයා සමීප සබඳතා සහිත වෙනම කණ්ඩායමක් ලෙස වංශ ප්‍රවේණි ගසේ පිහිටා ඇත. ඉන්දියානු දෙමළ ජන කණ්ඩායම වෙනස්ම ශාඛාවක් ලෙස වංශ ප්‍රවේණි ගසේ පිහිටා ඇත. සිංහල ජනයා හා ශ්‍රී ලංකා දමිල ජන කණ්ඩායම් දෙක අතර යම් දුරක් පැවැතිය ද සිංහල ජන කණ්ඩායමට අනෙක් ජනකණ්ඩායම් හා සාපේක්ෂව බලද්දී වඩාම සමීප ජන කොට්ඨාසය ලෙස ශ්‍රී ලංකා දමිල ජන කණ්ඩායම පැහැදිලිව හඳුනාගෙන තිබේ.

ඒක දර්ශක වල ප්‍රතිඵල විමසා බලද්දී සෑම ජන කණ්ඩායමක් අතරම පොදු හැප්ලොටයිප් දක්නට ලැබී ඇත. අධ්‍යනයට යොදාගත් ඉන්දියන් දෙමළ ආදර්ශය අනෙක් ජන කණ්ඩායම් සමඟ එක දර්ශක හුවමාරු කරගෙන නැත. කෙටියෙන්ම කියතහොත් ඔවුන් හා ශ්‍රී ලංකාවේ වෙසෙන අනෙක් ජනකණ්ඩායම් අතර ආවාහ විවාහ සිදු වී නැති බව තහවුරු වී ඇත. ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනයා හා මැලේ ජනයා හා සිංහල ජනකොටස් අතර පොදු ඒක දර්ශක දක්නට ලැබේ. ඉන් කියැවෙන්නේ මුස්ලිම් මැලේ හා සිංහල ජනකණ්ඩායම් මවු පාර්ශ්වයෙන් සමීප වන බවයි. වැද්දා මැලේ හා සිංහල ජනයා අතර ද පොදු හැප්ලොටයිප් හෙවත් එක දර්ශක හුවමාරුවි තිබේ. මෙහිදි භාවිත යට ගෙන ඇත්තේ මුලු ලෝකයේම සම්මතයක් ලෙස මයිටකොන්ඩියෙල් වෙනස්කම් දක්වන වංශ ප්‍රවේණි ගසයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන ජනකණ්ඩායම් භූගෝලීය වශයෙන් කෙසේ පැවැත ආවේද යන්න විමසීම හැප්ලොගෘෘප් අධ්‍යයනයේ දි සිදු කරනු ලබයි. ලංකාවේ වෙසෙන ජන කණ්ඩායම් හය අතර ම නැගෙනහිර ආසියාතික හැප්ලොගෘෘප් දක්නට ලැබේ. සිංහල හා ශ්‍රී ලංකා දමිල ජන කණ්ඩායම් අතර දක්නට ලැෙබන හැප්ලොගෘෘප් භූගෝලීය වශයෙන් වෙන්ව ඇත්තේ සමාන ආකාරයටය. දකුණු ආසියාතික හෙවත් ඉන්දියාවේ වැඩිපුර දක්නට ලැපෙන හැප්ලෝගෘෘප් කණ්ඩයයි. එමෙන්ම සිංහල, ශ්‍රි ලාංකේය දෙමළ හා වැද්දා යන කණ්ඩායම් අතර බටහිර යුරේෂියන් (ඊජිප්තු, ඉරාන්) හැප්ලොගෘෘප් දක්නට ලැබේ. මැලේ හා මුස්ලිම් ජනයා අතර බටහිර යුරෝපීය හැප්ලෝගෘෘප් දක්නට තිබේ.

සිංහල හා ශ්‍රී ලංකා දමිල ජන කණ්ඩායම් ‍අතර අග්නිදිග ආසියාතික හැප්ලෝගෘෘප් දක්නට තිබුණි. සිංහල හා මැලේ ජන කොටස් දෙක අතර පැසිපික් කලාපයේ දක්නට ලැබෙන හැප්ලෝ ගෘෘප් දක්නට ලැබේ.

විද්‍යාත්මක පර්යේෂණය පිළිබඳ නිශ්චිත විශ්ලේෂණයක් කරන්නේ නම්

* සිංහල ජනයා අතර සෑම ජන කණ්ඩායමකටම අයත් හැප්ලෝ ගෘෘප් දක්නට ලැබේ. එනම් දකුණු ආසියාතික, බටහිර යුරේෂියානු, අග්නිදිග ආසියානු (ඉන්දියානු), දකුණු පැසිපික්, නැගෙනහිර ආසියානු, ආසියාතික වශයෙන් වූ සියලු ජනකණ්ඩායම් සමඟ ශ්‍රී ලාංකේය සිංහල ජනයා හැප්ලොගෘෘප් බෙදා ගෙන තිබේ. පැහැදිලි ලෙසම කිවහොත් විවිධ භූගො­්ලීය ප්‍රදේශයන් හි සිට පැමිණ ජනයා සමඟ මවු පාර්ශ්වයෙන් සම්බන්ධ වී තිබේ.

* ශ්‍රී ලාංකේය වැද්දා මවු පාර්ශ්වයෙන් සමකාලින ශ්‍රී ලාංකේය ජනයා හා මවු පාර්ශ්වයෙන් සමාන නොවේ.

* සිංහල මුස්ලිම් මැලේ ජන කණ්ඩායම් අතර මවු පාර්ශ­්වයෙන් විශාල වෙනස් කම් දක්නට නැත. මේ ජන කණ්ඩායම් විවිධ භූගෝලීය ප්‍රදේශ වලින් පැමිණ මවු පාර්ශ්වයෙන් සම්බන්ධ වූ ජන කණ්ඩායම් වේ.

* සිංහල හා ශ්‍රී ලංකා දමිල ජන කණ්ඩායම් දෙක අතර පමණක් දකුණු ආසියාතික හැප්ලෝ ගෘෘප් දක්නට ලැබී ඇත. මේ අනුව බැලු කල ඔවුන් මවු පාර්ශ්වයෙන් සමීප ඥාතීත්වයක් පෙන්නුම් කරයි.

ලංකාවේ ජනයාගේ න් ලබා ගත් ජාන වෙනත් රටකදි පර්යේෂණයට ලක් කළ ෙජ්‍ය්ෂ්ට ආචාර්ය ලංකා රණවීර ඔහුගේ පර්යේෂණයේ ප්‍රතිපල ප්‍රකාශයට පත් කර තිබේ. ඔහුගේ අධ්‍යයනයට අනුවද ලංකාවේ වැද්දාට මූලිකවම සමාන වන්නේ ශ්‍රී ලාංකේය ද්‍රවිඩ ජනතාවට ය. ඒක දර්ශක වශයෙන් ගත්විට වැද්දා සිංහල හා ශ්‍රී ලාංකේය ද්‍රවිඩ ජනතාවට මිස ඉන්දීය ද්‍රවිඩ කණ්ඩායමට අයත් නොවේ.

ලංකාවේ ජනයා අතර මව් පාර්ශ­්වයෙන් ඥාති සබඳතා විද්‍යාත්මකව විමසීමේ දී අවසාන නිගමනය ලෙස පර්යේෂණ කණ්ඩායම් දෙකම දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල, ශ්‍රී ලාංකේය ද්‍රවිඩ, හා මුස්ලිම් ජනයා එකම මව් පාර්ශ්වයකින් පැවැත එන බවයි. ඒ පර්යේෂණ මගින් තහවුරුවී ඇත්තේ අප ශ්‍රී ලාංකිකයන් මිස වෙනත් කිසිදු ජන කොටසකට අයත් නොවන බවයි.

ටෙක්ලා පද්මිණී කාරියවසම්
සේයාරූ - සුදම් ගුණසිංහ

Comments