කොළඹ ආරක්ෂක සමුළුව හෙට ඇරැඹේ | සිළුමිණ

කොළඹ ආරක්ෂක සමුළුව හෙට ඇරැඹේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුරෝගාමීත්වයෙන් ආරම්භ කරන ලද ‘කොළඹ ආරක්ෂක සමුළුව’ මෙවරද ගෝලීය හා කලාපීය ආරක්ෂක ගැටලු පිළිබඳව දෙස් විදෙස් විද්වතුන් මඩුල්ලකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. වසර කිහිපයකට පෙර ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධානය පරාජයට පත් කිරීමේ ක්‍රියාවලියෙන් පසු කලාපයට බලපෑ ආරක්ෂක ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ ක්‍රමවත් කතිකාවතක අඩුව පිරවීමට මෙම සැසිය පවත්වනු ලබයි.

මෙවර 7 වන වරටත් පැවැත්වෙන සමුළුව අගෝස්තු මස 28 සහ 29 යන දෙදින තුළ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරක්ෂක ක්ෂේත්‍රය නියෝජනය කරන දෙස් විදෙස් නියෝජිතයින් 800 කගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. මෙවර සාක් රටවල හමුදා ප්‍රධානීන් හට ද සමුළුව සඳහා ආරාධනා කර තිබීම විශේෂත්වයකි. ක්ෂේත්‍රයට අදාළ විදේශීය විද්වතුන් 15 ක් සහ දේශීය විද්වතුන් 12 ක් සමුළුව ඇමතිමට නියමිතය. වත්මන් රාජ්‍යයන් ජාතික ආරක්ෂාවට හා සාමයට ප්‍රබල තර්ජනයක් ගෙනදෙන අන්තවාදය හේතුවෙන් පැතිර යන ප්‍රචණ්ඩත්වය යන සංකල්පය තේමා කර ගනිමින් ‘ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීම : ගෝලීය ප්‍රවණතා’ යන විෂය යටතේ දෙදින සමුළුව පැවැත්වේ.

ලෝකයේ රාජ්‍යයන් අතර ආරක්ෂාව සම්බන්ධ වූ විවිධාකාර ගැටලු හා අභියෝග විද්‍යාමාන වන අතර, එම ගැටලුවලට ආගමික, දේශපාලනික හා සමාජයීය මතවාදයන් සෘජුව බලපානු ඇත. එමඟින් ඇතිවෙන්නා වූ අරගලයන් මැඩපැවැත්වීම සඳහා සාමුහික හා විශ්වාසී ප්‍රවේශයක් ලබාගත යුතුව ඇත. පිළිගත් කතිකාවත් ඔස්සේ එම ප්‍රවේගය ලබාදීම යුගයේ අවශ්‍යතාවයකි. ඒ අනුව, ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2017’ මෙවරත් ලොව පූරා වෙසෙන ආරක්ෂක සම්බන්ධිකරණ ප්‍රධානීන්, ආරක්ෂක විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ විශ්ලේෂකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇත.

ගෝලීය ආරක්ෂාවට ඇති තර්ජන පිළිබඳව පුළුල් කතිකාවතක් ගෝලීය සහ කලාපිය රාජ්‍යවල විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් මෙවරත් ආරක්ෂක සමුළුව තුළින් අවධානයට යොමු කෙරේ. වත්මන් ලෝකයේ අන්තවාදය තුලින් මතුවන ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා භාවිතා කළ හැකි සාමුහික යාන්ත්‍රණයක් හා ජාතින් අතර ඇතිවන අරගලවලට මූලිකවන හේතු පිළිබඳව විද්වත් අදහස් හුවමාරුවක් ද ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2017’ තුළින් සිදුවනු ඇත. ආරක්ෂක සමුළුවේ සැසිවාරය පහත සඳහන් උප තේමාවන් යටතේ සාකච්ඡා කරනු ඇත. මෙහිදි ‘අන්තවාදි ප්‍රචණ්ඩත්වය සැප්තැම්බර් 11 ප්‍රහාරයේ සිට අයිඑස්අයිඑස් සංවිධානයේ උපත අතරතුර ගෝලීය ප්‍රචණ්ඩ අන්තවාදය’, ‘ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීම’, ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව ආරක්ෂක හමුදාවන්හි කාර්යභාර්ය යන උප තේමාවන් වලට අදාලව අභියෝග සහ ගැටලු - පෙරදිග සහ අපරදිග ජාතීන්ගේ දැක්ම’, ‘කලාපීය සංවිධානවල කාර්ය භාරයයන්’, ‘ලෝක පාලනයේ බලපෑම්’, ‘නෛතික බලපෑම්’, ‘බුද්ධි හා සයිබර් අභියෝගතා සහ උපාය මාර්ග’, ‘ආරක්ෂක හමුදාවන්හි කාර්ය හා හමුදා සිවිල් සබඳතා’, ‘එක්සත් ජාතින්ගේ උපක්‍රම’, ‘අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ උපායමාර්ගික අධ්‍යයනය’, ‘රාජ්‍ය ත්‍රාන්තික සබඳතා සහ අන්තවාදි ප්‍රචණ්ඩත්වයට එරෙහිවීම’, ‘ලෝක පාලනයේ දී යුද්ධ හමුදා කාර්යභාරය’, ‘ප්‍රති අන්ත්‍රවාදි ප්‍රචණ්ඩත්වයේ දී ප්‍රජාව සවිබලගැන්වීම’ යන මාතෘකා උපතේමාවන් යටතේ සාකච්ඡා කෙරේ.

ලොව පුරා සිටින විද්වතුන් රැසක් එකට මුණගැසෙන මෙම සමුළුවේ සියලු කටයුතු යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩලවලද සහයෝගය ඇතිව හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ අධික්ෂණය යටතේ සුදානම් කර ඇත.

තවද, ජාතික ආරක්ෂාව යන විෂයෙහි ප්‍රවීණ, කලාපයේ සහ ලෝකයේ කිර්තීමත් විදෙස් විද්වතුන් කිහිපදෙනෙකු ද ගෝලීය සහ කලාපීය ගමන්මග පිළිබඳව මෙම සමුළුවේ දී ඇමතීමට නියමිතය.

Comments