මුළුතැන්ගෙයි විදුලි උපකරණ භාවිතය | Page 4 | සිළුමිණ

මුළුතැන්ගෙයි විදුලි උපකරණ භාවිතය

 බලශක්ති සංරක්ෂණ කාර්යයේදී වඩා වැඩි කාර්යයක් පැවැරෙන්නේ ගෘහණියටයි. ඒ අනෙකක් නිසා නොව ඈ ඇගේ බල ප්‍රදේශය තුළදී හෙවත් මුළුතැන්ගෙය තුළදී බලශක්ති ප්‍රභව වැඩි සංඛ්‍යාවක් මෙන්ම වැඩි බලශක්ති ප්‍රමාණයක්ද භාවිතයට ගන්නා නිසයි. එනිසා මුළුතැන්ගෙය තුළදී බලශක්තිය පිරිමැසුම්දායකව භාවිත කරන සැටි ඔබට මතක් කර දෙන්නට අපි මෙවර කල්පනා කළෙමු.

ඉවුම් පිහුම් සඳහා වැය වන බලශක්තිය අවම කරගැනීම වගේම අඩු වියදමක් සහිත බලශක්ති ප්‍රභවයක් භාවිතයට ගැනීම නුවණට හුරුය. ආහාර පිසීම, වතුර උණු කරගැනීම වැනි කාර්යයන්වලදී පාවිච්චියට ගත හැකි ලාභාදායිම ඉන්ධනය දරය. ගෑස් සහ විදුලිය පිළිවෙළින් මිල අධික අනෙක් ඉන්ධන වර්ගයන් වේ.

නාගරිකව ජීවත්වන බොහෝ අය අද මුළුතැන්ගෙයි භාවිතයට දර යොදාගන්නේ නැත. එහෙත් කාර්යක්ෂම නව උඳුන් භාවිතයට ගැන ඔබ වරක් හෝ සිතා බැලුවාද? කාර්යක්ෂම කළ නව උඳුන් නිසා බලශක්තිය පිරිමසා ගන්නටත්, නිවෙස දුම් නොගැසී තබාගන්නටත් පුළුවන. ගල් තුනේ ලිපත්, අනගි උදුනත්, ජීව ඉන්ධන බත් පිසිනයත් යන ළිප් වර්ගවල කාර්යක්ෂමතාව කෙතෙක්දැයි කියා දැක්වීමට අපි කැමැත්තෙමු.

 

උඳුන් වර්ගය - කාර්යක්ෂමතාව

ගල් තුනේ ළිප - 5 %– 8%

අනගි උඳුන - 17% – 20%

ජීව ඉන්ධන බත් පිසිනය - 35% – 40%

 

ගෘහණියගේ සෞඛ්‍යයටත්, මුළුතැන්ගෙයි පිරිසුදුකම රැකගැනීමටත් නව උඳුන් වර්ගයක් භාවිතයට ගැනීම සුදුසුය.

ජීව ඉන්ධන බත් පිසිනය යනු, ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය හෙවත් නර්ඩ් ආයතනය නිර්මාණය කළ විශේෂ උඳුනකි. එය භාවිතයට ගෙන හාල් කිලෝවක බතක් දිනකට දෙවරක් පිසිනු ලැබුව හොත් මාසයකට විදුලි ඒකක 15ක් ඉතිරි කරගත හැකිය. කිලෝවක බතක් පිසීමට විදුලි බත් පිසිනයකට (රයිස් කුකරයකට) විනාඩි 20ක පමණ කාලයක් ගත වේ. ජීව ඉන්ධන බත් පිසිනයක් ඒ සඳහා විනාඩි 45ක පමණ කාලයක් ගනී. බත් පිසගැනීමට ඔබට අවශ්‍ය වන්නේ පොල්කටු දෙකකින් උත්පාදනය කෙරෙන ශක්තිය පමණි. මේ බත් පිසිනය භාවිත කරන විට දැලි දුම් බැඳීම ද අවමය.

දර උඳුනට සාපේක්ෂව ගෑස් උඳුන කාර්යක්ෂම නමුත් ගෑස් උඳුනක සාපේක්ෂ ජනන අගයද ඉහළය. එනිසා ගෑස් උඳුන භාවිතයට ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතුව ඇත. ගෑස් උඳුනෙන් ඉවුම් පිහුම් කරන සෑම අවස්ථාවකදීම නිල් දැල්ල මතුකරගන්න. උඳුනේ යට ඇති වා කවුළුව සීරු මාරු කිරීමෙන් නිල් දැල්ල මතු කරගන්නට පුළුවන. කහ දැල්ල පවතී නම් ගෑස් අකාර්යක්ෂමව දහනය වන බව ඔබ වටහා ගත යුතුය.

හැකි සෑම අවස්ථාවකදීම පීඩන උඳුන හෙවත් ප්‍රෙෂර් කුකරය පාවිච්චියට ගෙන ගෑස් උඳුනෙන් ඉවුම් පිහුම් කරන්න. පීඩන උඳුන් ඉතා කාර්යක්ෂමය.

ගෑස් උඳුනේ ප්‍රමාණයට සරිලන බඳුන් භාවිතයට ගන්න.

ආහාර පිසින භාජන හා දැල්ල අතර පරතරය අවම මට්ටමක තබාගන්න අමතක නොකරන්න.

ගෑස් ළිපෙහි වා සිදුරු පිරිසුදු කර තබා ගැනීම අවශ්‍යම කාරණයකි.

ආහාර පිසින්නේ මැටියෙන් කළ භාජනවල නම් ගෑස් උඳුන් සඳහාම නිපදවන ලද පැතලි හෝ ඝනකම අඩු හෝ බඳුන් භාවිතයට ගන්න.

ආහාර පිසීමේදී ඔබ අනුගමනය කරන ක්‍රම අනුව බලශක්තිය වැය වන ප්‍රමාණය වෙනස් වේ. එනිසා අඩු බලශක්ති ප්‍රමාණයක් වැය වන අන්දමට ඔබේ ඉවුම් - පිහුම් ක්‍රියාවලිය සකසාගන්න. එහිදී ඔබට මේ ක්‍රම අනුගමනය කරන්නට පුළුවන.

1.අල වර්ග මිල දී ගන්නා විට කුඩා ප්‍රමාණයේ අල තෝරාගන්න. ඒවා තැම්බීමේදී කුඩා කැබලිවලට කපා තැම්බීමෙන් තැම්බීමට යන කාලය අඩු කරගැනීමට පුළුවන.

2. ධාන්‍යය වර්ග තැම්බීමට පෙර පෙඟෙන්න හරින්න. ධාන්‍යය පොඟවා ගන්නා ජලයට බේකින් පවුඩර් හෝ ආප්ප සෝඩා හෝ එකතු කරගන්නේ නම් ධාන්‍ය තැම්බීමට යන කාලය තවදුරටත් අඩු වේ.

3.ධාන්‍ය වර්ග සහ බිත්තර තැම්බීමේදීත්, තේ සෑදීමේදීත් අපට ජලය උණු කරගන්න අවශ්‍යය වේ. එවැනි අවස්ථාවලදී අවශ්‍යය ප්‍රමාණයට පමණක් ජලය භාවිත කරන්න. තේ සෑදීමේදී උණු කරගැනීමට ජලය ඉතිරි වූ විට උණුවතුර බෝතලයකට දමා භාවිතයට ගන්න.

4. ආහාර පිසීමේදී, බඳුන් පියනකින් වසා පිසගන්න. එවිට ජලය වාෂ්ප වී යෑම වැළකී යයි. එනිසා භාජනය තුළ වාෂ්ප වැඩි වී ආහාර පිසීම ඉක්මන් වේ.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී චමින්ද ලියනගේ මහතා සමඟ සාකච්ඡා කර ලිපිය සකස් කළේ

මංජුලා විජයරත්න

Comments