නාවක්කුලිය චෛත්‍යයට ඉඩ දුන් නඩු තීන්දුව | Page 5 | සිළුමිණ

නාවක්කුලිය චෛත්‍යයට ඉඩ දුන් නඩු තීන්දුව

 යුද්ධයෙන් අවතැන් වූ සිංහල දෙමළ මෙන්ම මුස්ලිම් සියලු ජාතීන් යළි තම ගම්බිම්වල පදිංචි කරවීමේ වැඩපිළිවෙළ මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. එම ජනතාවගේ අවශ්‍යතා සියල්ල ඉටු කිරීමට රජය මේ වන විටත් කටයුතු කරමින් පවතින් අතර විවිධ සංවිධාන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද ඒ සඳහා ඇප උපකාර කරමින් සිටී. උතුරේ ඇතැම් පිරිස්වලට මේ වන විට නිවාස ලැබී ඇත්තේ තමන් ගේ නිවාසයන් පිහිටා තිබූ ස්ථානවලම නොවේ. ඇතැම් විට එම නිවාස පිහිටි ස්ථාන ආරක්ෂක හේතූන්හෝ වෙනත් අත්‍යවශ්‍ය හේතූන් මත රජය විසින් රඳවා තබාගෙන සිටින අතර එම ජනතාවට කිසිදු ආකාරයක ගැටලුවක් නොවන ආකාරයෙන් අවශ්‍ය භූමිය මෙන්ම අනෙකුත් අවශ්‍යතාද සපුරා ඇත.

උතුරු ප්‍රදේශයේද මේ ආකාරයෙන් ජනතාවට අවශ්‍ය පහසුකම් සපයා ඇති අතර එම නිසා වන්දනාකාරුවන්ට පවා තම වන්දනීය කටයුතු සිදු කර ගැනීම පහසු වී ඇත.

සොළොස්මස්ථාන වන්දනාවේ ගිය වයඹ පළාත් 'සමස්ත ලංකා කළණ මිතුරෝ දහම් සභාව' සංවිධානය නාවක්කුළිය දුම්රිය ස්ථානයට නුදුරුව පිහිටි විහාරස්ථානය දුටු අතර එහි චෛත්‍යයකත් නොමැති අඩුපාඩුව දැක ඒ සම්බන්ධව විහාරාධිපති හංවැල්ලේ රතනසිරි හිමියන් සමඟ සාකච්ඡා කළහ. මෙහිදී විශේෂයෙන්ම කුලියාපිටිය කිතලව පුෂ්පාරාමාධිපති දුටු වැව ලංකානන්ද හිමියන් ඒ සඳහා මූලිකත්වය ගන්නා ලදී. බෞද්ධ විහාරස්ථානයක චෛත්‍යයක් ඉඳි කිරීමට එරෙහිව බාධාවක් ඇති වේ යැයි උන් වහන්සේ සිහිනෙන් හෝ නොසිතූහ. එතැන් සිට සිදු වූ සිදුවීම් මාලාව ගැන අපි කියනවාට වඩා උන් වහන්සේම පැවසීම උචිත යැයි සිතමු. 'අපි සොළොස්මස්ථාන වන්දනාවේ යනකොට මේ පන්සල දැක්කා ඒ පෙබරවාරි මාසේ 24 වැනිදා, විහාරාධිපති හිමියන් බැහැ දැකල චෛත්‍යය හදන එක ගැන කතා කළා. ඒ අනුව අපි මැයි මාසේ 14 මුල්ගල තියලා පාදම දැම්මා. ඒ සමඟම අපට අ‍පේ මේ ඉදි කිරිමට විරුද්ධව ප්‍රාදේශීය සභාව ලියුමක් එව්වා කියල මාධ්‍ය මඟින් දැන ගන්න ලැබුණා. ජූනි මාසේ 7 වැනිදා විහාරස්ථානයට ලියුමක් ලැබුණා. මේ අනවසර ඉදි කිරීමක් වහාම නවත්වන්න කියලා. මැයි මාසේ 18 වැනිදා දිනය යොදපු ඒ ලියුම ලැබුනේ ජූනි මාසේ 7 වැනිදා. ඒක ගැන කලින්ම අපට දැන ගන්න ලැබුණා. ඉඳි කිරීම් සඳහා අනුමැතියක් ලබා ගත යුතු බවට නීතියක් තියෙනවා නමුත් විහාරස්ථාන භූමියක චෛත්‍යක් ඉදිකිරීමේදි සාමාන්‍යයෙන් අනුමැතියක් ගන්නේ නැහැ. අනුමැතියක් අවශ්‍ය නම් අපි ලබා ගන්න චාවාචක්චේරිය ප්‍රා දේශිය සභාවට ගියත් අනුමත රක්න බැහැ. ඉඳි කිරීම් නවතවන්න නැත්න්ම නඩු දානව කිව්වා.

අපි මේ සම්බන්ධව ජනාධිපතිතුමා දැනුවත් කළා, එතුමා කිව්වේ පන්සලන චෛත්‍යක් හදන්න ප්‍රශ්නයක් නැහැ හදාගෙන යන්න කියල, උතුරු ආණ්ඩුකාරතුමාත් දැනුවත් කළා එතුමාත් ප්‍රශ්නයක් නාහැ කිව්වා, යාපනය දිස්ත්‍රික් ලේකම් තුමියට කරුණු පැහැදිලි කළා. එතුමියත් කිව්වේ කාටවත් කරදයක් බාධාවක් නොවන පරිදි කරගෙන යන්න කියලයි. ඒ අනුව අපි ජූනි 16,17,18 දවස්වල චෛත්‍යයේ වැඩ ආරම්භ කළා. පාදමේ තලුගල් බැම්ම අඩි 6.5ක් උසිට බැන්දා කියුබ් 90ක් ගියා.

කළුගල් සේරම මැදවච්චියේ සිට ගෙනිච්චෙ. යාපනයේ කළුගල්සොයා ගන්න නැහැ. මේ අතර ජූලි මස 7 වැනිදා අධිකරණයේ පෙනී සිටින්න කියල සිතාසි ආවා. ඒකට නිතිඥ මහතුන් සොයැ ගැනීමත් අපට ප්‍රශ්නයක් වුණා. දෙමළ දන්න බෞද්ධාගමත් දන්න අය හිටියෙ නැහැ. කොහොම හරි රංජිත් කුමාරන් කියන නීතිඥ මහතා අපි වෙනුවෙන් ඉදිරිපත් වුණා. නඩු දිනයේදි මමත් විහාරාධිපති හිමියනුත් නාගදිපයේ හාමුදුරුවොත් මාන්කුලමේ හාමුදුරුවොත් චාවාකච්චේරිය උසාවියට වැඩම කළා. අපි අධිකරණ ශාලාවට වැඩම කෙළේ විනිශ්චයකාරතුමිය පැමිණීමෙන් පසුවයි. අප දුටු විනිශ්චයකාරතුමිය අපට වෙනම ආසන පනවන ලෙස දැනුම් දුන්නා. ඔහු මාධ්‍යවේදීන් සිටින ස්ථානයේ අපට ආසන සකස් කර දුන්නා. අපේ නඩුව විභාගවට ගත්තේ උදේ 10.00ට විතර නඩුවක් විභාක කරන විට විත්ති පාර්ශ්වය අනිවාර්යෙන්ම විත්ති කූඩුවට නැඟිය යුතුයි. ඒ අපේ නිතිමය ක්‍රමවේදයයි. එය යටත් විජිත යුගයේ සිට අද දක්වාම අපේ අධිකරණ ක්ෂේත්‍රයේ පවතින්නක්.

එසේ වුවත් මේ විනිශ්වයකාරතුමිය ඒ සම්ප්‍රදායය වෙනස් කරමින් ස්වාමීන් වහන්සේට විත්තිකූඩුව අසල අසුනක වැඩ සිටින ලෙස පැවසුවා. උන් වහන්සේ විත්තිකරුවකු ලෙසින් මේ නඩුවට මුහුණ දුන්නේ ඒ අයුරින්. ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පෙනී සිටින්න නිතිඥවරුන් දෙදෙනෙක් ඉදිරිපත්ව සිටියා. රාජ්‍ය යාන්ත්‍රණය, ක්‍රමවේදය අනුව නඩුවකට නිතිඥවරුන් ඉදිරිපත් කරන්නේ එක් අයෙක් පමණයි. එසේ වුවත් මේ අවස්ථාවේදී දෙන්නෙක් ඉදිරිපත් කර තිබුණා. ඔවුන් දිගින් දිගටම තර්ක කළා. මේ සදහා අවසර ගෙන නැහැ. එම නිසා මේ චෛත්‍යය ඉදි කිරීම් නවතා දමා එය කඩා දැමිය යුතු බවට. නමුත් අපේ නීතිඥ මහතා කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටියේ මේ විහාරස්ථානය ප්‍රදේශයේ පදිංචි සිංහල පවුල් උදෙසා ස්ථාපිත වූවක් බවත් එය ආගමික ස්ථානයක් බවත් එයින් කිසිදු අයෙකුට හිංසාවක් හෝ පිඩාවක් නොවන බවත් ජාතික සමඟිය රැකිම සඳහා ඉවහල් වන බවත් පවසා කරුණු වාර්තා කර සිටියා.

මේ කරුණු සියල්ල දෙස සාවධානව අසා සිටි විනිශ්චයකාරතුමිය තම විනිශ්චයකාර අසුන මත හිඳ මේසය මත තිබූ ජල විදුරුව පානය කිරීමට සැරසි නැවත එය පීරිසියෙන් වසා තබා පොලිස් නිලධාරි මහතකුට කතා කර අප දෙස බලා යමක් පැවසුවා. අප අසලට පැමිණි පොලිස් නිලධාරියා අපෙන් ගිලන් පස සඳහා අවශ්‍ය මොනවාදැයි විමසා සිටියා. අප අවශ්‍ය නැති බව කරුණාවෙන් පැවසුවා. යළි එම පොලිස් නිලධාරියා ගොස් විනිශ්චයකාරතුමියට ඒ බව දන්වනු අපට පෙනුණා. යළිත් කුමක් හෝ ඇය විසින් පැවසූ අතර ඉවතට ගිය පොලිස් නිලධාරිවරයා ජලය බෝතල් 4ක් අප ඉදිරියේ තැබුවා. විනිශ්චයකාරතුමිය තම ජල වීදුරුව පානය කෙළේ ඉන් පසුවයි.මේ සියලු කාර්යයන් සිදු කෙරෙන අතර අධිකරණයේ සියලු වැඩ කටයුතු නතර වී තිබුණා. පසුව විනිශ්චයකාරවරිය දීර්ඝ දේශනාවක් සිදු කළා. ඇය මුලින්ම පැවසුවේ තමන් ද්‍රවිඩ ජාතික හින්දු ආගමික කාන්තාවක් බවයි. එසේ වුවත් තම්න් සියලු ආගම්වලට ගරු කරන බවත් සියලු ආගමික නිදහස අගය කරන බවත් පවසා තම ජීවිත කතාවෙන් කොටසක්ද මෙ අවස්ථාවේ ගෙන හැර දැක් වූවා. ඒ කතාවත් ඇය පැවසූ ආකාරයෙන්ම පැවසීම ‍උචිත වනවා.

'මම පුංචි කාලෙ බුදු පිළිමයක් දැකල ඒ මොකක්ද කියල අම්මගෙන් ඇහුවා. අම්ම ඒ ගැන මට පහදල දුන්නා. එදායින් පස්සෙ මම ආගම අදහන ස්ථානයේ බුදු පිළිමයක් තියාගෙන ගොඩක් භක්තියෙන් ඊට ගරු කළා.

මම අවරුදු 15ක් මේ වන විට අධිකරණයේ නඩු කතා කර තිබෙනවා. ඒ අවරුදු 15ම මගේ ළඟ ආරක්ෂාවට සිටියේ සිංහල පොලිස් නිලධාරීන් ඒ අය ටී.වී එකෙන්, රේඩියෝ එකෙන් බණ අහන වෙලාවට මමත් අහගෙන ඉන්නවා. සමහර වෙලාවට අතර මඟදි පොලිස් නිලධාරීන් රාජකාරි සඳහා නික්ම ගියත් මම ධර්ම දේශනාව අවසන් වෙනකල්ම සවන් දෙනවා. ඒ විතරක් නෙමයි මගේ පුතා ශිෂ්‍යත්ව විභාගය පාස්වුණු වෙලාවෙ මොනවද ඕනෙ කියල ඇහුවහම කිව්වෙ මට බුදු පිළිමයක් දෙන්න කියල. පුතා මේ වන විට විද්‍යා විෂයයයන් හදරන අයෙක් වුවත් ඔහුත් බුදු දහම කෙරෙහි ගෞරවයක් තිබෙනවා. පුතා බුදු පිළිමය දිහා බලාගෙන පාඩම් කරනව. එයාට මතක හිටින්නේ බුදු පිළිමය දිහා බලාගෙන පාඩම් කරන විටයි. ඒ වගේම පුතා භාවනා කරනවා.

මම හින්දු ආගමික කාන්තාවක් ඒ වුණත් බුදු දහම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. බෞද්ධ , එහෙම නැත්නම් හින්දු, කතෝලික, ඉස්ලාම් හෝ කුමන ආගමිකයන් හෝ වැරැද්දක් කරනවා නම් ඒ වැරැදි වැඩ වලට දඬුවම් කන්න මම අනිවාර්යෙන්ම කටයුතු කරනවා. ඒ වුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහමට ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතු බව පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ නිසා ආගමික අවශ්‍යතාවක් උදෙසා ඉඳි කරනු ලබන මේ චෛත්‍යය ඉඳි කිරීමට අවසර ලබා දීමට ප්‍ර දේශීය සභාව කටයුතු කළ යුතුයි. ආගමික සහජීවනය උදෙමා හිස ආගමිත ගැටලු නිර්මාණ්‍ය කිරීම කළ යුතු නැහැ. ඒ වගේම මේ අනුමැතිය ලබා දීම ඉක්මනින්ම කළ යුතු වෙනවා. කිසිදු හේතුවක් මත ප්‍රමාද කිරීමක් නොකළ යුතුයි. රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහමට ලබා ඇති ප්‍රම්‍රඛතාව හේතුවෙන් විත්තිකර පාර්ශ්වය විසින් කිසිදු ආකාරයක ගාස්තුවක් හෝ ගෙවීම නොකළ යුතු වෙනවා‍. ඒ තීන්දුවත් සමඟම මේ නඩුව ඉවත ලනවා. '

ජාතිවාදී ආගම්වාදී බෙදුම් වාදීන් විසින් අවුලුවන්නට උත්සාහ කළ තවත් ගින්දරක් ඒ අනුව වැළකී ගියේය. වාචාකච්චේරිය මහේස්ත්‍ර­ාත්තුමිය ලබා දුන් නඩු තින්දුව මේ රටේ චෛත්‍යයක් ඉදි කිරීමට එරෙහිව විභාග කරන ලද පළමු නඩුව ලෙස ඉතිහාස ගත වනු ඇත. එමෙන්ම ආගම්වාදී ජාතිවාදී අයටද මහත්ම වු ආදර්ශයක් වනු ඇත.

ආගම ජාතිය ආගම රට දැය රැක ගැනීමට මිස බෙදා වෙන් කිරීමට නොවන බව සියලු දෙනාම දැන ගත යුත්තේ මේ නඩු තී්නදුවත් සමඟය.

යාපනයේ සංචාරයකින් පසු
තාරක වික්‍රමසේකර
සේයාරූ - සමන්ත විරසිරි

Comments