නිෂ්පාදනය කළ හැකිය අත පුච්චා ගන්නේ ඇයි? | Page 4 | සිළුමිණ

නිෂ්පාදනය කළ හැකිය අත පුච්චා ගන්නේ ඇයි?

 අපේ රට තවමත් සංවර්ධනය නොවීම සම්බන්ධව ඇති චෝදනා රාශියකි. ඒ අතරින් ප්‍රධාන වන්නේ ආර්ථීකමය දියුණුවක් නොවීමය. ඒ වෙනුවට ණය බර වැඩිවීමය. විදේශ ණය තවතවත් ලබා ගැනීමට සිදුවීමය. ආනයන වැඩිවීමය. අපනයන අවම වීමය.

රටක දියුණුව සැලකීමේදී මේ චෝදනා සුළු කොට තැකීමට නොහැකිය. රටක් උපයන සියල්ල ආනයන වෙනුවෙන් වැය කිරීමට සිදු වන්නේ නම් ඒ රටේ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ නොහැකිය. ඒ මදිවාට නිෂ්පාදන කර්මාන්ත අවම නම් එවිට සිදුවන්නේ සියල්ල පිටරටින් ආනයනය කිරීමටය. එහි අවසාන ප්‍රතිඵලය විදේශ ණය තවතවත් වැඩිවීමය. දැන් අපේ රට මුහුණ පා සිටින්නේ එවැනි තත්ත්වයකටය.

රටක් පරිහානිය කරා ගමන් කරන්නේ නිරායාසයෙනි. ආයාසයක් දැරිය යුත්තේ සංවර්ධනය වීමටය. සංවර්ධනය වීමේදී මේ සියල්ල ආපස්සට හැරවිය යුතුය. එය එතරම් පහසු දෙයක් නොවේ. මෙහිදී රටක් ලෙස ජනතාවක් ලෙස මුහුණ දෙන අභියෝග සැබවින්ම බැරෑරුම්ය. විදේශ රටවල් බලා සිටින්නේ සෑම මොහොතකම තවත් කිනම් හෝ රටක් තම වෙ‍ළෙඳපොළ බවට පත් කරගැනීමටය. එලෙස බහු ජාතික සමාගම්වල වෙළෙඳපොළක් බවට පත් වූ රටකට එයින් මිදීම ඉතා අපහසු වන්නේ තව භාණ්ඩ අලෙවිය කිසිදු අන්දමකින් පහත වැටීමට ඉඩ නොදීමට මේ සමාගම් සෑම මොහ‍ොතකම කටයුතු කරන හෙයිනි. ඒ අනුව එක් වරක් අලෙවියකින් තොරව මිලදී ගැනීම පමණක් කළ රටකට සිදුවන්නේ දිගින් දිගටම මිලදී ගැනීම පමණක්ම කිරීමටය. මෙය චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වන අතර එයින් මිදීමට නම් නිෂ්පාදන වැඩි කර, අලෙවිය වැඩි කර, විද‍ේශීය භාණ්ඩ මිලදී ගැනීම් අවම කර ගත යුතුය. ඒ සඳහා රටක් ලෙස ජනතාවක් ලෙස දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කළ යුතුය. එසේ නොමැති වුවහොත් ඉහත කී චක්‍රයෙන් බැහැරට යෑම එතරම් පහසු වන්නේ නැත. එමෙන්ම එසේ කිරීම සඳහා රටක ජනතාවගේ ආකල්පවල දැවැන්ත විප්ලවයක්ද සිදුවිය යුතුය.

අපේ රට සලකා බැලුවහොත් දැනට සිටින්නේ මේ වැඩපිළිවෙළේ බිම් මට්ටමේ බව කිව යුතුය. මේ චක්‍රයෙන් මිදීමට අපේ රටට තවත් පියවර ගණනාවක් ගමන් කළ යුතුව තිබේ. එහෙත් කිව යුතු වැදගත්ම දෙය වන්නේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය පසුබිම අපේ රටේ හොඳින්ම පවතින බවයි.

විදේශීය නිෂ්පාදනය යැයි කී පමණින් අපේ ජනතාව අතර ඇති වන්නේ මහා ඉල්ලුමකි. එමෙන්ම දේශීය නිෂ්පාදන තත්ත්වයෙන් බාල බවක්ද ඔවුන්ගේ මනසට කාවැදී තිබේ. ප්‍රථමයෙන්ම වෙනස් කළ යුත්තේ ජනතාව අතර පවතින මෙවැනි අදහස්ය. සැබවින්ම තත්ත්වයෙන් බාල නිෂ්පාදන අප රටේ නිෂ්පාදිත භාණ්ඩ අතර පමණක් නොව විදේශයන්හි නිෂ්පාදනය කරන භාණ්ඩ අතරද වේ. එහෙත් විදේශීව වෙළෙඳපොළට නිකුත් කරන භාණ්ඩ ගුණාත්මක බව අතින් ස්ථාවර මට්ටමක තබා ගනිමින් වෙළෙඳපොළේ විශ්වාසය දිනාගැනීමට විදේශීය භාණ්ඩ නිෂ්පාදකයෝ කටයුතු කරති. සැබවින්ම තම නිෂ්පාදන ප්‍රමිතියෙන් ඉහළ මට්ටමක තබා ගැනීම නිෂ්පාදකයකුගේ අභියෝගයකි. මෙවැනි අභියෝග තමන් හමුවේද තබා ගැනීමට හා ඒවා ජය ගැනීමට දේශීය භාණ්ඩ නිෂ්පාදකයන්වද දිරි ගැන්විය යුතුය. දැනටමත් දේශීයව නිෂ්පාදනය කරන තත්ත්වයෙන් උසස් ඇතැම් භාණ්ඩ කෙරෙහි නොවෙනස් වෙළෙඳපොළක් අපේ රට තුළ පවතින බවද මෙහිලා සිහිපත් කළ යුතුය.

එවැනි ප්‍රමිතියෙන් උසස් භාණ්ඩ දේශීයව නිෂ්පාදනය වන්නේ නම් ජනතාව එවැනි භාණ්ඩ වෙත ආකර්ෂණය වීම සිදු වන්නේ නිරායාසයෙනි. එවිට රජය විසින් කළ යුත්තේ එවැනි භාණ්ඩ සඳහා ආදේශක ලෙස විදේශයන්ගෙන් ගෙන්වන භාණ්ඩවලට කිසියම් බදු මුදලක් පැනවීමය. එමගින් දේශීය භාණ්ඩවල මිල කැපී පෙනෙන ලෙස අඩුවන අතර, එම භාණ්ඩ මිලදී ගැනීම් තවත් වර්ධනය වේ. මෙහි අවසානය වන්නේ දේශීය නිෂ්පාදකයකු දේශීය වෙළෙඳපොළ ජය ගැනීමය. එහි තවත් ඉදිරි පියවරක් ලෙස එවැනි නිෂ්පාදකයකු තම අතිරික්ත නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමද සිදු විය හැකිය.

දැනටමත් අපේ රටේ නිෂ්පාදන කිහිපයක් මෙලෙස විදේශීය වෙ‍ළෙඳපොළ වෙත ඉදිරිපත් වුවද රටක් ලෙස දියුණු ආර්ථිකයක් කරා ගමන් කිරීමට එය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. විය යුත්තේ මේ තත්ත්වයේ වඩාත් වැඩි දියුණුවක් සිදුවීමය. එක් නිෂ්පාදකයකු හෝ දෙදෙනෙකු ජාත්‍යන්තරය ජයගත් පමණින් රටක ආර්ථිකයක් වර්ධනය වන්නේ නැත. එබැවින් මේ තත්ත්වය සමාජීය පොදු ලක්ෂණයක් බවට පත් වන තුරු චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වීමට කටයුතු කළ යුතුය.

යළිත් අපේ රට සලකන්නේ නම් දියුණු වීමට අවශ්‍ය පසුබිම එහි ඕනෑ තරම් පවතින්නේය. කළ යුත්තේ ඒ පසුබිම වඩාත් වර්ධනය කර ගැනීමට කිසියම් විධිමත් වැඩපිළිවෙලක් ඇති කර එය අඛණ්ඩව පවත්වා ගැනීමය.

රටක් වර්ධනය වීමට නව නිර්මාණ බිහි වීම අත්‍යවශ්‍ය වේ. කරළියට නොපැමිණියද අපේ රට සැබවින්ම නව නිර්මාණවලින් පොහොසත්ය. විශේෂයෙන් ඒ සම්බන්ධව ඉතා දැඩි උනන්දුවකින් යුක්තව ක්‍රියා කරන මිනිසුන් පිරිසක් අපේ රටේ සිටින්නේය. එය සැබවින්ම දැන ගැනීම පුදුමයටත් එමෙන්ම ප්‍රීතියටත් හේතු වන කරුණක් වන්නේය. එය සැබෑය. එමෙන්ම ඔවුන්ගේ අතින් සුවිශේෂ නිර්මාණද බිහිවන්නේය. එහෙත් කණගාටුව වන්නේ මේ නිර්මාණ අතරින් බහුතරය උපන් ගෙයිම මියෑමය. ඇතැම්විට මේ නිර්මාණවල සරල ආකෘතියක් පමණක් නිපදවීමට නිර්මාණකරුවා කටයුතු කරන්නේය. එය නිෂ්පාදන යන්ත්‍රයක් හෝ භාවිතයට ගත හැකි උපකරණයක් ලෙස නිපදවීමට අවශ්‍ය මූල ධනය ඔහු සතු නොවන බැවින් එසේ නිෂ්පාදනය කිරිමට මූල ධනය සොයාගැනීමට අපහසු බැවින් නිර්මාණයේ අදහස උපන් ගෙයිම මිය යන්නේය. තවත් නිර්මාණ මෙවැනි නිර්මාණ ශිල්පීන් දිරිමත් කිරීම වෙනුවෙන්ම පැවැත්වෙන තරගාවලි සඳහාද ඉදිරිපත් කෙරෙන්නේය. එම තරගාවලි අතරින් ජයග්‍රහණය ලැබ, ඉන් නොනැවතී විදේශ රටවල පැවැත්වෙන තරගාවලි සඳහාද ඉදිරිපත් කෙරෙන්නේය. එවැනි විදේශීය තරගාවලිවලින්ද ජයග්‍රහණය ලබා රන් පදක්කම්, රිදී පදක්කම් ලබනා නිර්මාණකරුවෝ යළි නිවෙස් වෙත පැමිණ තම නිර්මාණ ධූලි වලාවන්ගෙන් වැසී මකුළු දැල් බැඳෙන ලෙස පසෙකින් තබා ඉදිරි ජීවිතය ඔහේ ගෙවා දමති.

අපේ රටේ බොහෝ නව නිපැයුම්කරුවන්ගේ ඉරණම මෙසේ වන්නේය. එහෙත් එසේ වීමට ඉඩ නොහැර ඔවුන්ගේ නිර්මාණ සංකල්ප භාවිතයේ යෙදවීමට රාජ්‍ය අනුග්‍රහයෙන් යුතු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි නම් එයම අපේ රටේ සංවර්ධනයේ මූලික පියවර වනු ඇත. එසේ නැතිනම් ඔවුන්ගේ සංකල්ප භාවිතයේ යෙදවීමට, නිෂ්පාදනය කිරීමට මූල ධනය යෙදවිය හැකි පිරිස් සමග සම්බන්ධීකරණය කළ හැකි, නිර්මාණකරුවාට විශ්වාසය තැබිය හැකි වැඩපිළිවෙළක් ඇති කළ හැකි නම් එයද වැදගත් පියවරක් වනු ඇත.

එ‍් වෙනුවට දැනට අපේ රටේ සිදුවන්නේ නිර්මාණකරුවාගේ අදහස් මංකොල්ල කෑමය. කිසියම් සාර්ථක නිර්මාණයක පෙරනිමිති දක්නට ලැබේ නම් එම සංකල්පය පමණක් නිර්මාණකරුවාට හොරෙන් සංකල්ප හොරා කෑම නම් ජයටම සිදු වන්නේය. ඇතැම් ආයතනවල, සරසවිවල නව නිර්මාණ කිරීමට සිසුන් දිරි ගන්වන අතර විස්මයට පත් විය හැකි මට්ටමේ නව නිර්මාණද සිසුන් අතින් සිදු වන්නේය. එහෙත් මෙවැනි තැන්වල ඇතැම් ආචාර්යවරුන් සිසුන්ගේ මෙවැනි නිර්මාණ සංකල්ප තමන්ගේ ලෙස හුවා දක්වමින් විදේශ රටවලට ඉදිරිපත් කළ අවස්ථා අපේ රටේ සුලබ ලෙස වාර්තා වී තිබේ.

මේ තත්ත්වයට පිළියම් සෙවීමකින් තොරව, නිර්මාණකරුවා ආරක්ෂා කිරීමකින්, දිරි ගැන්වීමකින් තොරව නව නිර්මාණ බිහි කිරීම සහ ඒ ඔස්සේ ආර්ථිකය වර්ධනය කිරීම නම් සිහිනයක් පමණක්මය. එය එසේ වන තෙක් අප විදේශීය බහුජාතික සමාගම්වල භාණ්ඩ තොග ගණනේ පරිභෝජනය කරමින්, ඒ වෙනුවෙන් අප ලබනා සොච්චම් අපනයන ආදායම යොදවමින්, මදි පාඩුවට ණය වෙමින් දිගින් දිගටම පවතිනු ඇත.

දැන් යුද්ධය අවසන්ය. කන්කෙඳිරිගෑමට කිසිවක් නැත. ඉදින් දැන් සැබවින්ම අවශ්‍ය නම් අපට සංවර්ධනය විය හැකිය. කොමිස් ගසාකෑම්වලින් තොරව, නිර්මාණ මංකොල්ල කෑමෙන් වැළකී, සැබෑ අවශ්‍යතාවෙන් යුක්තව, දිගු කාලීන අරමුණ සහ වැඩපිළිවෙළින් සන්නද්ධව ඉදිරියට ගමන් කළ යුතුමය.

ටිරෝනි වෑවලගේ

Comments