
'කිචි බිචි හඬ කොෙහ ගියාද? ' ඇය විසින් සම්පාදිත නවතම ළමා නිර්මාණ කෘතියයි. ළමා නිර්මාණයක් කිරීමට නම් ළමා මනස හොඳින් වටහා ගත යුතු බව ඔවුන්ගේ සිතුම් පැතුම් ද පිළිබඳව ද මනා අධ්‍යයනයක් කළ යුතු බව ඇය පවසයි. ස්වභාව සෞන්දර්යෙන් ඈත් වීගෙන යන වත්මන් දරුවාට ස්වභාව සෞන්දර්යයෙන් ආදරය කිරීමටත් එය රැක ගත යුතු ආකාරය පිළිබඳවත් ඇගේ ළමාකතාවෙහි මූලීක අරමුණ බව ද මේ ලේඛිකාව පවසයි .
• ඔබ ළමයින්ට කතා ලිවීම සහ චිත්‍ර නිර්මාණය කිරීම යන අභියෝගයන් දෙක ඔබ බාරගත්තේ කෙසේ ද ?
ළමයිට කතා ලියන්න කලින් අපි එයාලගේ ළමා මනස හඳුනා ගන්න ඕන. දරුවන් හරිම නිර්ව්‍යාජයි. එයාලාගේ සිතුම් පැතුම් හරිම නිර්මලයි. ළමයින්ට කතා ලියන්න කියන්න පළමු ව එයාලාගේ අදහස් උදහස් අපි දැනගන්න ඕන. ඒ වගේම ළමා මනස තේරුම් ගන්න නම් ඒ ඇසුරේ කාලයක් ඉන්න ඕන. ප්‍රාථමික පාසල් ගුරුවරියක් වන නිසා මට විවිධාකාර ළමයි ඇසුරු කරන්න ලැබුණා. ඒනිසා මගේ ළමා කතාව ළමයි හොඳින් වැලඳ ගන්නවා කියා මට හිතෙනවා. ළමයින්ගෙන් මගේ නිර්මාණවලට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ළමයින්ට කතා ලියන ඒ වගේ ම චිත්‍ර නිර්මාණය කරන විට ඒ අයගේ සමාජ පරිසරයන් වෙන් වෙන් වශයෙන් හදුනා ගන්න ඕන. අපි දරුවන්ගේ නිර්මාණවලට චිත්‍ර අඳින විට ඇතැම් විට චිත්‍ර බලලා ළමයින්ට කතාවම කියන්න පුළුවන් විදිහටයි අඳින්නේ. ඇතැම් විට ග්‍රන්ථ ප්‍රකාශකයෝ චිත්‍ර නිර්මාණ ප්‍රමාණය වැඩි කියලා මුද්‍රණයේදි ඇතැම් චිත්‍ර අඩු කරනවා. ඒත් විදෙස් රටවල ළමා නිර්මාණකරුවාගේ නිර්මාණය ඒ ආකාරයෙන්ම මුද්‍රණය කරනවා.
තමාටම ආවේණික ළමා කතා කලාවක් හඳුන්වා දුන් මගේ මව වන සිබිල් වෙත්තසිංහයන්ගේ ආභාසය මට හොඳින් ලැබුණා. මගේ මවගේ නිර්මාණ ඇසුරේ මා කුඩා කල පටන් සිටියා. මගේ ළමා කතාවේ සාර්ථකත්වයට එයත් එක් හේතුවක් ලෙස මා දකිනවා. ඒ වගේම ළමා කතා සාර්ථකව ලියන්නට හැකි වීමට තවත් හේතුවක් වන්නේ ළමා කාලයේ දී අපි අවට තිබු ස්වභාව සෞන්දර්ය. ඒ පරිසරයෙන් අපි බොහෝ දේ උකහා ගත්තා. ඒ පරිසරය නිර්මාණ කාර්යයේ දී මට සුවිශේෂ වූවා යැයි කියන්නට පුළුවන්.
• ඔබේ ළමා කෘතිවල සුවිශේෂ ලක්ෂණයක් ස්වභාව සෞන්දර්යය පිළිබඳ වර්ණනා කිරීම සහ එයට වැඩි අවධානයක් යොමු කිරීම?
ඔව් එය නිවැරදියි. මා කුඩා කල සිට අත්විඳි ස්වභාව සෞන්දර්යය පිළිබඳ මගේ තිබුණ චමත්කාර ජනක සුන්දර අත්දැකීම් රිසිසේ දිග හරින්නට ළමා කතාව හොඳ තෝතැන්නක් කියලා මට හිතුණා. අදවන විට අපි දැකපු ස්වභාව සෞන්දර්යයෙන් ළමයා ඈත්වෙලා ගිහිල්ලා. ඒ නිසා මම අනිවාර්යෙන්ම ස්වභාව සෞන්දර්යය පිළිබඳව දරුවාට හැඟෙන දැනෙන සේ ලියන්න පෙලඹුණා. එදා අපි ජීවත් වුණ ළමා කාලයේ අපිට වැටකඩොලු සීමා මායිම් තිබුණේ නැහැ.
මේ වන විට මා ජීවත් වන්නේ ස්කොට්ලන්තයේ. මගේ ළමයි ජීවත් වුණේ ඒ රටේ පරිසරයේ. අපි එදා විඳපු ඒ ස්වභාව සෞන්දර්යය විදෙස් රටකදී වුණත් මගේ දරුවන්ට විඳින්න පුළුවන් වුණා. තාමත් ස්කොට්ලන්තය වැනි රටවල නගරයෙන් එහා දරුවන්ට අපි කුඩා කල අත්විඳි ස්වාභාවික පරිසරය විඳින්න පුළුවන්. අවාසනාවකට මෙන් අපේ රටේ දරුවන්ට අද ඒ පරිසරය අහිමි වෙලා ගිහිල්ලා. ඒ රටේ අපි ජීවත් වෙන්නේ ගමක. ඒ ගමෙහි පාසල් නිවාඩු කාලයට රංචු ගැහිලා ගම පුරා ඇවිදිනවා. ඒ දරුවෝ ළමා කාලය විඳින ආකාරය දැක්කාම මට අපි වින්ද ඒ ළමා කාලය යළිත් මතකයට නැෙඟනවා. ගංගා ඇළදොළවල නටන දඟලන ඒ ළමයිගේ ළමාවිය චමත්කාර ජනකයි. මම ඒ රටේ ම උගන්නන්නේ නාගරික පාසලක. ස්කොට්ලන්තයේ ම ගමේ දරුවා විඳින ඒ පරිසරය නාගරික දරුවාට නැහැ. ලංකාවේ වගේම තමයි විදේශ රටවලත් ඒ වෙනස. පාසලට යනවා ගෙදරට එනවා කියන දේ විතරයි ඒ ළමයි දන්නේ. එතනින් එහා ගිය පරිසරයක් ඒ අය දැකලා නැහැ. අපි ගුරුවරුන් ලෙස උත්සාහ කරනවා, නාගරික දරුවාව ස්වාභාවික පරිසරයට යොමු කිරීමට.
ස්වභාව සෞන්දර්යය විඳීම වගේ ම රැක ගැනීම අපේ යුතුකමය කියන දේට දරුවා කුඩා කාලයේදීම යොමු කරන්නට ඕන. ස්වභාව සෞන්දර්යයෙන් ඈත්වූ දරුවා හරිම කෘතිමයි. පොඩි කාලයේ ඉදලා අපි දරුවන්ට කියලා දෙන්න ඕන අප අවට පරිසරය ගැන. ඒ වගේම ඒ දේවල්වලට ආදරය කරන්න. මගේ කෘතිවල මූලික අරමුණක් වන්නේද ස්වාභාවික පරිසරයේ දරුවන් ජිවත් කරවීමයි..
• කෙතෙක් ළමා කතා බිහි වුවත් අද වන විට ළමයා කියවීමෙන් ඈත් වෙලා තියෙනවා නේද?
ඔව්. අපි කුඩා කාලයේ වගේ නෙමෙයි අද ළමයා පත පොතින් ඈත් වීගෙන යනවා. දැනුම ලබා ගැනීමේ මාධ්‍ය පුළුල් වෙලා තියෙනවා. එහෙත් නිර්මාණ කිරීමට අනිවාර්යෙන් ම හොඳ නිර්මාණ කියවන්න ඕන. අපි පොඩි කාලේ කියවපු පත පොත අනුව අපි අත් හදා බැලීම් කරන්න නිර්මාණ කරන්න උත්සාහ කළා. අද ළමයාගේ ඒ නිර්මාණශීලි හැකියාව නැතිවෙලා. එයට දෙමාපියෝ ගුරුවරු වගකිව යුතුයි. විශේෂයෙන් දරුවන්ට කුඩාකාලයේ සිට කියවීමේ අභිරුචිය ඇති කරන්න ඕන. කුඩා කාලයේ සිට ම පත පොත ඇසුරින් යම් යම් පර්යේෂණ ලිපි සම්පාදනය කිරීමට දරුවන් යොමු කළ යුතුයි. එවැනි දේ විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතුයි. පාසලේ දී දරුවන්ව පුස්තකාලයට යොමු කිරීමත් නිවසේදී දරුවන්ට පත පොත කියා දිමත් වැඩිහිටි අපේ වගකීම. ඒ වගකිම අපට පැහැර හරින්න බැහැ. මම කියන්නේ නැහැ මේ නව මාධ්‍ය නරකයි කියලා. ඕනෑම දෙයක් සීග්‍රයෙන් සොයා ගැනීමේ හැකියාවක් අද ළමයාට තියෙනවා. නමුත් ඒ දැනුම කොතෙක් දුරට ස්ථාපිත කරගන්න දරුවන්ට හැකිද කියන කාරණාවත් වැදගත්.
• සාර්ථක ළමා පරිවර්තන කෘති සහ ඉංග්‍රීසි ළමා සාහිත්‍ය කෘති පරිශිලනය කරන්නේ ඉතාමත් සීමිත ළමුන් පිරිසක් පමණයි. මේ තත්ත්වයට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?
එක් හේතුවක් භාෂා ඥානය දිළිඳු වීම වෙන්න පුළුවන්. භාෂා පිළිබඳ ඥානය පුළුල් වීමට නම් අනිවාර්යයෙන්ම විවිධ පත පොත ම කියවීමට දරුවන් යොමු කරන්නට අවශ්‍යයි. විශේෂයෙන් ම ඉංග්‍රීසි පත පොත දරුවන් පරිශීලනය කරන්නට ඕන. භාෂා ඥානය පුළුල් කර ගැනීමට නම් අනිවාර්යෙන්ම විවිධ සංස්කෘතීන් අනුව ලියැවුණ පත පොත ළමයි අතරට යා යුතුමයි. අපි කුඩාකාලයේ දී රුසියානු කෙටි කතා රස වින්දා . ඒ සුන්දර කතා අතර අපි ජීවත් වුණා. අත් හදා බැලුවා. අද ළමයි එවැනි පරිවර්තන කෘති පරිශීලනය කරන්නේ නැහැ. අපේ රටේ නිර්මාණ පමණක් හොඳයි කියලා, ඇතැමුන් හිතන නිසා විය හැකියි.
සේයාරුව - චමින්ද නිරෝෂණ