
හඳපානාගල අලි මෙහෙයුම් ව්‍යාපෘතිය සංවිධානය කිරීමේදී ඊට අසූවකට වඩා වැඩි වනජීවී නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. ඔවුහු නවාතැන් ගත්තේ හඳපානාගල ජලාශයේ දකුණු තෙරබඩ පිටියේ ඒ ඒ පළාත් නියෝජනය කරන නිලධාරීන් කූඩාරම් තිහක් පමණ තනාගෙනය. පරිපාලන පහසුව සඳහා ඒ කූඩාරම් නම් කෙරුණේ පළාතේ නමිනි. ඉන් එකක් අනුරාධපුර කූඩාරම වූ අතර, එහි සිටි එක් නියාමකවරයෙක් දිනක් රාත්‍රියේ හදිසියේම එළිබැසීමට අවශ්‍ය වී වන ළැහැබට රිංගුවේය. මෙහෙයුම බාරව සිටි හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා කතාවේ ඉතිරිය හොඳින්ම දනී...
"ඒ වගේ මෙහෙයුම්වලදී අපි ඔය කටයුත්තට යන්නේ ටෝච්-එකයි වතුර බෝතලෙයි අරගෙන. අපේ සගයා කටයුත්ත කරගෙන යද්දී ටෝච් එළියට ගිනිපුලිඟු දෙකක් වගේ නිල්පාටට ඇස් දෙකක් දිලිසෙන්න අරගෙන. මනුස්සයාට ගිය කාරණෙත් අමතක වෙලා. කෑගගහ දුවන්න ගත්තා. ඒ සද්දෙට කූඩාරමේ අනෙක් අයත් එළියට ආවා මීපොදිය වගේ. බැලින්නම් කුළෙක්. හැබැයි කලබල වෙලා දුවපු පාර කුළාට කේන්ති ගිහින් ඇනලා සගයාගේ එක උරහිස දිගේ පැළිලා මැහුම් විසි ගානක් දැම්මා. කොහොම හරි අන්තිමේ අනුරාධපුර කූඩාරම 'බෆලෝ කූඩාරම' බවට පත් වුණා."
කුළායැයි හුරතල් ලෙස නම් කළද 'කුළු මීමා' සමඟ කිසිම හුරතලයක් බැරිය. හේතුව මී හරකුන්ගෙන් පුළුවන් තරම් වැඩ ගන්නා මිනිසුන් උන්ට නිසි ලෙස නොසලකන ආකාරය ගැන කුළුමීමා කේන්තියෙන් පසු වන බැවිනි. එහෙත් අද අපට දකින්නට ලැබෙන්නේ සැබෑ කුළුමීමන්ද? යන්න පිළිබඳ සැකයක් තිබේ. එයට වෛද්‍ය අතපත්තුගේ පිළිතුර වූයේ මෙයයි.
"තිරප්පනේ ගම් වැදී සිටි 'අඹ මුදලාලි' කියන මිනීමරු අලියා සොයාගෙන කැලෑවේ යද්දී අර නියාමකයි තවත් නියාමක කෙනකුයි කුළුමීමෙකුට බයේ පැන දිවූ හැටි මතක් වෙද්දී තාමත් හිනා යනවා. හැබැයි ඉස්සර 'ගවරා' කියලා සතෙක් හිටියා. ගවර විල, ගවර ලෙන වගේ නම් ලැබුණේ ඒ නිසා. ඒ වගේම ඉස්සර කුළුමීමා හිටියට දැන් ඇත්තටම කුළුමීමෝ නෑ. ඉන්නේ 'කුළු වූ' මීමෝ. අද ජාතික වනෝද්‍යානයකට ගියාමත් දකින්න ඉන්නේ උන් තමයි. ඒ කියන්නේ 'Wild Buffalo' නෙවෙයි 'Ferrel Buffalo'.
"කුළුමීමුන් ගැන කතා කළාට කුළු එළ-ගවයන් ගැන කවුරුත් කතා කරන්නේ නෑ. ඒත් මම දන්න හැටියට නම් කුළු එළ-ගවයන් රංචුවක් ලංකාවේ දකින්න ලැබෙන එකම ස්ථානය යාල උද්‍යානයේ කලාප 2යි. යටත්විජිත සමයේ වනෝද්‍යාන තත්ත්වයට උසස් නොකර දඩයම් බිමක් ලෙස තිබුණු 'යාල' පාලක ධුරයට එදා යුද සිරකරුවකු වූ 'එංගල් බ්‍රෙක්ට්' නම් තැනැත්තා විනීත ගතිපැවතුම් පෙන්වීම නිසා පත් කරනු ලැබුවා. බරබාගෙක නැඟීගෙන ගමන් කළ එංගල්බර්ඩ් තමන්ගේ ගවයාගේ තනි නොතනියට එළදෙනක් ගෙනාවා. ටික කාලෙකදි ඒ කෙනාට කිරි ගන්න තරම් පට්ටියක් උද්‍යානය ඇතුළෙම ඇති වුණා. එංගල් බ්‍රෙක්ට් මිය ගිය පසු මේ ගව පට්ටිය වන වැදුණා. ඒ පරපුර තවත් පැටවුන් බෝ කරමින් 'කලාප දෙක' ප්‍රදේශයේ ජීවත් වෙනවා.
"රාසිං දෙවියන්ගේ වීර කතාවක රාසිං දෙවියෝ වෙස්වළාගෙන ගිහින් මිනීමරු කුළුහරකෙක් ඝාතනය කළ ආකාරය ඉතිහාස පොතේ ලියවී තිබෙනවා. ඒ වගේම 'යුනිකෝන්' කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වන 'කඟවේණාත්' ලංකාවේ ඉඳලා තිබෙන බවට කතා තිබෙනවා. 'රයිනෝසිරස්' දැන් මේ රටේ නැතත් රත්නපුර කෞතුකාගාරයේ ඇති පාෂාණිභුත කොටස්වලින් ඔප්පු වන්නේ මේ රටේ උන් පවා සිටි බවයි. සිංහ කොඩියේ සිටියත් රටේ සිංහයන් නැති බව කීවාට සිංහරාජයේ සිංහ ලෙනේ සිංහයකු බඳු වනචාරී මිනිසකු සිටි බවට සැකයක් පවතිනවා. ඉතින් අවුරුදු මිලියන ගණනකට පෙර සිටි ඒ සතුන් වගේම කුළුමීමුන් අපට මෑතකදී අහිමි වී ගිය සතුන් අතර සිටින විශේෂයක්."
වෛද්‍ය අතපත්තු පැවසුවේ කණගාටුවෙනි. ඉන් පසු ඔහු තම දෑසින් දුටු කුළකුගේ රස කතාවකට යොමු වූයේය...
"උඩවලවේ ප්‍රදේශයේ මීට වසර 25-30කට පෙර අලියෙක් විතර ලොකු කුළුමීමෙක් හිටියා. මගේ ජීප්-එක පස්සේ හතිවැටෙනකල් එළවපු නිසයි මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. මේ කුළුමීමුන් ගැන තියෙන රසවත්ම කතාව තමයි ගෘහාශ්‍රිත මීදෙනකට මේ කුළෙක් පට්ටි වැටුණාම බිහි වන පැටවුන් 'රජ' පෙනුමයි කියන-එක. ඒ වගේම ගෝණුන් සමඟත් මීදෙනුන් පට්ටි වැටෙන බව සමහර ගැමියන් විශ්වාස කරනවා. ඒත් ජාන විද්‍යාත්මකව මේ දෙදෙනාගේ ක්‍රෝමසෝම ගැළපෙන්නෙ නෑ. විද්‍යාත්මක පදනම කුමක් වුණත් සමහර ප්‍රදේශවල 'මීගෝණා' හෝ 'ගෝණමීමා' කියලා හඳුන්වන පැටවුන් සලකන්නේ මේ විදිහට බිහි වුණු අය කියලයි.
"හම්බේගමුවෙ ගම්බාරේගේ ගව පට්ටියෙත් මේ වගේ සුවිශේෂ පැටියෙක් ඉන්නවා කියලා මට බලන්න එන්න කීවා. කියපු විදිහටම මේ පැටියත් මාර පෙනුමයි. සුදට හුරුයි කුණු පොඩ්ඩක්වත් නෑ. පුෂ්ටිමත්. ලෝම එල්ලා හැලෙනවා. ගම්බාරේ කීවා දවසක් රෑ මීගව පට්ටියේ සද්දයක් ඇහිලා කොටියා පැනලාද බලන්න ටෝච්-එකත් අරගෙන බලද්දි කිරි එළදෙනගේ පිටට උඩින් ගෝණ අං තට්ටුවක් දැක්කා කියලා. ඒ නිසා ඒ වාසනාවන්ත එළදෙනට වැඩි සැලකිලි දක්වලා පැටියාටත් හොඳට සැලකුවාම ඉතිං රජ පෙනුම තියෙන පැටියෙක් හම්බ වෙනවා තමයි. අනෙක් පැටවුන්ට නොදෙන කෑම-බීම දීලා සාත්තු සප්පායම් කරද්දී අනෙක් පැටවුන්ට වඩා කැපිලා පේනවාත් තමයි. ඒත් මීගෝණා කියන ගෝණකුට දාව බිහි වන පැටවකු හෝ කුළුමීමකුට දාව බිහි වන පැටවකු අතර පශ්චාත් මරණ පරීක්ෂණයකදී කිසිම කායික වෙනසක් දකින්න නෑ."
සතුන් ගැන ඔබේ අත්දැකීම් අපට එවන්න.