මඩුවන්වෙලට සුදු ගෝණාගෙන් තෑග්ගක් | සිළුමිණ

මඩුවන්වෙලට සුදු ගෝණාගෙන් තෑග්ගක්

 මඩුවන්වෙල වලව්ව 1974 සිට පාලනය වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සබරගමුව කලාප කාර්යාල අංක 7 යටතේය. කාමර වැඩි සංඛ්‍යාවක පාදම පමණක් මතු කර ඇති අතර, ඉතිරි වූ වලව් ගොඩනැඟිල්ලේ 121ක් වූ කොටස් අතරින් දැනටත් කාමර, කෑම කාමර හා විසිත්ත කාමර වැනි කොටස් 42ක් නරඹන්නන්ගේ දැනගැනීම සඳහා නම් කර තිබේ. අඩි 4 අඟල් 11ක් පමණ උස වූ මඩුවන්වෙල දිසාවේ ගල් උළුවස්ස මිටියට සදා තිබුණේ සුද්දන්ගේ හිස බලෙන් නම්මන්නට බව ගැමි මතයයි. එහෙත් දිසාවේට අශ්වයා පිට නැඟීගෙනම ඒ වලව් වත්තට ඇතුළු වන ගල් උළුවස්සෙන් ඒමට හැකියාව තිබී ඇත. වලව්වේ බොහෝ දොර උළුවහුවල අඩු උස ලක්ෂණය දක්නට ඇත්තේ දිසාවේගේ උසින් අඩු සිරුරට සාපේක්ෂව තැනූ නිසාදැයි සැකයක් මතුවේ. ඇත්තෙන්ම කීවොත් කල්පනාවෙන් නොගියොත් සාමාන්‍ය උසැත්තකුගේ හිස කීප වරක්ම උළුවසුවල වැදෙනු නියතය. ඒවායේ තවත් විශේෂත්වයක් නම් සම්පූර්ණ උළුවහු වීමය. එනම් අපේ නිවෙස්වල මෙන් හිස සහ දෙපැත්ත ලෙස උළුවසු කඳ තුන් පැත්තක් පමණක් නොව නොව බිමට සවි වන කොටසද ලීයෙන්ම කර තිබීමය. කේ. විමලසිරි, හිටපු ස්ථාන භාර නිලධාරී මහත්මා කීවේ උළුවහු පන්නනවා යනුවෙන් අපේ ඇති සම්ප්‍රදාය අනුව කුකුළකු මුලින්ම උළුවස්සෙන් ගෙතුළට යවා නිවැරැදිව දොස් හැරීමට නම් මේ අයුරින් රාමුවේ හතර පැත්තම සම්පූර්ණ වන ලෙස ලීයෙන් තැනූ උළුවස්සක් වීම වැදගත් බවය. මඩුවන්වෙල වලව්වේ උළුවහු පිළිබඳ කතා කරන විට හාවාට නරියා පැරැදුණු ස්ථානයේ පිහිටි මැදමිදුල සහ දිග්ගෙයට ආසන්නයේ වලව්වේ අන් කිසි තැනක නැති තරම් උසකින් යුත් අතිවිශාල උළුවස්සක් හා දොරක් තිබේ. එය කටුවන සටනින් පසු ඒ කොටුවෙන් ගෙනා දොර උළුවස්සක් බව පැවැසේ ඇතැමුන් සිතන්නේ එය කටුවන කොටුවේ ප්‍රධාන දොරටුව බවය. එහෙත් කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ උදය ඇමතියගොඩ මහතා ඒ මතය නිවැරැදි විය යුතු ආකාරය පැවැසුවේ මෙසේය...

“කටුවන කොටුවේ ප්‍රධාන දොරටුවේ පාදම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පාදන වෙලාවේ එහි සජීව විස්තර ප්‍රකාශය ගුවන්විදුලියට දුන්නෙත් මමයි. කොටුවේ ප්‍රධාන දොරටුව සවි කර තිබූ කළු ගල් පාදමේ දොර දිවවීම සඳහා නෙළා තිබූ කානුව වැනි කොටස හා සසඳද්දී මේ සවි කර ඇත්තේ ඒ දොර නොවන බව පැහැදිලියි. අනෙක ඒ දොර සවි කරන්නේ මඩුවන්වෙල දිසාවේ නමින් අප හඳුන්වන මඩුවන්වෙල කෝරලේ විසින් නිමවන ලද වලව් ගොඩනැඟිලි කොටසේයි. මේ දොර සහ උළුවස්ස කටුවන කොටුවේ වෙනත් දොරක් වෙන්න පුළුවන්. ඒත් ප්‍රධාන දොරේ ලක්ෂණ නෑ. ඒ නිසා ඉතිහාසය නිවැරැදිව අනාගත දරුවන්ට පහදා දීම මේ වගේ කරුණුවලදී වැදගත් වනවා.“

මඩුවන්වෙල දිසාවේ නම් වාස්තු විද්‍යාව තඹයකට ගණන් නොගත් බවට සාක්කි අමුත්තන්ගේ නවාතැන් ශාලාවේ උළුවස්සේ හරි මැදට එන ලෙස පිහිටුවූ බාල්ක සහ පරාල ඇසුරෙන් දැකිය හැකිය. එය ඇත්තේ ඇත් දළ ඇණවලින් සැරසූ තරප්පු පෙළින් නැඟ ගිය විට හමු වන ඉහළ මහලේ විශේෂ අමුත්තන්ගේ විවේක ශාලාවේය. එහි සීමැඳුරු කවුළුවලින් හාත්පස දිස් වේ. මුදුන් යටලීයක් රහිතව වහල සකසා ඇත්තේ මකුළුවකු අඬු විහිදා ඇති සේය. එය නූතන යුගයේද වහලවල දැකිය හැකි මෝස්තරයකි.

වලව්වට ඇතුළු වන විටම කැපීපෙනෙන ලෙස දිස් වන්නේ පිරිත් මණ්ඩපයයි. එය විදේශීය පිඟන් කැබලි බිමට අල්ලා ‘මොසැයික් ආට්‘ ක්‍රමයට සකසන ලද මෝස්තර රටාවලින් සමන්විතය. එහි ඇත් රූප මෙන්ම අශ්ව ලාඩම් හැඩද යොදා ඇත්තේ වාසනාව ගෙන ඒමටයැයි විශ්වාස කෙරේ. '1st January 1905' සහ 'Good luck' ලෙස පිඟන් කැබලිවලින්ම සරසා ඇති එහි ඇතුළුවන දොරටුව අසල පා සටහන් දෙකක්ද නිමවා ඇත. එවැනි සටහන් තවත් කාමර දොරටු අභියස දක්නට ලැබේ. මඩුවන්වෙල දිසාවේ නිදාගත් ප්‍රදේශය අසල ඇති මැද මිදුල වටාද ඇත්තේ එවන් පිඟන් කැබලි මෝස්තරයකි. එහි විශේෂත්වය වන්නේ රැජනගේ රුව රැගත් පිඟන් කැබැල්ලක් නිතර පාගමින් යන්නට හැකි අයුරින් බිමට අල්ලා තිබීමයි. සුද්දන්ගෙන් තනතුරු ලැබුණද හදවතින් සුදු විරෝධී මතයක් දැරූ බවට හොඳම සාක්ෂිය එයයැයි මඩුවන්වෙල දිසාව පිළිබඳ ඇති සුප්‍රසිද්ධ කතාවල කියවෙන්නට මෙයද හේතුවකි. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ මිෂනරි අධාපන ක්‍රමය යටතේ චතුර ලෙස ඉංග්‍රීසියෙන් කතා කිරිමට හා ලිවීමට උගත් කුඩා මඩුවන්වෙල, කටුවන සටනට උරදුන් තම අතීත විරුවන්ගෙන් එන විදෙස් ආක්‍රමණික විරෝධී මතයට දැඩිව නතු වූවෙකි. පාසලේදී සුදු ජාතික සිසුවකු සමඟ ඇති කරගත් අඬදබරයක් නිසා මඩුවන්වෙලට විජාතික ගුරුවරයකු දඬුවම් කළේය. ඒ ගැන ගුරුවරයා සමඟ තර්ක කරන කුඩා මඩුවන්වෙල විමසන්නේ “පිටරැටියන් ඇවිත් අපිට ගහන තුරු බලා ඉන්නද කියන්නේ?“ කියාය. පාසලේ විනය පිළිබඳ විස්තර කරන ගුරුවරයා අමතන මඩුවන්වෙල එයට පිළිතුරු දෙමින් කියන්නේ, “ඒ කතා මොනවා වුණත් මම වැරැද්දක් නොකර මට දඬුවම් කරන්න ගිය නිසා මාස්ටර් මගෙන් සමාව ගන්න ඕනෑ“ කියාය.

මේ කතාබහ දුරදිග ගිය පසු මඩුවන්වෙල කොළඹ අතහැර යළි ගමට යන්නට තීරණය කළේය. ඔහු ඒ වන විට හැදී වැඩුණේ මහවලතැන්න වලව්වේය. ඒ තම මව වන එක්නැළිගොඩ කුමාරිහාමිගේ වියෝව නිසාය. ඇගේ සොහොයුරා එක්නැළිගොඩ මහීපාල අත්‍රැකුරුප්පු වික්‍රමසිංහ විය. ඔහුට දරුවන් නොසිටි නිසාත් සොයුරියගේ දරුවා බලා ගැනීමට සිටින මොලමුරේ කෝරාළට ඔහුගේ කලින් විවාහයෙන් දරුවකු සිටි නිසාත් කුඩා මඩුවන්වෙලට සිය උපන් වලව්ව අත්හැර යන්නට සිදු විය. එහෙත් පාසලේ ඇති කරගත් කතාබහෙන් පසු ඔහු කොළඹ සිට බදුල්ලට යන ගැල්කරුවකුගේ ආධාරයෙන් යළි මහවලතැන්නට ආවේය. තමන්ගේ උපන් වලව්ව පිළිබඳ තොරතුරු හරියාකාරව ඔහු දැනගන්නේ ඉන් පසුවය. තමන්ට හිතවත් සිංඤොඅප්පු සමඟ මඩුවන්වෙලට යන තරුණ වික්‍රමසිංහ විජයසුන්දර ඒකනායක අභයකෝන් මුදියන්සේ රාළහාමිල්ලාගේ ජේමිස් විලියම් මඩුවන්වෙල සිය ආතා-මුත්තා කාලේ සිට පරම්පරාගත වූ නින්දගම් පිළිබඳවද සොයා බලයි.

විමලසිරි මහතා මෙන්ම ඇමතියගොඩ බස්නායක නිලමේද පෙන්වා දුන් ආකාරයටත් ‘මඩුවන්වෙලට පියමං‘ පොතේ සඳහන් වන ආකාරයටත් ප්‍රධාන වශයෙන් මේ වලව්ව ආශ්‍රිත නින්දගම්වලට අයත් සමස්ත ඉඩම් ප්‍රමාණය අක්කර හතළිස් දහස ඉක්මවයි. ඒවා ලැබුණු ආකාරද අපූරුය. එහි ඉතිහාසය කීවේ ඇමතියගොඩ නිලමේය.

“මඩුවන්වෙල අක්කර 16500ක්, පනාමුර අක්කර 7000ක්, වලකඩ තවත් අක්කර ගණනක් එක්ක කොලොන්න කෝරලයට අයිති ගොඩ-මඩ ඉඩම් විශාල ප්‍රමාණයක් මඩුවන්වෙල වලව්වට අයිතිව තිබුණා. මඩුවන්වෙල නින්දගම ලැබුණේ අපූරු විදිහකට. පොඩි ගෙයක් හදාගන්න ඉඩම තෝරපු හැටි අපි කලින් කීවා නේ... ඒ ගෙදර ඉද්දී මඩුවන්වෙල ඒකනායක අභයකෝන් මුදලිට ගමේ කොල්ලො ටිකක් ඇවිත් කීවාලු අමුුතු සතෙක් කැලේ ඉන්නවා කියලා. මුදලිත් ඉක්මනින්ම මේ අමුතු සතා බලන්න ගිහින් තිබෙනවා. ඒ සුදු ගෝණෙක්. මදු දමා පණ පිටින් ගෝණා අල්ලාගෙන මුදලිගේ නිවෙසට අරන් එන්නේ අර කොලු රංචුවගේ උදවුවෙන්. පස්සේ මුදලි කල්පනා කරනවා මේ ගෝණා රජුට දුන්නොත් බොහෝ තෑගි භෝග ලබාගන්න පුළුවන් වෙයි කියලා. තරුණයන්ගේත් උදවු ඇතිව ගෝණා දෙවැනි විමලධර්මසූරිය රජ වාසලට දක්කන මුදලි තරුණයන් පිරිස උපායෙන් මඟහැරලා තනියම ගිහින් ගෝණා රජුට තෑගි කරනවා. ඒ සතුටට තමයි රජ්ජුරුවෝ මඩුවන්වෙල නින්දගම මුදලිට තෑගි කරන්නෙ.“

මේ කතාවේ රස කොටස් තවත් හොඳින් වෛද්‍ය ශාන්ත දුනුකාරගේ පොතේ සඳහන් වෙයි. ඒ කතාවට අනුව රජවාසලට ළඟා වන පිරිස රාජ පුරුෂයකු අත පැමිණි කරුණ දන්වා යැවූ පසු රජතුමා බැහැදැකීමට එන ලෙස දන්වා තිබේ. ඇළිගෝණා ඇල්ලුවේ තරුණයන් බව දැනගත හොත් තෑගි බෙදීයයි සිතා තරුණයන්ට පවසන්නේ ගෝණා ඇල්ලූ බව දැන්වීමෙන් රජු උදහස් වි ඇති බව රාජපුරුෂයන් තමන්ට දැන්වූ බවය. එයින් බිය පත් වන කොලු රැළ හිස් ලූ ලූ අත දුවති. තමන්ගේ ඉඩමක සිටි ගෝණා රජු වෙනුවෙන් ගෙනා බව පවසන මුදලිට රාජ වරප්‍රසාද මෙන්ම රාජ මුද්‍රාව තැබූ උළු කැටයක්ද හිමි වේ. එයින් උළු සෙවිලි කළ නිවෙසක් තනාගැනීමේ අවසරය සංකේතවත් කෙරේ. රදළයන්ට හා අවසර ලත් ඉහළ නිලධාරීන්ට පමණක් වලව්වක් තනාගත හැක්කේ මේ අවසරය ලැබුණොත් පමණි. ඒ සන්නස අදටත් දැකගත හැකිය. මඩුවන්වෙල වලව්ව ඇති වන්නේ එතැන් පටන්ය. වලව්වේ නිල ලාංඡනය වන්නේද ගෝණ හිසකි.

“පනාමුරේ නින්දගම ලැබුණේ ඒ වගේ හේතුවකට නොවේ. 1700 මුල් කාලයේ කටුවන බළකොටුව පිහිටුවා දකුණෙන් සපරගමුව හරහා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු හිටිය කන්ද උඩරට ආක්‍රමණය කිරීමට වැර දරමින් සිටි ලන්දේසීන්ගෙන් සපරගමුව හා දකුණ අතර සීමාව ආරක්ෂා කිරීමට ඒ පෙදෙස පිළිබඳ හොඳින් දන්නා මඩුවන්වෙල මුදලි කටයුතු කළා. සෙබළුන් පනස් දෙනකු නිතරම මුරකාවලේ යෙදුණු ස්ථානය පනහේ මුරපොළ, පසුව ව්‍යවහාරයේ පහසුවට පනහමුරේ පනාමුරේ බවටද පත් වුණා. මුදලිට පැවරූ කාර්යය හොඳින් කළ නිසා සතුටට පත් රජු තවතවත් නින්දගම් ලබා දෙමින් මුදලිගේ උනන්දුව වැඩි කළා. 1720දී පමණ ලන්දේසි බළකොටුවකින් පැන ආ ‘අතලාවලයා‘ කියන දාමරිකයා මංකොල්ල කමින්‍, කාන්තාවන්ට කරදර කරමින් සොරකම් කරලා හැංගිලා හිටියා. ජනතාව බයෙන් ඉන්න බව දැනගත් රජ්ජුරුවෝ අඬබෙර යවලා අතලාවලයා අල්ලා දෙන කෙනකුට තෑගි-භෝග දෙන බව ප්‍රචාරය කළා. මේ බව දැනගත්ත මඩුවන්වෙල මුදලිගේ පුතා මඩුවන්වෙල මොහොට්ටි අතලාවලයා අල්ලලා හිස කොළපතක ඔතලා රජතුමාට බාර දෙනවා. ඒ සතුටට පනාමුර නින්දගමම මොහොට්ටාලට සන්නසකින් බාර දෙනවා.“

අතලාවලයා අල්ලාගැනීම ගැනද ඇත්තේ අපූරු ජනප්‍රවාදය. එකකට අනුව අතලාවලයා මඟුල් ගෙවලට පැන මනාලයාට පහර දී මනමාලිය පැහැරගන්නා බව දන්නා බැවින් හැඩිදැඩි තරුණයකු මනාලිය ලෙස අන්දවා පවත්වන ලද බොරු මඟුල් ගෙයකදී අතලාවලයා අල්ලාගෙන තිබේ. තවත් කතාවකට අනුව සැඟවී සිටි අතලාවලයාගේ සුරුට්ටුව පත්තු වන එළිය අනුව ඉලක්කය ගෙන වෙඩි තබා අතලාවලයා මැරීමට මොහොට්ටාල දක්ෂ වී ඇත. ඒ අනුව 1925 පනාමුරය නින්දගම හිමි කරගන්නට ඔහු සමත් විය.

වලකඩ නින්දගම මඩුවන්වෙල පිරිසට හිමි වන්නේ 1760 දශකයේ මුල භාගයේ රජකු නැතිව මුදලිවරුන් විසින් දිනූ සිංහල රාජ වංශයේ අවසන් සටන වූ කටුවන සටනේ ජයග්‍රහණය වෙනුවෙනි.

ඉදිරි සතියට...
අරුණි මුතුමලී
ඡායාරූප - සුදත් නිශාන්ත

Comments