
දැන් රටපුරා දිස්ත්‍රික්ක 18 ක දැඩි නියඟයකි. එයට ප්‍රධාන හේතුව වගා කන්න තුනක් ඇතුළත වැස්ස අඩුවීම හා ජලාශවල ජලය හිඟ වීමයි.
වැස්ස තරමක් ලැබුණත් අපේ වැව්වල හා ජලාශවල ජලය මෙතරම් හිඟවීමට ප්‍රධාන හේතුව පසුගිය වකවානුවේ ජලශවල පිළිසකර කිරීම් හා නඩත්තු කටයුතු නිසි ලෙස සිදුනොවීමයි. රොන්මඩ පිරී තිබීමයි. ඒ නිසා වැඩියෙන් ලැබෙන ජලය නිසි ලෙස සංරක්ෂණය කිරීමට බාධා පැමිණ ඇත.
මෙයට තිරසර විසඳුම වන්නේ අපේ රටේ ජලාශවල හා වැව්වල අඩුපාඩු සකස් කර ඒවා පිළිසකර කිරීමයි. සොරොව් හා වැව් බැමි මනාව සකස් කිරීමයි.
මේ වැඩපිළිවෙළ සඳහා ප්‍රමුඛ ලෙස කටයුතු කරන ව්‍යාපෘතියක් දැන් වසර ගණනාවක් තිස්සේ පරිසර හා මහවැලි සම්පත් අමාත්‍යාංශය ක්‍රියාවට නංවයි.
ඒ වනාහි මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතියයි. ඒ ව්‍යාපෘතිය මඟින් අපේ රටේ ප්‍රධාන ජලාශ 31ක් සම්පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කරන ලදි.
ඒ අනුව කලාවැව, දඹුළුඔය, කන්තලේ පරාක්‍රම සමුද්‍රය වැනි මෙරට ජල කළමනාකරණ ක්‍රියාවලියේ සුවිශේෂ ජලාශ පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කර ඇත.
අපේ රෙට් තිබෙන වැව් හා ජලාශවල ජලය හිඟවීමට ප්‍රධාන හේතුව ඒවා නිසි ලෙස නඩත්තු නොකිරීමයි. රොන්මඩ පිරී තිබීමයි. ඒ නිසා ජලය නිසි ලෙස සංරක්ෂණය කිරීමට බාධා පැමිණ ඇත. මෙයට එක් විසඳුමක් වන්නේ ඒ ජලාශ හා වැව්වල අඩුපාඩු ඉක්මනින් සකස් කිරීමයි.
වේලි හා සොරොව් පිළිසකර කිරීමයි. ජලාශවල ඇති රොන්මඩ ඉවත් කිරීමයි.
2008 දි රුපියල් දසලක්ෂ 7700 ක ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවූ මේ ව්‍යාපෘතියේ මුල් අදියර 2014 දි අවසන් වන විට එහි සාර්ථකත්වය ඉහළ මට්ටමක පැවතිණි. ඒ අනුව ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාවට නැංවීමට රජය තීරණය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකානු ඩොලර් දසලක්ෂ 83ක මූල්‍ය පහසුකම් ලෝක බැංකුවෙන් ලබා ගැනීමට මහවැලි හා පරිසර අමාත්‍යාංශයට හැකි විය. ඒ අනුව වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම්කරණ අතිරේක මුල්‍යන ව්‍යාපෘතිය 2014 දි ආරම්භ වූ බවත් එය 2018 දි අවසන් කරන බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ආනන්ද සෙල්ලහේවා මහතා පැවසීය. මුල් ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට නොහැකිවූ වික්ටෝරියා ජලාශය සමඟ මහ ජලාශ 31ක් ප්‍රතිසංස්කරණ කටයුතු මෙම අතිරේක මුල්‍යන ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන බවත් සෙල්ලහේවා මහතා පවසයි. වාර්මාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය, උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතියේ පාර්ශවකරුවෝ වෙති.
මේ වැව් හැදීම මඟින් සිංහල, දෙමළ, මුස්ලිම් ගොවි පවුල් 50,000 කට පමණ ඍජු ලෙස සෙත සැලසෙනු ඇතැයි ද වේලි සංරක්ෂණ ව්‍යාපෘතිය පවසයි.
මෙම ව්‍යාපෘතියේ තවත් වැදගත් අංගයක් වනුයේ 30 වසරක යුද්ධය පැවැති උතුරු හා නැඟෙනහිර පළාත්වල ජලාශ ගණනාවක ප්‍රතිසංස්කරණය මේ යටතේ සිදුකිරීමයි. යුද්ධයෙන් පසුව උතුරු නැඟෙනහිර පළාත්වල ජනතාවගේ ජීවන මාර්ග සංවර්ධනයට රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගවලට මෙය විශාල ශක්තියක් වී තිබේ. එම පළාත්වල වැඩි පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මාන්තයයි.
යුද්ධයේ ඍජු බලපෑම් නිසාත් දිගු කලක සිට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හා නඩත්තු සිදු නොකිරීම නිසාත් දැඩි ලෙස අබලන්ව ඇති එවැනි ප්‍රධාන ජලාශ ගණනාවක් මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රතිසංස්කරණය කරන බවද ව්‍යාපෘති අධ්‍යක්ෂ ආනන්ද සෙල්ලහේවා මහතා පවසයි.
මේ ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලයේ ප්‍රධාන වැව් සියල්ලම වාගේ පිළිසකර කිරීමට කටයුතු යොදා ඇත. මුල් අදියර යටතේ කන්තලේ වැවත්, වෙන්ඩ්‍රාසන් ජලාශයත් එහි වේලිත් ප්‍රධාන ලෙස පිළිසකර කරන ලදි.
ඊට පසු ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනරංජන වැව, තෝපූර් වැව හා වාන් ඇළ පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව ත්‍රිකුණාමලය වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.එම්.බී.එම්. අසාර් මහතා පැවසීය.
ත්‍රිකුණාමලය වාර්මාර්ග ඉංජිනේරු කේ. අකිලන් මහතා පවසන පරිදි ඒ අනුව ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ත්‍රිකුණාමලය වෙනුවෙන් වෙන්කර ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 216 ක පමණ වේ. ඉන් වාන් ඇළ ජලාශය ප්‍රතිසංස්කරණයට රුපියල් දසලක්ෂ 60 ක්ද, තෝපූර් වැව ප්‍රතිසංස්කරණයට රුපියල් දස ලක්ෂ 42 ක්ද, ජනරංජන වැව පිළිසකර කිරීමට රුපියල් දස ලක්ස 94 ක්ද ලබාදී ඇතැයි අකිලන් මහතා පවසයි.
මේ යටතේ කන්තලේ වාන් ඇළ ප්‍රතිසංස්කරණය කරන අයුරු බැලිමට අපි පසුගිය දිනක ගියෙමු. එහි වැඩ කටයුතු භාරව කටයුතු කරන ඉංජිනේරු සහකාර අමිල කරුණාරත්න මහතා පවසන පරිදි වාන් ඇල ජලාශය ප්‍රතිසංස්කරණ කටයුතු දැන් සියයට 80 ක් අවසන් කර තිබේ.
“වාන් ඇළ ජලාශයේ සම්පූර්ණ ධාරිතාව අක්කර අඩි 2160 ක්. පවුල් 652 ක් මේ ජලාශයෙන් ජලය ගන්නවා. මේකට ජලය එන්නේ කන්තලේ ජලාශයේ පිටවාන මඟින්. මෙහි කිලෝමීටර් 6 ක් දිග ප්‍රධාන ඇළ මඟින් ගොවි ජනතාවට ජලය දෙනවා.
වාන් ඇළ 1980 හි තමයි අවසන් වරට ප්‍රතිසංස්කරණය කර තිබුණේ. මේ නිසා වාන් ඇළ ජලාශයේ වේල්ල පිටවාන සොරොව්ව පසුගිය වසර වන විට ඉතා අබලන් තත්ත්වයකයි පැවතුණේ. ඒ අනුව 2014 සිට ගොවි සංවිධානවලින් මෙම වැව පිළිසකර කර දෙන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර තිබුණා. එයට අනුව 2016 වසරේ වේලි සංරක්ෂණ ව්‍යාපෘතියේ අතිරේක මූල්‍යන අදියර මඟින් සම්පූර්ණ ලෙස පිළිසකර කරනු ලැබුවා” යයි ඉංජිනේරු සහකාර අමිල මහතා පවසයි.
මෙම වැවෙන් අක්කර 1620 ක් අස්වද්දනු ලැබේ. වැව ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන ලෙස වැවේ වේල්ල ශක්තිමත් විය.
මෙම වැවට අනුයුක්තව ගොවි සංවිධාන 6 ක් ක්‍රියාත්මක වෙයි. එහි සාමාජිකයන්ගේ උපදෙස් පරිදි වැව පිළිසකර කරනු ලැබුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වේලි සංරක්ෂණ ව්‍යාපෘතියේ පූර්ණ උපදෙස් හා මෙහෙයවීම මතයි.
පිළිසකර කිරීමට පෙර වැව් බැම්මේ විශාල ගස් රැසක් වැවී තිබුණි. ඉරි තැලීම් තිබුණි. වාන් හා සොරොව් තිබුණේ ඉතා දුර්වල තත්ත්වයකය. රළ පනාව හා පෝෂක ඇළ මෙන් ම ප්‍රධාන ඇළ ද ජලය කාන්දුවෙන තත්වයට ලක්වී තිබිණි. දැන් ඒ සියලු ස්ථාන පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණයට ලක්ව තිබේ. සරලව කීවොත් වසර සිය ගණනක් පැරැණි කන්තලේ වාන් ඇළ ජලාශය දැන් ප්‍රථම වරට පූර්ණ ලෙස යළි ඉපදී ඇත. මේ අනුව බයනැතිව පෙරට වඩා ජල ධාරිතාවක් මෙහි රඳවා ගත හැකි බවත් ඉස්සර වඩා කෙත් බිම් අස්වැද්දීමට හැකි බවත් ගොවි සංවිධාන නියෝජිතයෝ සතුටින් පවසති.
කන්තලේ වාන් ඇළ ප්‍රදේශයට වැස්ස ලැබෙන්නේ ඊසානදින මෝසමෙනි. එනම් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි වලදීය. ඒ නිසා ඒ කාලයට අහස් දියෙන් හා අන් වකවානුවලදී කන්තලේ වැවෙන් පෝෂණය වන වාන් ඇළ සම්පූර්ණයෙන් පිරුණොත් දැන් කොතරම් නියඟයක් තිබුණත් ඒ පැත්තේ කෙත්බිම් අස්වැද්දීමට හැකිය. මේ ව්‍යාපෘතියේ කටයුතුවලින් පිළිසකර වූ ජලාශවලට ඉස්සරට වඩා විශාල ධාරිතාවක් රඳවා ගැනීමට පුළුවන. වේලි පුපුරා යැයි කියා බයක් නැත. ඒ අනුව මේ වැව පිළිබඳ නියඟයට ජල හිඟයට තිරසර විසඳමක් බව මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ අදහස වී තිබේ.
ඊළඟට අප ගියේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ලලාට ධාතුන් වහන්සේ නිධන් කර ඉදිකර ඇති චෛත්‍ය සහිත සේරුවාවිල පූජා භූමියට පෙනෙන මායිමේ ඇති ‘තෝපූර්’ වැව පිළිසකර කර තිබූ අයුරු බලා ගැනීමටයි.
පසුගිය සමයේ යුද්ධය සමයේ වැඩි අවධානයට යොමුවූ මාවිල්ආරු ජලාශයේ සිට එන ‘අල්ල’ ව්‍යාපාරයේ දකුණු ඇළ අවසන් වන්නේ මේ ‘තෝපුර්’ ජලාශයෙනි.
කන්තලේ වාරිමාර්ග ඉංජිනේරු නිලංග ලක්මාල් මහතා පවසන පරිදි තෝපුර් ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලින් දැනට සියයට 98 ක් අවසන් වී ඇත. 2014 ට පෙර මේ ජලාශයේ වේල්ල මත ගස් වැවී වේල්ල පුපුරා කළුගල් මතුවී තිබුණි. සෝදා පාළුවට ලක්වී තිබිණි. පිටවාන මඟින් ජලය කාන්දු වීම සිදුවී තිබුණු අතර පිටවාන කැඩී තිබුණි.
නව ප්‍රතිසංස්කරණ යටතේ මිලියන 50 ක වියදමින් වැවේ වේල්ල හා වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කර ඇත. පිටවාන දෙකක් හා සොරොව්ව සම්පූර්ණයෙන් ම පිළිසකර කර ඇති අතර මේ නිසා සිංහල, දෙමළ, මුස්ලිම් ගොවි පවුල් 230 කට සෙත සැලසී තිබේ. ඒ අතර ගොවි පවුල් 200 ක් හා ධීවර පවුල් 30 ක් සිටින බව ත්‍රිකුණාමලය වාරිමාර්ග ඉංජිනේරු කේ. අකිලන් මහතා පවසයි.
කන්තලේ ජනරංජන වැව පිළිසකර කිරීමට රුපියල් මිලියන 94 ක් ලබාදී ඇති අතර එහි වැඩ කටයුතු සියයට 70 ක් අවසන් වී තිබේ. වේල්ල පිටවාන, වැව් බැම්ම හා සොරොව්ව පිළිසකර කිරීම, ශක්තිමත් කිරීම සිදු කර තිබේ.
මේ ත්‍රිකුණාමලයේ සියලු ප්‍රතිසංස්කරණ පිළිබඳව ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයෝ ඉතා සතුටින් තම අදහස් පළ කරති. සියලු ගොවි සංවිධාන වෙනුවෙන් අදහස් පළකළ ත්‍රිකුණාමලෙය් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති හා කන්තලේ ව්‍යාපෘතියේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති බී.ජේ. ගුණපාල මහතා පවසන්නේ මේ සියලු වැව් ප්‍රතිසංස්කරණ කටයුතු නිසා ත්‍රිකුණාමලයේ වැව්වල වැඩි ජල ධාරිතාවක් රඳවා ගත හැකි බවයි.
“මේ නිසා අපේ ගොවි ජනතාවට දැන් වැඩි වී අස්වැන්නක් ගන්න පුළුවන්. වතුර තිබෙනවා නම් අපිට යල කන්නෙත් වගා කරන්න පුළුවන්.”
ඉස්සර ත්‍රිකුණාමලයේ වැව් හා ජලාශවල තත්ත්වය ඉතා දුර්වල මට්ටමක තිබුණේ. කොයි වෙලේ වේලි කඩලා යයිද කියලා බයෙන් ගොවි සංවිධාන සාමාජිකයන් හිටියේ. ඒත් මේ වේලි සංරක්ෂණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර නිසා මේ ප්‍රදේශයේ සියලු ප්‍රධාන වැව් පිළිසකර කරලා අවසන් වෙමින් යනවා. මේ නිසා අපේ අස්වැන්න වැඩිවී අපේ අතමිට සරු වෙන අතර රටේ ජනතාවටත් අඩු මිලට හාල් ගන්න පුළුවන්. මේ තත්ත්වය මගේ ඒකාබද්ධ ගොවි සංවිධානයට අනුබද්ධ ගොවි සංවිධාන 60 සාමාජිකයන් 10,000 කට පමණ ලොකු සතුටක්. ගුණපාල මහතා පවසයි.
මේ අනුව බලන විට අපේ රටේ පවතින නියඟය හා ජල හිඟය හා ජලය අපතේ යාමට මේ ව්‍යාපෘතියේ කටයුතු හොඳ විසඳුමක් බව පෙන්වා දෙන අතර එයට උදව් දීම රටට හිතැති සැමගේ යුතුකම වෙන බව කිව යුතුය.
නිහාල් පී. අබේසිංහ
සේයා රූ- සුසන්ත විජේගුණසේකර