කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 10 වන පර්යේෂණ සැසිය 3දා ඇරඹේ | සිළුමිණ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 10 වන පර්යේෂණ සැසිය 3දා ඇරඹේ

 වසර 30කට අධික කාලයක් මෙරට ආරක්‍ෂක අධ්‍යයන ක්ෂේත්‍රයේ මුල් තැනක් ගෙන කටයුතු කරන්නේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයයි. ආරක්ෂක හමුදාවන්ට අත්‍යවශ්‍ය වූ අධ්‍යයන ඥානය ලබා දෙන්නට මේ විශ්වවිද්‍යාලය කටයුතු කරනුයේ රටේ ජාතික ආරක්ෂාව මුල් තැනක් ගෙන දෙමිනි.

යුද්ධය අවසන් වීමෙන් පසු ආරක්ෂක අංශවලට සීමා වී සේවාව සෙසු සිවිල් අයටද සලසන්නට ආරක්ෂක විශ්වවිද්‍යාලය කටයුතු කරන්නේ රටේ සෙසු පිරිසටද අවශ්‍ය ශිල්පය ලබා දීම පිණිසය.

මෙසේ රටේ ආරක්ෂක හමුදා ක්ෂේත්‍රයට පමණක් නොව සමස්ත ජනතාවටම අධ්‍යයන ඥානය ලබා දෙන්නට කටයුතු කරනු ලබන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දසවන අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය ලබන අගෝස්තු මස 3 සහ 4 දෙදින විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ.

ශාස්ත්‍රීය හා පර්යේෂණ අධ්‍යයනයන්හි සුවිශේෂ දායකත්වය සටහන් කරමින්, දසවන වරටත් මේ අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත.

මෙවර අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණයේ තේමාව වන්නේ “වෙනස් වන ගෝලීය තත්ත්වයන් හමුවේ අභියෝග හා අවස්ථා” (Changing Dynamics in the Global Environment: Challenges and Opportunities) යන්නයි. මේ ප්‍රධාන තේමාව යටතේ මේ වන වියට පර්යේෂණ සැසිවාර 09ක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ආරක්‍ෂක හා සිවිල් විද්වතුන් විසින් තම පර්යේෂණාත්මක හා ශාස්ත්‍රීය අධ්‍යයන තුළින් ලබාගෙන ඇති දැනුම හුවමාරු කරගන්නා ලොව ප්‍රමුඛතම පර්යේෂණ සම්මන්ත්‍රණයක් ලෙස මෙය වාර්තා වී තිබීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට මහත් අභිමානයක් ගෙන දෙනු ඇත. ආරක්‍ෂක හා සිවිල් විද්වතුන් රැසක් මේ සඳහා සහභාගි වනු ඇත.

සෑම වසරකම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ 500කට අධික පර්යේෂණ පත්‍රිකා සංඛ්‍යාවක් මේ සම්මන්ත්‍රණය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. සෑම විෂය ක්ෂේත්‍රයක්ම ආවරණය වන ආකාරයෙන් ලොව පුරා විසිරී සිටින 2000කට වැඩි පර්යේෂකයන් පිරිසක් මේ සඳහා ආකර්ෂණය කරගැනීමට හැකි වීම සම්මන්ත්‍රණයේ සාර්ථකත්ව මනාව විදහා පාන්නකි.

පර්යේෂකයන් ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකා අතුරින් ‍තෝරාගන්නා ලද පර්යේෂණ පත්‍රිකා 365ක් පමණක් මෙවර පර්යේෂණ සැසිය සඳහා ඉදිරිපත් කරනු ඇත.‍ මෙවර පර්යේෂණ සැසියේ විශේෂත්වය වන්නේ එක්සත් රාජධානියේ වෙසෙන සුප්‍රකට ශ්‍රී ලාංකික තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන්ට සහ සුප්‍රකට ජීව වෛද්‍ය විද්‍යාඥ ඉංජිනේරු ආචාර්ය බන්දුල විජේ මහත්වරුන්ට විශ්වවිද්‍යාලය මඟින් ගෞරව මහාචාර්ය උපාධිය පිදීමයි.

තාරකා විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සිදු කර ඇති මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා විශ්වයේ සම්භවය මෙන්ම පිටසක්වළ ජීවීන් සම්බන්ධයෙන්ද පර්යේෂණ රැසක් සිදු කර ඇති මෙරටට විශාල කීර්තියක් අත් කර දුන් විද්‍යාඥයෙකි. එසේම ආචාර්ය බන්දුල විජේ මහතාද මිලියන ගණනක් හදවත් රෝගී ජනතාවගේ හදවත් රෝග සුවපත් කිරීම සඳහා ඉවහල් වන 'කැතීක' ක්‍රමවේදය හඳුන්වා දුන් ආචාර්යවරයායි. මේ වන විට ඔහුගේ නමින් වෛද්‍ය උපකරණ සොයාගැනීම් 30කට අධික සංඛ්‍යාවක් නම් කර තිබෙන බව බොහෝ දෙන නොදන්නවා විය හැකිය.

එවන් විද්වතුන් දෙදෙනකු මෙරටට පැමිණීම පවා ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් වන අතර, මේ විද්‍යාඥයන් තම දැනුම මෙන්ම ධනයද මෙරට විද්‍යාවේ දියුණුව වෙනුවෙන් වෙන් කර ඇති බව බොහෝ දෙන නොදන්නා කරුණකි.

ඔවුන් මෙවර අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණයේ විශේෂ ආරාධනා ලැබූවන් අතර සිටින අතර, මෙවර පර්යේෂණ සැසියේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වන්නේ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාය.

මෙවර සම්මන්ත්‍රණයේ පැවැත්වෙන පර්යේෂණ සැසිවාර 09 යටතේ ජාතික හා අන්තර්ජාතික විද්වතුන්ට විවිධ පර්යේෂණ ක්ෂේත්‍ර ඔස්සේ ස්වකීය ශාස්ත්‍රීය හා පර්යේෂණාත්මක දැනුම හුවමාරු කරගැනීමට අවකාශ පුළුල් කර ඇත.

පර්යේෂණ සැසිවාර අතර ජීව වෛද්‍ය ඉංජිනේරු, විදුලි, විදුලි සන්දේශ, යාන්ත්‍රික ඉදි කිරීම්, ගගන ඉංජිනේරු හා නාවික ඉංජිනේරු ක්ෂේත්‍ර ආවරණය කරමින් ඉංජිනේරු සැසිවාරය පැවැත්වේ.

එසේම පූර්ව-සායනික, පසු-සායනික හා සායනික යන ක්ෂේත්‍ර ආවරණය කරමින්, වෛද්‍ය සැසිවාරය පැවැත්වේ. හෙද, වෛද්‍ය පර්යේෂණාගාර විද්‍යාව, ඖෂධාගාර, භෞත චික්තිසක, විකිරණවේදය යන ක්ෂේත්‍ර ආවරණය කරමින් සමසෞඛ්‍ය සැසිවාරය පැවැත්වේ.

නීති සැසිවාරය පැවැත්වෙන්නේ අන්තර්ජාතික නීතිය, අපරාධ නීතිය, යුද නීතිය ආදි නීති ක්ෂේත්‍ර ආවරණය කරමිනි. පරිගණක සැසිවාරය පැවැත්වෙන්නේ පරිගණක හා තොරතුරු තාක්‍ෂණය යන ක්ෂේත්‍ර ආවරණය කරමිනි.

ව්‍යවහාරික විද්‍යා සැසිවාරය පැවැත්වෙන්නේ ජෛව රසායන විද්‍යාව, අණුක ජෛව විද්‍යාව, භෞතික විද්‍යාව හා කෘෂිකර්මය යන විෂය ක්ෂේත්‍ර ආවරණය කරමිනි.

කළමනාකරණ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර සැසිවාරය පැවැත්වෙන්නේ කළමනාකරණ, සමාජ විද්‍යා, භාෂා, දේශපාලන විද්‍යාව හා ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍ර ආවරණය කරමිනි.

එසේම ගෘහ නිර්මාණය, බිම් සැකසුම, ප්‍රමාණ සමීක්‍ෂණය, බිම් මැනුම ආදි විෂයයන් ආවරණය කරමින්, නිර්මිත පරිසරය හා වස්තු විද්‍යා සැසිවාරය පැවැත්වේ.

මෙවර ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයේ සෑම සැසිවාරයක්ම පූර්ණ සහ තාක්‍ෂණය යන දෙඅංශයකින් යුක්ත වී ඇත. හොඳම වාචික ඉදිරිපත් කිරීම හා හොඳම පෝස්ටර් ඉදිරිපත් කිරීම සඳහා විශේෂ තිළිණ පිරිනැමීමට විශ්වවිද්‍යාලය කටයුතු කර ඇත. මෙවර සම්මන්ත්‍රණයේ ලැබෙන දැනුම අනාගත පරම්පරාවට දෙන දායාදයක් බවත්, අන්තර්ජාතික වශයෙන් සබඳතා ඇති කරගනිමින් විශේෂඥ දැනුම ලබාගැනීමට මේ යටතේ කටයුතු කරනු ලබන බවත් මේ සම්බන්ධව පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති බ්‍රිගේඩියර් ඉඳුනිල් රණසිංහ මහතා පැවසුවේය.

සම්මන්ත්‍රණයට සමගාමීව පූර්ව-සම්මන්ත්‍රණ වැඩමුළු මාලාවක් අගෝස්තු 1, 2 දෙදින පැවැත්වෙනු ඇත.

තාරක වික්‍රමසේකර 

Comments