පුද්ගලයන් ලක්ෂ 3කට පිරිසුදු පානීය ජලය සපයන මාතර ජල සම්පාදන ව්‍යාපෘතියේ 4 වන අදියර අද පෙරවරු 10ට නූපේ හන්දිය අසලදී ආරම්භ කෙරේ.
ඒ අනුව මේ නව ජල ව්‍යාපෘතිය මගින් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 12ක ග්‍රාම නිලධාරි වසම් 372කට පිරිසුදු පානීය ජලය ලැබෙන බව ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි.
මාතර ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමේ අරමුණෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන්ගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය ආරම්භ වේ.
නිල්වලා ගඟ ජල මූලාශ්‍රය කරගනිමින් යෝජිත මාතර ජල සම්පාදන ව්‍යාපෘතියේ 4 වන අදියර මාතර, තංගල්ල, තිහගොඩ, දෙවිනුවර, දික්වැල්ල, වැලිගම, වැලිපිටිය, මාලිම්බඩ, කඹුරුපිටිය, කිරින්ද, අතුරලිය, බෙලිඅත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක පිහිටි ග්‍රාම නිලධාරි වසම් 372ක් ආවරණය වේ.
භූගත ටැංකි 06ක්, ජල කුලුනු 04ක්, ලවණ බාධකයක් සහ ජල පිරිපහදු මධ්‍යස්ථාන ඇතුළත් මේ යෝජිත ජල ව්‍යාපෘතිය අවුරුදු 3ක කාලය තුළ සම්පූර්ණ කිරීමට නියමිත ය. දිනකට ඝන මීටර් 60,000 ක ධාරිතාවකින් යුත් මේ ජල ව්‍යාපෘතියෙන් 2,85000ක ජනතාවකට පිරිසුදු පානීය ජලය සැපයීමට හැකි වේ.
තවද දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සහ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්ම මහත්මීන් විශේෂ අමුත්තන් වශයෙන් සහභාගි වීමට නියමිතය.