![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/08/04/nelumvila-tag.jpg?itok=ivwFZ79y)
සේවා සතුට
මහනුවර ඊ.එල්. සේනානායක පුස්තකාල භූමියයි.
එහි වාහනය නවත්වා ගොස් පැය කිහිපයක් උත්සවයේ කටයුතු සංවිධානය කොට ආපසු ආ මම අපට ලබා දුන් සහයෝගය අගය කරමින් නගර සභා මුරකාර සේවාවේ නිරත මහත්මියට තුති පළ කළෙමි.
ඇගේ මුහුණ සතුටින් පිරී ගියේ ය.
ඉන් නොනවතුණු මම ‘මේක තියා ගන්ඩකො. මේක සන්තෝසෙට දෙන දෙයක්’ යැයි කියමින් ඇයට සන්තෝසමක් දීමට හැදුවෙමි.
ඇගේ මුහුණ වහා වෙනස් විය.
‘මගෙ නිල ඇඳුමෙ ගෞරවේ රැක ගන්ට ඕනැ. මං කවදාවත් කාගෙන්වත් සල්ලි ගන්නෙ නෑ’ ඇය තරයේ කියා සිටියා ය.
තරමක ලජ්ජාවක් ඇති වුව ද මම ඇගේ පිළිවෙත අගය කරමින් ඒ ගැන කතා කරන්නට වීමි.
‘මම කිසි කෙනෙකුගෙන් මුදලක් ගන්නෙ නෑ. මට මගෙ සේවයට වැටුප් ගෙවනවා.’ යි කී ඇය ඉකුත් දහ හතර වසර පුරා ම තමන් හොඳින් සේවාව ඉටු කරන බව කීවා ය.
ඇය දොළොස් වැනි වසර දක්වා ඉගෙන ගෙන ඇත්තේ ස්වර්ණමාලියේ ය.
මහත් සතුටට පත් මම අපේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ මහ ඇමැති සරත් ඒකනායක මහතාට ද ඇය හඳුන්වා දුනිමි.
ඔහු ද ඇය පැසසුවේ ය.
ආචාර්ය නිමල් සේදර මහතා විසින් යොමු කරන ලද සටහනක් ඇසුරිනි.
ඉක්මන් කෝපය
පියා ගේ අලුත් ම මොටෝ රිය ගේ ළඟ නවතා තිබුණේ ය. පුතා යාළුවකු සමඟ මිදුලේ ක්‍රිකට් ගසමින් සිටියේ ය. පුතා වැරෙන් පහරක් එල්ල කළේ ය. පන්දුව රුං අඬාගෙන ගොස් රියේ පැති කණ්ණාඩියක් සලාං හඬින් බිම දැම්මේ ය.
සද්දය ඇසී ගෙයින් එළියට ආ පියා ඒ දැක පරල විය. පුතා අත තිබූ පිත්ත උදුරා ගත් ඔහු පුතු ගේ තට්ටමට වැරෙන් පහරක් ගැසුවේ ය. පහර වළකන්නට පුතු අත හරස් කළේ ය. පහර අතේ ඇඟිලි පහට ම වැදිණ.
පුතා කෑ දෙන්නට වූයේය. ඇඟිලි පහට ම දැඩි හානි සිදු වී තිබිණ.
පියා ගේ කෝපය පලා ගියේ ය. කම්පාවට පත් හෙතෙම වහා පුතු රෝහලට ගෙන ගියේ ය.
හදිසි සැත්කමක් සිදු විය.
දැඩි ලෙස හානි සිදු වී තිබුණු එක ඇඟිල්ලක් ඉවත් කිරීමට සිදු වී තිබිණ.
කෙටි කලකින් තුවාල සුවපත් විය. එහෙත් පුතුට ඇඟිල්ලක් නැති විය.
දිනක් පියා ගේ අර මොටෝ රිය ඇහැ ගැටුණු පුතු බිඳුණු පැති කණ්ණාඩිය තිබේ දැයි බැලුවේ ය.
එහි වූයේ අලුත් පැති කණ්ණාඩියකි.
‘තාත්තේ!’
ඔහු පියා සොයා ගෙන ඔහු ගේ කුටියට දිව ගියේ ය.
‘ඇයි පුතේ?’ පියා පුතු දෙස බැලුවේ ය.
‘කාරෙකේ අර බිඳුණු කණ්ණාඩිය කෝ?’
‘ඒ වෙනුවට ඉන්ෂුවරන්ස් එකෙන් අලුත් පැති කණ්ණාඩියක් හයි කළානෙ පුතේ’
‘අනේ තාත්තෙ මගෙ නැති වෙච්ච ඇඟිල්ලත් ඉන්ෂුවරන්ස් එකෙන් ගන්ඩ බැයි ද?’
පියා දරුවාට මුහුණ දී ගත නොහැකිව ගෙතුළට වැදුණේ ය.
පුතා එළියට ගියේ ය.
ගෙතුළින් වෙඩි හඬක් ඇසිණ.
පියා දිවි නසා ගෙන තිබිණ.
ඉක්මන් කෝපයක විපාක එසේ ය.
(ඇත්කඳුරේ සුමනසාර හිමියන් කළ දම් දෙසුමක් ඇසුරිනි.)
සඳලංකාවේ, හෙණ්ඩියාගල
ජෝ නවරත්න මහතා විසින්
යොමු කරන ලද්දකි.
පෙම්බර තිළිණ
අප මිනිබිරිය සිය අධ්‍යාපන චාරිකාවට පිටත්ව යන මොහොත ළඟා විය.
අපි ඇයට සමුදීමට රොක් වුණෙමු.
ඇය සිය මාපියනට ද, ආච්චි අම්මා වූ මට ද වැඳ සමු ගත්තා ය.
ඒ මොහොතේ අපි ඇයට ආසිරි පතා වුවමනා යමක් වෙතොත් මිල දී ගන්නැයි කියමින් සුළු මුදල බැගින් දුනිමු.
ඇය ඒවා ද බාර ගෙන සමුගෙන පිටත්ව ගියා ය.
දවස ගෙවී ගියේ ය. රෑ බෝ විය.
ඇය චාරිකාව නිවා ආපසු පැමිණෙන තුරු අපි බලා සිටියෙමු.
ඇය ආවා ය.
විඩාබරව සිටිය ද ඈ අප වැලඳ ගත්තේ ප්‍රීතියෙනි.
‘කොහොමද පුතේ ගමන?’ අපි ඇසීමු.
‘හොඳයි’ කියමින් ඇය සිය බෑගයෙන් පාර්සල් කිහිපයක් එළියට ගත්තා ය.
මට අවානක් ලැබිණ.
ඇගේ අක්කාට වළලුත්, හිස් පලඳනාවකුත් තිළිණ විය.
මවට රස කැවිලිය.
සීයාටත් පියාටත් ඒ අය කැමති කැමති කැවිලිය.
අපට දැනුණේ සතුට මුසු කම්පනයකි.
‘දුවේ ඔයාට? ඔයාට මොනවද ගත්තෙ?’
අපි කවුරුත් ඇසීමු.
‘මොකුත් නෑ’ ඇය හිනැහී කීවා ය.
අනන්‍යතාව සඟවා සිටීමට කැමැති නාගොඩ ප්‍රදේශයේ මිත්තණියක විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.
ගුණසිංහ හෙට්ටිආරච්චි