කතරගම මහපෙරහර හෙට | සිළුමිණ

කතරගම මහපෙරහර හෙට

කතරගම විශේෂ ඊ.එච්. සෝමපාල

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මහා පෙරහැරේ අවසන් මහා පෙරහැර අගෝස්තු මස 07 වැනි දින රාත්‍රියේ පැවැත්වේ. මෙදින රාත්‍රි ඇසළ මහා පෙරහැර රුහුණු කතරගම මහා දේවා‍ලයෙන් ආරම්භවී ගණ දේවාලය, කිරි විහාරය ඉදිරිපිටින් අෂ්ටඵල බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිණා කිරීමෙන් පසුවාසල් දොරටුවෙන් වෙහෙර වීදියේ ගමන් කර කිරිවෙහෙර රජ මහා විහාරස්ථානයට පැමිණ, එහිදී බස්නායකතුමා ඇතුළු ප්‍රධාන කාර්ය මණ්ඩලය කිරි වෙහෙර වහන්සේට මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව ආගමික වතාවන්හි පිහිටුවනු ලබන්නේ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ‍කිරිවෙහෙර රජ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසිනි. ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව කිරිවෙහෙර රාජමහා විහාරයේ සධාතු කරඬුව රැගත් බුදු පෙරහැර පෙරටු කරගෙන ඇසළ මහා අවසන් පෙරහැර කිරිවෙහෙර වීදිය ඔස්සේ ගමන් කර, දේවාල මළුවෙන් පිටවීදියට පිවිස වල්ලි අම්මා දේවාලයට ගමන් කර, මෙහිදී පෞරාණික පුද සිරිත් චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව පෙරහැර මහවීදියේ ගමන් කර මහා දේවාලයට පිවිසෙනු ඇත.

පෞරාණික චාරිත්‍ර හා පුද සිරිත්වලට මුල් තැනක් දෙමින් උඩරට - පහතරට - සබරගමු හා රුහුණු ප්‍රදේශයට ආවේණික වූ නැටුම් වලින් ද, අලි ඇතුන්ගෙන් යුතුව අලංකාර අයුරින් පෙරහැර පැවැත්වීමට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩී. පියතිස්ස කුමාරගේ මහතා කටයුතු සංවිධානය කර ඇත. අගෝස්තු මස 08 වන දින මැණික් ග‍ඟේ දිය කැපීමෙන් අනතුරුව ඇසළ උත්සව කටයුතු නිමාවට පත්වේ.

Comments