ජනතාවාදි බදු ප්‍රතිපත්තියකට අතීත පූර්වාදර්ශයක්! | සිළුමිණ

ජනතාවාදි බදු ප්‍රතිපත්තියකට අතීත පූර්වාදර්ශයක්!

 වත්මන් රාජ්‍ය පාලනය, පාලන තන්ත්‍රය, ආර්ථික ක්‍රියාකාරිත්වය හා බදු ප්‍රතිපත්ති රටේ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. උගත් නූගත් ගැමි නාගරික සියල්ලෝ තමන් දන්නා පමණින් ආර්ථික විග්‍රහයන්හි යෙදෙති. අතීත රාජ්‍ය පාලකයා රටවැසියාට ඇහුම්කන් දුන් ආකාරය හා ජනතාව පීඩාවට පත් නොකොට ක්‍රියාත්මක කළ බදු ක්‍රම පිළිබඳ හා දෙස් විදෙස් වෙළෙඳාම පිළිබඳ අතීතයෙන් අපට තොරතුරු රැසක් අනාවරණය කරගත හැකිය. දේශපාලන, ආර්ථික හා නීතිය පිළිබඳව හෝපිටිගම ටැම්ලිපිය අනාවරණය කරණ තොරතුරු පිළිබඳ විමසීම කාලානුරූපය.

වර්තමානයේ ‘බදුලු ටැම්ලිපිය’ ලෙස හඳුන්වනු ලබන ශිලාලේඛනය බදුලු කච්චේරී භූමියෙහි පිහිටුවා ඇත්තේ 1870 වසරේදීය. මේ සුවිශේෂ ටැම්ලිපිය සොයාගෙන ඇත්තේ මහියංගණයට සැතැපුම් තුනක් පමණ ඈතින් පිහිටි සොරබොර වැව ආසන්නයෙනි.‍ සොරබොර වැව හා ආසන්නායේ කෘෂිකර්ම කටයුතු දියුණු කිරීමේදී එවක ආණ්ඩුවේ සහකාර එජන්ත වූ ජෙන් බෙලී විසින් මෙය සොයාගන්නා ලදී. සෙල්ලිපියේ ආරක්ෂාව සඳහා කච්චේරි භූමියේ පිහිටුවා තිබේ. පළමු වරට මේ සෙල්ලිපිය පිලිබඳ වාර්තා වන්නේ ජොන් බෙලී විසින් රජයට ඉදිරිපත් කළ පාලන වාර්තාවේය. විශාල දාගැබක් අසල සොරබොර වැව පිහිටා ඇති බවත්, එය ඌව ප්‍රදේශයේ විශාලතම වාරි ව්‍යාපෘතිය බවත් ඒ ආසන්නයේ මේ ටැම්ලිපිය පිහිටුවා තිබූ බවත් ඒ වාර්තාවේ සඳහන් වේ. මෙකියන දාගැබ මහියංගණ මහා දාගැබයි.

බදුල්ලේ තැන්පත් කොට වසර 20ක් යන තුරුම පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට යොමු නොවූ මේ ලිපිය 1920දී එවකට ආණ්ඩුවේ ඒජන්තවරයා වූ එච්ඩබ්ලිව් කොඩ්රිංටන් විසින් ඇසින් බලා සකසාගත් එහි පිටපතක් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අගය සමඟ එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කිරීමත් සමඟ උගතුන්ගේ අවධානය ඒ වෙත යොමු විය. සෙනරත් පරණවිතානයන් විසින් මේ ලිපිය කියවා අර්ථ සහිතව EPIGRAPHIYA ZEYLANICA IIIහි පළ කොට තිබේ.

පැති හතරකින් යුත් ටැම්ලිපි‍යේ උස අඩි 08යි අඟල් 05කි. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති දීර්ඝතම සෙල්ලිපිය මෙයයි. එහි එක් පැත්තක් අඩි 10 1/2ක් වන අතර‍, අක්ෂර පේළි 47කි. තවත් පැත්තක් අඩි 09ක් වන අතර, අක්ෂර පේළි 49කි. අනෙක් දෙපැත්ත අඩි 10 බැගින් පළල වන අතර, අක්ෂර පේළි 49 හා 50 බැගින් වේ. මේ ලේඛනය අනුරාධපුර යුගයේ අවසාන කාලය වූ ක්‍රි.ව. 10 වැනි සියවසට අයත් අක්ෂර වලින් යුක්තය. මහියංගණය හෝපිටිගම ආසන්නයේහි වූ වෙළෙඳ නගරය භාර ප්‍රධානීන්ගෙන් හා අවශේෂ පාලකයන්ගෙන් නගරවාසීන්ට හා වෙළෙඳ නගරයට එන වෙළෙන්ඳන්ට පැනවූ නිති විරෝධී දඩ හා නීති විරෝධි ආකාරයට අය කරගත් දඩ මුදල් මෙන්ම වෙනත් අයථා ගනුදෙනු සම්බන්ධයෙන් මහියංගණ විහාරය වැඳීමට පැමිණි රජුට සැල කිරීමත් සමඟ රජු නැවත එවැන්නක් සිදු නොවන සේ පනවන ලද නියෝග මේ ටැම්ලිපියේ අන්තර්ගතයි. වෙළෙඳ නගරයේ ක්‍රමික පාලනය සඳහා පැනවූ ව්‍යවස්ථාව වන මේ ටැම්ලිපිය බදුලු හෝපිටිගම ටැම්ලිපිය ලෙස හැඳින්වේ. මේ ටැම් ලිපිය පිහිටුවා ඇත්තේ උදය නම් රජ කෙනකු විසිනි. අනුරාධපුර යුගයේ උදය නමින් රජවරු හතරදෙනෙක් රජ වූහ. අක්ෂර ලක්ෂණ අනුව මේ ලිපිය IV වැනි උදය රජ (ක්‍රි.ව. 946-954) කාලයට අයත් සේ සැලැකේ.

පූර්වයෙහි සිට පවත්වාගෙන ආ බදු ක්‍රමවලට අනුව යමින් මේ බදු පනවන ලද බව ලේඛනයෙහි සඳහන්ය. ක්‍රි.පූ. 6වැනි සියවසට පෙර ශ්‍රී ලංකාව වෙළෙඳ කටයුතු පිළිබඳ චිර ප්‍රසිද්ධව තිබිණි. ඒ අනුව දේශීය හා විදේශීය වෙළෙඳාම මේ රට තුළ සාර්ථකව ක්‍රියාත්මක වූ බව මේ සෙල්ලිපිය සාධකයකි. වරායවල් ආශ්‍රිත වෙළෙඳ නගර මෙන්ම රට අභ්‍යන්තරයෙහිද සොරබොර හෝපිටිගම වෙළෙඳ නගරය මෙන් ප්‍රසිද්ධ වෙළෙඳ නගර තවත් පවතින්නට ඇත. මේ වෙළෙඳ නගරය යම් කිසි නීති මාලාවකට යටත්ව පාලනය වූ බවට බදුලු හෝපිටිගම සෙල්ලිපිය සාක්ෂි දරයි. එම නීතිවලට පටහැනි වු අවස්ථාවක මේ සෙල්ලිපිය පිහිටුවා ඇත. ලංකාවේ සාර්ථක දේශීය හා විදේශීය වෙළෙඳාමක් පැවැති බවට එක් සාක්ෂියක් ලෙස ලංකාවේ වෙළෙඳාම පිළබඳ විදෙස් වාර්තාවකින් කරුණු දක්වන නිකොලස් හා පරණවිතාන “මේ දිවයින ඉන්දියාවේ නන්දෙසින් මෙන්ම පර්සියාව ඉතියෝපියාව යන ප්‍රදේශයන්ගෙන්ද පැමිණෙන නැව්වලට නවාතැන් සැපැයූ බව හා ලංකාව සතු දේ විදේශයන් වෙත යැවූ බවත් චීනය හා ඒ දිසාවේ වෙනත් රටවලින් සිල්ක්, අගිල්, සඳුන් වැනි ද්‍රව්‍ය මෙරටට ලැබෙන් බවත් ඒවා මලබාර්, කල්ලියානා, පර්සියා, රතු මුහුදේ එඩුල් වැනි ප්‍රදේශ වෙත යැවූ බවත්’’ සඳහන් කරයි.

බදුලු සෙල්ලිපිය අධ්‍යයනයෙන් මෙරට පාලනතන්ත්‍රය සැදුම් ලත් ආකාරය පිළිබඳ යම් අවබෝධයක් ලබාගත හැකිය. මේ ලිපියේ කියැවෙන් ‘පදි ලද් සඩනායක’ වෙළෙඳ නගර පාලකයා හෝ නගරාධිපති විය හැකිය. ලංකාවේ නගරාධිපතිවරුන් පිළිබඳ ඉතිහාසය ක්‍රි.පූ. 4වැනි සියවස දක්වා පැරැණි වේ. අනුරාධපුර යුගයේ ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ධාර්මික රාජය පාලන ක්‍රමයක් පැවැති බවට ඵෙතිහාසික මෙන්ම ශිලාලේඛන සාක්ෂිද හඳුනාගත හැකිය. රාජ්‍ය සභාව, සභාව, ලේකම් ගෙය වශයෙන් ක්‍රමයෙන් ඉහළ සිට පහළට ගලාගිය පාලන ක්‍රමවේදයක් පැහැදිලිව හඳුනාගත හැකිය. මේ ලිපියෙහි සඳහන් ‘ගැත්තන්’ අවශේෂ නගරසභිකයන් හෝ නගර සභාවේ ප්‍රධානීන්ගේ සහායකයන් වන්නට ඇත.

බදු අය කිරීමට ගෙවල්වලට යෑම අඹුදරුවන්ට පීඩාවන සේ කඩාවැදී බදු අය කරගැනීම මේ ටැම්ලිපිය මගින් තහනම් කොට ඇත. ගමෙහි දීම දඩ අය කරනු මිස ගම් වැසියන් ගමෙන් පිට වෙනත් ස්ථානයකට ගෙන්වා දඩ අය කර ගැනීම, රාජ්‍ය නිලධාරීන් ගම්වැසියන් දෙන මස්, රා, කිරි, දීකිරි, ගිතෙල් අල්ලස් ලෙස ගැනීමද මෙයින් තහනම් කොට තිබේ. බදු මුදල් නොගෙවා නිලධාරීන්ට අල්ලස් දීම එකලද සිදු වී ඇති බව මෙන්ම හොර තරාදි, කල් ඉකුත් වූ ද්‍රව්‍ය වෙළෙඳාම හා කූට ව්‍යාපාර ද මේ ලිපිය මගින් තහනම් කර තිබීමෙන් එකල සමාජයේ ආකල්ප හා මනෝභාවයන් මෙන්ම නීතිය පිළිබඳව ද යම් වැටහීමක් මෙයින් ලබාගත හැකිය. ගම් කාර්යභාර රාජ්‍ය නිලධාරීන් අටදෙනා ගම්වැසි ගෙවල්වල නවාතැන් නොගත යුතුය යන්න මෙන්ම රජුන් හෝ ආදිපාදවරුන් පැමිණි විට තෑගිබෝග ලබා දිය යුතු බවද සඳහන්වේ.

මේ සියල්ල සමඟ සමාජ ආරක්ෂාව සඳහා අපරාධ නීතියට අදාළ සටහන්ද මේ ලිපියේදී දැකගත හැකිය. එකල පොහෝ දින නිවාඩු දිනයක් ලෙස හෝ ආගමික වතාවත් සඳහා වෙන් වූ දිනයක් ලෙස පැවැති බව හෝපිටිගම වෙළෙඳ නගරයෙහි පොහෝදින වෙළෙඳාම් කරන්නන් මහියංගණ සෑයට දඩ ලෙස තෙල් දිය යුතුය යන්නෙන් පැහැදිලි වේ. අනාගතය, වර්තමානය හා අතීතය මත පදනම්ව ඇති බැවින් වඩාත් ප්‍රජාතාන්ත්‍රික සමාජ ක්‍රමයක් හා ජනතාව පීඩාවට පත් නොකරන බදු ප්‍රතිපත්තියක් උදෙසා බදුලු හෝපිටිගම ටැම්ලිපිය අධ්‍යයනයෙන් අපට තවමත් උපදේශාත්මක අනුග්‍රහයක් ලබාගත හැකිය.

ටෙක්ලා පද්මිණි කාරියවසම්
සේයාරුව පිටපත් කිරීම - සුදම් ගුණසිංහ 

Comments