කසළ ඉවත් නොකරණ සමාගම්වලට ලක්ෂයක් දඩ | සිළුමිණ

කසළ ඉවත් නොකරණ සමාගම්වලට ලක්ෂයක් දඩ

තාරක වික්‍රමසේකර

කුණු කසළ නිසි වේලාවට ඉවත් නොකරන පවිත්‍රතා සමාගම්වලට රුපියල් ලක්ෂයක දඩයක් නියම කරනු ලබන බව බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

නගර අලංකරණය පිණිස යොදවා ඇති යුද හමුදා ඒකකය මඟින් උදෑසන 4 සිට 6 දක්වා මාර්ග නිරීක්ෂණයෙන් පසු ඒ සම්බන්ධ සේයාරූ අඩංගු එම්.එම්.එස් වාර්තාවක් ඉතා කෙටි වේලාවකින් ලබා දෙන අතර යළි පස්වරු 3 සිට 5 දක්වා කාලය තුළ එම ඒකකය මගින් මාර්ග නිරීක්ෂණය කරනු ඇත. එම අවස්ථාවේදි අදාළ කුණු කසළ ඉවත් කර නොතිබුණහොත් එම කුණු කසළ ඉවත් කිරීමට නියමිත පවිත්‍රතා සමාගමට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කිරීමට කටයුතු කරනු ලබන බව ඇමැතිවරයා කීය.

මහා මාර්ගයට කුණු දමන පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම පරිසර පොලිසිය මුල් කරගත් පොලිස් ස්ථාන විසින් කටයුතු කරනු ලබන අතර අලුයම 2 සිට නිරීක්ෂණ චාරිකා සඳහා පොලිසිය විසින් කටයුතු කරනු ඇත.

මේ වන විට කොළඹ ඇතුළු සියලු නගරවල කුණු කසළ විධිමත් ලෙස ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් දිර්ඝ කාලීන විසඳුම් රැසක් ක්‍රියාත්මක කර ඇති බවද ඇමැතිවරයා කීය‍.

Comments