
'නාවික හා සාගරික විද්‍යා පීඨය' නම් වූ ජාතියේ නාවික තක්සලාව මේ වර්ෂයේ තම ස්වර්ණ ජයන්තිය අභිමානයෙන් සමරයි. එහි සුවිශේෂ කාර්යභාරය විවරණය කරමින් මේ ලිපිය සැකසුනකි.
1950 දෙසැම්බර් 09 වන දින නාවික පනත ස්ථාපිත කිරීමත් සමග රාජකීය ලංකා නාවික හමුදාව ආරම්භ කරන ලදි. රාජකීය නාවික හමුදාව ස්ථාපිත කිරීමෙන් පසු නාවික හමුදාවට ආධුනිකයන් පුහුණු කිරීම සඳහා ප්‍රධාන මධ්‍ය ස්ථානයක අඩුපාඩුව දැනෙන්නට විය. ඒ අනුව 1951 “HMCyS රංගල” නමින් ආයතනයක් දියතලාවේදී ස්ථාපිත කර ආධුනික පුහුණුව ආරම්භ කරන ලදි. එවකට පැවති රජ්‍ය ප්‍රතිපත්ති මත එම ආයතනය යුද හමුදාවට භාරදී කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයට ගෙන ගිය අතර, 1965 වර්ෂයේදී HMCyS පරාක්‍රම II නමින් ආයතනයක් ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ ස්ථාපිත කර ආධුනික පුහුණුව නැවත ආරම්භ කරන්නට යෙදිණි. ආධුනික නැවි පුහුණුවට අමතරව ඒ දක්වා මහා බ්‍රිතාන්‍යයේ ඩාට්මත්හි බ්‍රිටානියා රාජකීය නාවික හමුදා කොලීජිය ලබාදුන් නිලධාරී පුහුණුව ශ්‍රී ලංකාවේදී ලබාදීම සඳහා 'නාවික හා සාගරික විද්‍යා පීඨය' නමින් පුහුණු ආයතනයක් 1967 ජනවාරි මස 15වන දින ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ ස්ථාපිත කරන ලදි.
නාවික හා සාගරික විද්‍යා පීඨයේ ආරම්භක නියමුවා උපදේශක කොමාන්ඩර් එම්ජීඑස් පෙරේරා මහතායි. මේ විද්‍යා පීඨය 1967 ජූලි මස 15 වන දින අධිකාරිත්වයට පත් කරන ලද අතර, මේ දිනය 'නාවික හා සාගරික විද්‍යා පීඨ දිනය' ලෙස සලකනු ලැබේ. ආරම්භයේදී නාවික, ඉංජිනේරු, විදුලි හා විද්යුත් ඉංජිනේරු, සංඥා සහ සැපයුම් යනුවෙන් ප්‍රධාන දෙපාර්තුමේන්තු කිහිපයකින් සමන්විත වූ අතර, අවි, දිය යට සංග්‍රාම, නාවික දැනුම, ජලතරණ යන විෂයයන් ජලතරණ පාසල (Nautical School) මගින් මෙහෙයවන ලදි.
නාවික හා සාගරික විද්‍යා පීඨයට 1968 වසරේ පළමු ආධුනික නාවික කණ්ඩායම බඳවාගැනීම සිදු වී ඇත. 1969දී ශිෂ්‍යභට නිලධාරි කණ්ඩායම බඳවාගැනීමත් සමග නාවික හා සාගරික විද්‍යා පීඨයෙහි පුහුණු කටයුතු නව මුහුණුවරකින් ආරම්භ විය. මේ වන විට නිලධාරි පුහුණු කිරීම සහ නාවිකයන්ගේ උසස් පාඨමාලා ජලතරණ පාසල (Nautical School ) මගින් සිදු කරන ලදි. 90 දශකය වන විට උපලුතිනන් තාක්ෂණික පාඨමාලාව ශ්‍රී ලංකාවේදී ආරම්භ කිරීම සඳහා ස්වාධීන ඒකකයක අවශ්‍යතාව සාක්ෂාත් කරමින් 1992 වර්ෂයේදී නිලධාරීන් පුහුණු කිරීමේ සංචිතය ආරම්භ කළ අතර, ලුතිනන් කොමාන්ඩර් (මාලිමා) ටීඑම්ජේ මෙන්ඩිස් එහි පළමු පුහුණු කිරීමේ නිලධාරීයා විය. ක්‍රමයෙන් වර්ධනය වී අද වන විට පාසල් 22ක් හා දෙපාර්තමේන්තු 02ක් නාවික හා සාගරික විද්‍යා පීඨයේ ස්ථාපිත කර ඇති අතර, 2000කට වැඩි නිලධාරි සහ නාවික පිරිසක් පුහුණුවීම් වල නිරත වෙති.
සාගරික විද්‍යා පීඨය තුළ එකිනෙකට වෙනස් නිලධාරීන් බඳවාගැනීම් ක්‍රම කීපයක් ඔස්සේ පුහුණු වීම් කටයුතු සිදු වේ. එහිදී වැදගත්ම කාර්යය නම් ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවාගනු ලබන පුහුණු වන නිලධාරීන්ගේ මූලික පුහුණුව ලබාදීම සහ මූලික පුහුණුව අවසන් වන නිලධාරීන් සඳහා උපලුතිනන් තාක්ෂණික පාඨමාලාවන් පැවැත්වීමයි.
නාවිකයන් පුහුණු කිරීම
දීර්ඝ සැපයුම් කළමනාකරණ පුහුණු පාඨමාලාවක් 2014 ජනවාරි 30 වන දින ස්ථාපිත කරන ලද මේ ආයතනය මගින් පවත්වනු ලැබේ. මේ අවස්ථාව නාවික හමුදාවේ සැපයුම් අංශයේ නිලධාරීන්ට මෙන්ම යුද, ගුවන් හමුදාවන්හි නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ටද හිමි වේ. මේ පාඨමාලාව හැදෑරීමෙන් පසු පර්යේෂණ නිබන්ධය සාර්ථකව සම්පූර්ණ කරන නිලධාරීන්ට ව්‍යාපාර පරිපාලන පශ්චාද්උපාධිය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් පිරිනමනු ලැබේ.
කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් පුහුණු කිරීමේ විද්‍යාලය
කනිෂ්ඨ නිලධාරීන්ට මාණ්ඩලික පුහුණුව දීමේ අරමුණින් 2005 මාර්තු 25 දින කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් පුහුණු කිරීමේ විද්‍යාලය ස්ථාපිත කරන ලද අතර මේ විද්‍යාලය මගින් මෙහෙයවන පාඨමාලාව යුද, නාවික, ගුවන් යන ත්‍රිවිධ හමුදාවේ කනිෂ්ඨ නිලධාරීන් හට හැදෑරිය හැකි වේ.
විවිධ බඳවාගැනීම්වලට අයත් පුහුණු නිලධාරීන්ට අවශ්‍ය මූලික පුහුණුව ලබා දීම හා අධිකාරියට පත් නිලධාරීන්ට තාක්ෂණික පාඨමාලා පැවැත්වීම මේ සංචිතය සතු වගකීමයි. මෙහි පුහුණු වන නිලධාරීන්ට විවිධ විෂයයන්ට අදාළව ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබාදීම විෂයානුබද්ධව සෙසු පාසල් මඟින් සිදු කෙරේ. 2001 වර්ෂයේ සිට සාර්ථකව පුහුණුව අවසන් කරන නිලධාරීන් හට කැලණි විශ්වවිද්‍යාලය මගින් නාවික අධ්‍යාපනවේදී (BNS) උපාධිය පිරිනැමූ අතර 2011 වර්ෂයේ සිට ශ්‍රීමත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් විද්‍යාවේදී (BSc) උපාධිය පිරිනමයි.
අවි හා සංග්‍රාම පුහුණුව
සබ්මැරීන් භාවිතය පිළිබඳ න්‍යායාත්මක දැනුමත් මුහුදු බෝම්බ ඉවත් කිරීම, වරාය ආරක්ෂක උපක්‍රම පිළිබඳව දැනුම ලබාදීම දියයට 'සංග්‍රාමික පාසල' මඟින් සිදු කෙරේ. මූලික ගොඩබිම් සටන් ක්‍රම, කැලෑ සටන් උපක්‍රම, බර අවි පිළිබඳ දැනුම, සිතියම් කියවීම, පුපුරන ද්‍රව්‍ය පිළිබඳ පූර්ණ අවබෝධය ලබාදීම, සැඟවී පහරදීම, කැරලි මර්දනය, හදිසි වැටලීම් යනාදිය පිළිබඳ ප්‍රයෝගික සහ න්‍යායාත්මක පුහුණුව ලබාදීම 'සටන් පුහුණු ඒකකය' මඟින් සිදු කරනු ඇත. 'අවි පාසල' මගින් මූලික සරඹ පුහුණුව, යුද නෞකාවන්හි අවි පිළිබද මූලික දැනුම ලබාදීම සහ නාවික හමුදාවේ සරඹ උපදේශකයන් විසින් පුහුණු කිරීම සිදු කරනු ලබයි. කුඩා අවි හා පිස්තෝල පරිහරණය සහ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් දැනුම, සැඟව වෙඩි තැබීම පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාදීම අරමුණු කරගෙන 'පුහුණු වෙඩික්කරු හා සැඟවුණු වෙඩික්කරු පාසල' ආරම්භ කරන ලදි. 'කිමිදුම් පාසල' මඟින් කිමිදුම් කටයුතුවල නිරත වීම සඳහා දක්ෂ නිලධාරීන් හා නාවිකයන් පුහුණු කිරීම සහ යුද හමුදාවේ විශේෂ බළගණයන් මෙන්ම නාවික හමුදාවේ විශේෂ කාර්ය බළගණ නාවිකයන් සඳහා කිමිදුම් පාඨමාලාව පැවැත්වීම සිදු කරනු ලැබේ.
සන්නිවේදන පුහුණුව
නාවික හා සාගරික විද්‍යා පීඨය ආරම්භ වූ මුල් අවධියේදීම ස්ථාපිත කරන ලද පාසලක් ලෙස 'සංඥා පාසල' හැඳින්විය හැකිය. මේ පාසලේ ප්‍රධාන කාර්යය නම් නාවික හමුදාවේ සේවය කරන නිලධාරීන්ට සහ නාවිකයන්ට නාවික හමුදාවේ භාවිතා කරන සංඥා ක්‍රම, නාවික හමුදාවේ චාරිත්‍රානුකූල පැවතුම් පිළිබඳ අවබෝධයක් ලබාදීමයි. නාවික හා සාගරික විද්‍යා පීඨයේ ඉතා වැදගත් පාසලක් ලෙස 'මාලිමා ශිල්ප පාසල' හැඳින්විය හැකිය. මුහුදු සිතියම් අධයනය, ජලතරණය ආශිත ක්‍රියාකාරකම් හා දේශගුණික හා කාලගුණික අධ්‍යයන පිළිබඳ දැනුම ලබාදීම මාලිමා ශිල්ප පාසල මගින් සිදු කරයි. නාවික පුද්ගලයන්ට පරිගණක විද්‍යාව පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීම මූලික කරගෙන 'තොරතුරු තාක්ෂණ පාසල' ස්ථාපිත කර ඇත.
තවත් නාවික ශිල්ප
නාවික හමුදාවේ මෙන්ම අන්තර්ජාතික නාවික කටයුතුවලදී භාවිත කරන නාවික ශිල්පීය ක්‍රම, ආචාරධර්ම ආදිය පිළිබඳ දැනුම ලබාදීම 'නාවික ශිල්ප පාසල' සතු කාර්යයකි. නාවික යාත්‍රාවල සහ ආයතනවල සේවය කිරීම සඳහා විදුලි සහ විද්යුත් තාක්ෂණික දැනුම ලබාදීම සඳහා 'විදුලි හා විද්යුත් පාසල' 1967 වර්ෂයේ ස්ථාපිත කර ඇත. 'ගිනි නිවීම හා ආපදා මර්දන පාසල' මඟින් ගිනි නිවීම් හා අනෙකුත් විවිධ හදිසිවලදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මනා පුහුණුවක් ලබාදීම සිදු කරයි. නාවික ඉංජිනේරු විද්‍යාව හා මුලික යාන්ත්‍රික විද්‍යාව පිළිබඳව ප්‍රායෝගිකව හා සිද්ධාන්තමය පුහුණුව ලබාදීම සඳහා 'ඉංජිනේරු පාසල' ස්ථාපිත කර ඇත. සිවිල් ඉංජිනේරු කටයුතු පිළිබඳව රාජකාරියේ නියුතු නාවිකයන් හට ප්‍රායෝගික හා න්‍යයාත්මක දැනුම ලබාදීමේ අරමුණින් 'සිවිල් ඉංජිනේරු පාසල' ස්ථාපිත කර තිබේ.
යුදමය හෝ රාජකාරී අවස්ථාවක අවශ්‍ය වන වෛද්‍ය දැනුම ලබාදීමට 'වෛද්‍ය පාසල' පිහිටුවා ඇත. 'ශාරීරික අභ්‍යාස පාසල' මඟින් මනාවූ ශාරීරික යෝග්‍යතා පවත්වාගැනීමට අවශ්‍ය ව්‍යායාම සහ ක්‍රීඩා කෞශල්‍යයෙන් හෙබි නාවික පුද්ගලයකු බිහි කිරීමට අවශ්‍ය පුහුණුව ලබාදේ. ක්‍රීඩාවල නිරත වීම සඳහා නවීන පහසුකම්වලින් සමන්විත පිහිනුම් තටාක, ක්‍රීඩාගාර සහ ක්‍රීඩාපිටි විද්‍යාපීඨය සතුය. එසේම පුහුණු වන්නන් හට විවිධ බාහිර ක්‍රියාකාරකම් මඟින් තම දක්ෂතා එළිදැක්වීමට අවස්ථාව සලසා දී ඇත. සෞන්දර්යාත්මක කුසලතා හා න්‍යායාත්මක පුහුණුව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර, ඒ සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත ශ්‍රවණාගාරයක් විද්‍යාපීඨය සතුය.
'විනයාරක්ෂක හා පරිපාලන පාසල' මගින් නාවික විනයාරක්ෂක නාවික පුද්ගලයන් පුහුණු කිරීම සිදු කරයි. පුහුණු වන නාවික පුද්ගලයන්ගේ පෞරුෂත්ව, නායකත්වය වර්ධනය කිරීමේ අරමුණින් හා ඉංග්‍රිසි භාෂාව නිවැරදි භාවිතය පිළිබඳව පුහුණුව ලබාදීම සඳහා 'ඉංග්‍රිසි භාෂා පුහුණු පාසලක්' ස්ථාපිත කර ඇත. දමිළ භාෂාව, ගණිතය, ඉතිහාසය, මානුෂීය යුද නීතිය, භෞතික විද්‍යාව වැනි නාවික නොවන විෂයයන් පිළිබඳව දැනුම ලබා දීම සදහා 'පොදු අධ්‍යයන දෙපාර්තුමේන්තුවක්' ද විද්‍යාපීඨය සතුය. 'සැපයුම් හා ලේඛන පාසල' මඟින් සැපයුම් කටයුතු හා ඒ හා අදාළ ලිපි ලේඛන සම්බන්ධයෙන් ප්‍රයෝගික හා න්‍යායාත්මක පුහුණුව මෙන්ම ආහාර සහායක හා නිවාස සහායක නාවිකයන්ට හා ඒ සඳහා ප්‍රයෝගික පුහුණුව ලබාදීම සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත අංග සම්පූර්ණ පහසුකම් මේ පාසල සතු වේ. පුහුණුවීම් කටයුතු පිළිබඳව සැලසුම් සැකසීම හා ක්‍රියාවට නැංවීම, පුහුණුවීම් කටයුතු කිරීම මේ පුහුණු සැකසුම් හා සැලසුම් ඒකකය මඟින් සිදු කෙරේ.
විශ්‍රාම දිවියටත් අත්වැලක්
'වෙළෙඳ නාවික පාසල' නාවික වෙළෙඳ නෞකා පිළිබඳ මූලික පුහුණුවත් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණුව ලබාදීමේ අරමුණින් 2011 අගෝස්තු මස 15 වන දින ආරම්භ කරන ලදි. මෙහි විශේෂත්වය වනුයේ නාවික හමුදාවෙන් විශ්‍රාම යෑමට බලාපොරොත්තු වන නාවික පුද්ගලයන්ට වෙළෙඳ නෞකා කරා යොමු වීමට අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීමයි.
2007 වර්ෂයේදී නාවික හා සාගරික විද්‍යා පීඨය ශ්‍රී ලංකාවේ ප්‍රථම ආරක්ෂක විද්‍යා පීඨය ලෙස ISO 9001: 2000 තත්ව සහතිකයෙන් පිදුම් ලද අතර, 2010 වර්ෂයේදී ISO 9001: 2008, ප්‍රමිතිය ද 2016 වර්ෂයේදී ISO9001:2015 ප්‍රමිතියද හිමි කරගැනීමට සමත් විය. එයට අමතරව 2016 වර්ෂයේ නාවිකයන්ගේ උසස් පුහුණු පාඨමාලාවන්ගේ ගුණාත්මක භාවය තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන ආයතනය විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජාතික වෘත්තීය නිපුණතා සහතික (NVQ) ප්‍රදානයන් සඳහා සුදුසුකම් ලබා ඇත.
අඩසිය වසක් පුරා නිහඬ සේවයක නිරත වූ ජාතියේ නාවික තක්සලාව තම ස්වර්ණ ජයන්තිය සමරනුයේ තවදුරටත් 'විශිෂ්ටත්වයේ නවාතැනට නිසි මඟ' පෙන්වමිනි.
ලුතිනන්(ස්වේ)
අයිපීඑස්පී විජෙතුංග
ලුතිනන් මාලික විදානපතිරණ