කතාව දෝලාවෙන් ගමන පයින් | සිළුමිණ

කතාව දෝලාවෙන් ගමන පයින්

 ජාති කුලමල ආගම් වයස් භේදයන්ගෙන් තොරව සෑහෙන කලක සිට ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ පොදු කැමැත්තක් වී තිබුණ ද ‘මහත්වරුන්ගේ ක්‍රීඩාව’ පිළිබඳ වන උද්‍යෝගය දේශීය ක්‍රිකට් ලෝලීන් වෙතින් ශීඝ්‍රයෙන් ගිලිහී යමින් පවතී. ඒ මූලිකවම, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දියාරු ක්‍රීඩා රටාව හේතුවෙනි. අන්තර්ජාතික තලයේ එතරම් අත්දැකීම් නොමැති සිම්බාබ්වේ පිල හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ලැබූ පරාජය මෙරට ක්‍රීඩා ලෝලීන්ට පහසුවෙන් ඉවසා දරාගත නොහැකි බවක් පෙනෙන්නට ඇත. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය මෙයයි. තමන්ගේ දිනයකදී ලොව ප්‍රබලතම කණ්ඩායමක් වූවත් පැරදවීමේ හැකියාව දුර්වල කණ්ඩායමකට වුවද පවතී.

එබඳු ‘වීර කතාවලින්’ ක්‍රිකට් වංශ කථාව පිරී පවතී. ඈතකට යාමට අවශ්‍ය නැත. ටෙස්ට් තත්ත්වය ලැබීමට පෙර ශ්‍රී ලංකාව එවැනි වීරකම් ගණනාවක් සිදුකළ රටකි. 1965 ජනවාරි මුල් සතියේ අහමබාද්හිදී මයිකල් තිසේරාගේ නායකත්වයෙන් යුත් ලංකා කණ්ඩායම නිල නොවන තුන්දින තරගයකදී ඉන්දියාව කඩුලු හතරකින් පරාජයට පත් කළේ ප්‍රබල ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 66කට පමණ සීමා කරමිනි. ක්‍රිකට් එබඳු අවිනිශ්චිත ක්‍රීඩාවකි. සිම්බාබ්වේ පිල හමුවේ ලැබු පරාජය පිළිබඳව කතා කිරීම වෙනුවට දැන් අප කළ යුත්තේ මෙතැන් සිට ඉදිරිය දෙස බැලීමය. ශ්‍රී ලංකා පිලේ ඉදිරි අන්තර්ජාතික තරග කාල සටහන දෙස බලන විට අප සිටිනුයේ ලෝහ ද්වරයක් අබියසය. තව දින කිහිපයකින් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර අනතුරුව මේ වන විට ඉහළ රිද්මයක පසුවන පාකිස්තානය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී තරග වැදුමට ශ්‍රී ලංකාවට සිදු වෙයි. එයින් පසු ඉන්දියාවේ පැවැත්වෙන තුන්කොන් තරගාවලිය හා බංග්ලාදේශ සංචාරයය. සිම්බාබ්වේ පිල හමුවේ ලැබු පරාජය ගැන දුක් වනවා වෙනුවට දැන් අප බැලිය යුත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත එම තරගාවලි දෙසය. එහෙත් කනගාටුවට මෙන් කළ යුතු දේ වෙනුවට මේ මොහොතේ අපේ ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැකගත හැක්කේ එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින් පරණ කුණු ඇවිස්සීමක් පමණි. අර්ජුන මෙන්ම සංගා, මහේල හා ඩිල්ෂාන් ද සිදු කරමින් සිටිනුයේ එයයි. මේ සෑම දෙයක් පිටුපසම “පැහැදිලි දේශපාලනයක්” දැකගත හැකිය. ශ්‍රී ලංකා ක්‍රිකට්හි මුල් පුටුවට තරග කර පරාජයට පත්වීමෙන් පසු, පසුපසට විසි වූ අර්ජුන රණතුංග බලා සිටියේ මෙවැනි අවස්ථාවක් උදාවන තුරුය. සිම්බාබ්වේ පිල හමුවේ ලැබු පරාජය “නැටුමක්” කර ගනිමින් ඔහු දිගට හරහට තම අනෙකා වන තිලංගට තඩි බානුයේ සංගක්කාරව ද කොනිත්තමිනි. සංගක්කාර සමඟ අර්ජුනට ඇති “අවුල” තේරුම් ගැනීම අසීරු නොවේ. 1996 ලෝක කුසලාන ජයග්‍රහණය තුළ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික වීරයා වීමේ අපේක්ෂාවෙන් සිටි අර්ජුනගේ සිහිනය බොඳ කළ තැනැත්තා වූයේ සංගක්කාරය. ඒ අර්ජුන තරමටම හා ඇතැම් විට ඊටත් එහා ගිය ප්‍රතිරූපයක් ක්‍රිකට් ක්‍රීඩාව තුළ සංගා මේ වන විට ගොඩනඟාගෙන ඇති බැවිනි. 2009 වසරේදී පාකිස්තානයේදී ශ්‍රී ලංකා පිලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බව සංගා කියද්දී පෙරළා “දුස්රාවක්” එවමින් අර්ජුන කියනුයේ 2011 ලෝක කුසලාන අවසාන මහා තරගය පිළිබඳව පරීක්ෂණයක් සිදුකළ යුතු බවය. සංගාගේ කෙසේ වෙතත් අර්ජුනගේ මේ ප්‍රකාශ ඒ හැටි බැරෑරුම්ව භාරගත නොහැක්කේ වදන් විශ්වය තුළ, භාවිතාව තුළදී අවංක උනන්දුවක් මේ කියන දෑ සම්බන්ධයෙන් ඔහු පෙන්වා නොමැති බැවිනි.

2011 ලෝක කුසලාන පරාජයෙන් පසු අර්ජුන ශ්‍රී ලංකා ක්‍රිකට්හි මුල් පුටුව හෙබවූ අතර ඒ අවස්ථාවේදී අද ඔහු උස් හඬින් මතු කරන මේ කාරණය සම්බන්ධයෙන් මෙවැනි උද්‍යෝගයකින් යුතුව කටයුතු කරන ආකාරයක් දැකගත නොහැකි විණි. සිදු කරන්නේ නම් 2011 ලෝක කුසලාන තරගාවලිය ගැන පමණක් නොව 1999 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව ද පරීක්ෂණයක් පැවැත්විය යුතුය. 1996 ලෝක කුසලාන තරගාවලිය දිනු කණ්ඩායමම රැගෙන එම තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී අන්ත පරාජයක් ලැබුවේ කෙන්යාව පමණක් පරාජයට පත් කරමිනි.

ඒ පරාජය සම්බන්ධයෙන් පැතිරුණු කතා බොහෝය. තවෙකෙකුට ඇඟිල්ලක් දිගු කිරීමේදී තමන් වෙත පෙරළා ඇඟිලි හතරක් දිගු වන බව මාධ්‍ය ඔස්සේ එකිනෙකාට අද චෝදනා එල්ල කරගනිමින් සිටින මේ තැනැත්තන් දැනගත යුතුය. සුපැහැදිලිවම කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තිබේ.

නායකත්වයේ වෙනසක් සිදුකළ පමණින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට හැකි වෙතැයි යමකු කල්පනා කරයි නම් එය විහිළුවක්මය. ඒ වෙනුවෙන් සමස්ත පද්ධතිය තුළම පැහැදිලි වෙනසක් සිදු විය යුතුය. ඕනෑම නායකයකුට හොඳින් කණ්ඩායමක් මෙහෙයවිය හැක්කේ යෝග්‍ය සුදුසු කණ්ඩායමක් ලැබුණ හොත් පමණි. එසේ නොමැතිව නායකයා යනු මැජික්කරුවකු නොවේ. ඒ සඳහා කණ්ඩායමේ ක්‍රීඩක සංයුතිය තුළ නිරන්තර භාවයක් පැවැතීම අතිශයින්ම වැදගත්ය.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ දැකගත නොහැකි වූයේ මෙයමය. විශේෂයෙන්ම පසුගිය වසරේ මැයි මාසයේදී යළිදු වතාවක් සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරයට පැමිණි පසු ක්‍රීඩකයන් 39 දෙනකු එක්දින තරගවලදී මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබේ. වසරක් තුළ ආසන්න වශයෙන් කණ්ඩායම් හතරකට පමණ ක්‍රීඩකයන් මාස 14ක් තුළ ජයසූරිය ඇතුළු පිරිවර තෝරා තිබේ. තේරීම් සිදු කිරීමේදී නිරන්තර භාවයක් නොමැති වීමේ අඩුව පසුගිය සිම්බාබ්වේ සංචාරයට ක්‍රීඩකයන් තේරීමේදී පවා මනාව දැකගත හැකි විණි. ඇතැම් තරගවලදී ක්‍රීඩකයන් තෝරා ගැනීමේ පදනම පිළිබඳව පැහැදිලි ප්‍රශ්නාර්ථ දැකගත හැකි විය.

තීරණාත්මක අවසාන තරගය සඳහා ලක්ෂාන් සඳකැන්ව නම් කර නොතිබුණේ දඟ පන්දු යවන්නන්ට හිතකර තණතීරුවක් එදින තණතිලි සකසන්නා ලබා දී තිබූ පසුබිම තුළය. නුවන් කුලසේකර වැනි පන්දු යවන්නකු තරගයකදී පන්දු වාර තුනක් පමණක් යැවීමට කැඳවීම ද එබඳුම වූ විමතිය දනවන කාර්යයක් විය. කණ්ඩායම ගොඩනංවමින් සිටින මේ මොහොතේදී ශ්‍රී ලංකා තේරීම් කමිටුව වැඩි විශ්වාසයක් තැබිය යුත්තේ තරුණ ක්‍රීඩකයන් වෙතය. ඒ වර්තමානයේදී ඔවුන් අත්කර ගන්නා අත්දැකීම් අනාගතය උදෙසා වැඩදායි වන බැවිනි. රොෂේන් සිල්වා, චරිත් අසලංක, සධීර සමරවික්‍රම වැනි ක්‍රීඩකයන් කෙරෙහි මීට වඩා වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වනුයේ එවැනි පසුබිමකය. පළමු පෙළ තරග 101 කදී එක ඉනිමකට ලකුණු 50කට ආසන්න සාමාන්‍යයක් සහිත සිල්වාව ජයග්‍රාහී ඔස්ට්‍රේලියානු තරගාවලියට කඩිමුඩියේ කැඳවූ මුත් ඔහුට එකදු හෝ තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නැත.

කණ්ඩායමේ 12 වැනි ක්‍රීඩකයා වූ රොෂේන්ට අනතුරුව පැවැති සිම්බාබ්වේ හෝ දකුණු අප්‍රිකානු තරගාවලියේදී ද අවස්ථාව ලැබුණේ නැත. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ රොෂේන් එංගලන්ත ‘ඒ’ පිලට නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව හැඩකාර ශතක දෙකක් වාර්තා කළේ කොළ පැහැයෙන් දිදුලන තණතීරු මතදීය. කෙසේ වෙතත් මෙවර ද ඔහුට අවස්ථාවක් හිමි වූයේ නැත. මිලින්ද සිරිවර්ධන ද තේරීම් කමිටුවේ පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැති කමින් පීඩා විඳින තවත් ක්‍රීඩකයෙකි. ක්‍රීඩකයකු ලෙස ඉහළම රිද්මයේ සිටියදී අවස්ථා අඩුවෙන්ම හිමි වන ඔහුව තරගයකදී දෙකකදී අසාර්ථක වූ සැණින් කණ්ඩායමෙන් ක්ෂණිකව ඉවතට විසි කරනු ලබයි. අමිල අපොන්සු හා ධනංජය සිල්වා සම්බන්ධයෙන් ද තත්ත්වය මෙයයි. තරුණ ක්‍රීඩකයන් සමඟ තරග කරන විට ක්ෂණික සාර්ථකත්වයක් අත්පත් කර‍ගත නොහැකි මුත් ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ස්ථාවර වීම පටන් ගැනුමත් සමඟ එය කණ්ඩායමට වාසිදායක තත්ත්වයක් වීමට ඇති ඉඩකඩ ඉහළය. එම අවදානම මේ මොහොතේ ගැනීම පාඩුවක් නොවේ.

ප්‍රමිතිය හා ප්‍රතිපත්තිය සපිරි තේරීම් ක්‍රියාවලියක් සිදු වීමට අමතරව දේශීය පළමු පෙළ ක්‍රීඩාවේ ගුණාත්මක තත්ත්වය ද අනිවාර්යයෙන්ම දියුණු විය යුතුය. අපේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව තුළ දැනට ඇති කණ්ඩායම් ගණන 23ක් පමණ වන අතර එය, කණ්ඩායම් 12 හෝ අටක මට්ටමට ඉක්මනින්ම රැගෙන ආ යුතුය.

තරගකාරිත්වය වැඩි වී අන්තර්ජාතික මට්ටමට සමීප වීමේ වැඩි අවස්ථාවක් ඒ ඔස්සේ ලැබෙනු ඇත. අනෙක් අතට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය දියුණු කිරීමට පියවර ගත යුතුය. ක්‍රිකට් විලාසිතාවක් බවට පත්වීම ක්‍රමයෙන් පාසල් සිසුන් තුළ අඩු වෙමින් පවතී. තාක්ෂණයේ දියුණුවත් සමඟ පන්දුව හා පිත්ත වෙනුවට ජංගම දුරකතනය, අයි පෑඩ් වැනි තාක්ෂණික උපකරණ කෙරෙහි ඔවුහු වැඩි ප්‍රියතාවක් දක්වති. එබැවින් මානසික විප්ලවයක් ඔස්සේ පාසල් සිසුන් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පෙලඹවීමක් ඇති කිරීමට වැඩ කිරීමද වැදගත්ය. විශේෂයෙන්ම වයස අවුරුදු 15 හා 17 මට්ටම්වලදී ඉදිරිය සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබිය හැකි අඩි 5 11”, අඩි 6 උසැති යොවුන් ක්‍රීඩකයන් හඳුනා ගනිමින් ඔවුන්ගේ අනාගතය යහපත් කිරීමට බලධාරීහු දැන්වත් කටයුතු කළ අතර, ළාබාල වයසේදී දක්ෂතා හඳුනාගැනීමේ මේ ක්‍රමය ඉන්දියාව හා පාකිස්තානය වැනි රටවල සාර්ථකව සිදු වෙමින් පවතී.

මේ සියල්ලට සමගාමීව ක්‍රිකට් දියුණු වීමට නම් පරිපාලනය තුළ වගවීම හා විනිවිද භාවයක් පැවතීම ද වැදගත්ය. අපේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ සෑම මට්ටමකදීම නොමැත්තේ එයයි. පාසල් ක්‍රිකට් හෝ ඉන් එහා කියා එහි වෙනසක් දැකගත නොහැකිය. අතීතයේදී තම අත ඇති මුදල් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් යොදවමින් කටයුතු කළ ක්‍රිකට් පරිපාලකයන් මේ රටේ සිටිමුත් අද ඊට ඇතුළුවීමට උත්සාහ දරන්නන්ගේ එකම අපේක්ෂාව ධනය බලය හා කීර්තිය අත්පත් කර ගැනුමය. 1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගැනීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල ගිණුමේ තිබුණේ ඩොලර් දස දහසක් වුවත් අද එහි ගනුදෙනු සිදු වනුයේ මිලියන ගණනින් නොව බිලියන ගණනිනි. විශාල මූල්‍යමය ගනුදෙනු ක්‍රිකට් සමඟ බැඳී තිබුණත් අපේ රටේ ක්‍රියාත්මක වෙමින් පවතිනුයේ කුලී පදනම මත ක්‍රීඩාංගණවල සේවයට බඳවා ගත් අසරණ කම්කරුවන්ට ලබා දෙන කලිසම් නැවත කොල්ලකන මජර ක්‍රමයකි.

ශ්‍රී ලංකා කණ්ඩායම විදේශයන්හි තරග වදින විටදී පවුල් පිටින්, තම හෙංචයියන් පිරිවරාගෙන ශ්‍රී ලංකා ක්‍රිකට්හි මුදල් නැති නාස්ති කරන මේ “මහත්වරු” කම්කරුවන්ගේ කලිසම් ගලවා ගැනීමට කටයුතු කිරීම නම් අභාග්‍යයක්මය. එය ශිෂ්ටත්වයේ අවම ප්‍රමිතීන් පවා උල්ලංඝනය කිරීමකි. රටක ක්‍රිකට් ක්‍රීඩාව දියුණු විය යුත්තේ ජාත්‍යන්තරය හමුවේ අප හෑල්ලුවට ලක් වන මෙවැනි සිදුවීම්වලටද තිත තබමිනි.

චාමර ලක්ෂාන් කුමාර 

Comments