
මිනිසුන් නම් එක දරුවකු වෙනුවෙන් ගෙවල් කීපයක් හදන්නේ ඒවා විකුණාගෙන හෝ දරුවාට ජීවත් වීමට මඟක් පාදනු පිණිසය. එහෙත් දඬුලේන මවත් පියාත් එක පැටවකු වෙනුවෙන් කූඩු හතක් හදන්නේ කුමටද? ගැමියන්ගේ කතා හැමවිටම මිථ්‍යාවට නැඹුරුයැයි කීමට නොහැකි බව අත්දැකීමෙන්ම පවසන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතාය.
“දඬුලේනා අතීතයේ සම්පූර්ණයෙන්ම වනචාරී සතෙක් වුණාට දැන් ඌ ගෘහාශ්‍රිත තත්ත්වයට පත් වෙලා. ඒකට හේතුව උන්ගේ ගෝචර භූමි මිනිසුන් විසින්ම විනාශ කිරිමයි. එයින් ඇති වුණු භයානකම ප්‍රතිඵලය මේ සතා පළිබෝධකයකු බවට පත් වුණු එකයි. පලතුරුවලට අමතරව උස් පොල් ගස්වල ළපටි ගොබළුවල රස බලන්න හරි හපනෙක් නිසා පොල් වතු හිමියන් වුණත් දැන් මුන් සලකන්නේ සතුරු පළිබෝධකයෙක් හැටියටයි. ඒ නිසාම දඬුලේනා දුටු තැන මරා දාන තත්ත්වයට පත් වෙලා. එනිසාම ඉදිරියේදී වඳ වී යෑමේ තර්ජනයට ලක් වෙන්න පුළුවන්.”
රට පුරා දේශගුණික කලාප අනුව දඬුලේන් උප-විශේෂ තුනක් සොයා ගත හැකි බව වෛද්‍ය අතපත්තු කියයි.
“බැලූ බැල්මට නොපෙනුණත් ශරීර වර්ණය හා ප්‍රමාණය අනුව මේ වර්ග තුන වෙනස් වෙනවා. උස් කඳුකරයේ ඉන්නා දඬුලේනුන්ගේ වල්ගය දිගුයි, පැතලියි, කළු මත සුදු පැහැ පැල්ලම් සහිතයි. මැද කලාපයේ උන්ගේ වල්ගය තනිකර කළු පැහැතියි. වියළි කලාපයේ දඬුලේනුන්ට තිබෙන්නේ අළු දුඹුරු පැහැ වල්ගයක්. මේ වෙනස හඳුනාගන්න නම් එක්කෝ දඬු ලේනුන්ට කිට්ටු කර බලන්න ඕනෑ; එහෙම නැත්නම් පැහැදිලි ඡායාරූපයක් ගන්න ඕනෑ. කොහොම වුණත් පොඩි ලේනුන්ගේ වගේ මේ දඬුලේනුන්ගේ පිටේ ඉරි තුනක් නෑ. ඒ වගේම පොඩි ලේනා මෙන් හත්-අට ගුණයකින් දඬුලේනා විශාලයි. උන්ගේත් ගැහැනු පිරිමි භේදය නිකම්ම සොයාගන්න බෑ. අභිජනන සමයේ පිරිමි සතාගේ අංගෝපාංග බඩ පැත්තේ පේන්න තිබෙන විට තමයි වෙනස හඳුනාගන්න පුළුවන් වන්නේ.”
සෑම ලේන් වර්ගයකටම පොදු ලක්ෂණයක් දඬුලේනුන්ටද ඇත. ඒ උඩුතල්ලේ හෝ යටිතල්ලේ රදනක දත් නොපිහිටීමයි. ඒ මාංසභක්ෂක නොවන නිසාය. ජීවිත කාලය පුරාම තුරු මුදුන්වල දුවන පනින දඬුලේනා ගසක පලතුරු, මල්, කොළ, දලු, ආදි වූ කොටස් සියල්ල ආහාරයට ගනී. එසේ වුවත් සම්පූර්ණ ශාක භක්ෂකයෙකු ලෙස ඌ හඳුන්වන්නට වෛද්‍ය අතපත්තු සූදානම් නැත.
“දඬුලේනා ශාක භක්ෂකයෙක් වුණත් ඉඳහිට කුරුලු බිත්තරයක රසබලන්න වගේම සමනලයින්, දළඹුවන්, සළබයින් වගේ කෘමි සතෙක් මෙනු-පතට ඇතුළත් කරගන්නත් අකැමැති නෑ. උදේ පාන්දර ඉඳන් නවයහමාර විතර වන තුරු ක්‍රියාකාරීව ඉන්න මුන් හිරු මුදුන් වන දවල් වරුවේ බොහොම කම්මැළිකමේ එක්කෝ කැදැල්ලට වෙලා නැත් නම් ගස් අත්තක එල්ලිලා පලතුරකට වගකියමින් ගත කරනවා. ආයෙත් දඟ කරන්න ගන්නේ හවස හතරහමාරෙ විතර ඉඳන් ඇඳිරි වැටෙනකල්. ගස් අතුවල කකුල් දෙකෙන් එල්ලී ඉන්න උන්ට නිය පහක් බැගින් තිබෙනවා. ඒත් ඉදිරි පාදවල තිබෙන්නේ නිය හතර බැගින්. කම්මැළිකමට ඉන්න දඬුලේනුන් හදිසියේ දුවන්න ගන්නේ විලෝපිකයන්ගෙන් බේරෙන්න. සමහර වෙලාවට ගස් දිගේ දුවලා දුවලා අතු පතරින් පැනලා බේරෙන්න බැරිම වුණොත් බිම දිගේ වුණත් දුවනවා. එහෙම නැත්නම් කකුල් හතර හතර පැත්තට දාලා ගස් අත්තක් බදාගෙන ඉන්නවා. ඒත් ඒ ක්‍රමේ එතරම් සාර්ථක උපායක් නොවන අවස්ථා වැඩියි.”
දඬුලේනාට තියුණු ඉවක් තිබුණද කන් ඇසීම අතින් දුර්වල බව වෛද්‍ය අතපත්තුගේ නිරීක්ෂණයයි.
“ශබ්ද ඇසීමේ දුර්වලතාව නිසා උඩු හුළඟ මඟ ඇරගෙන ළඟට ගියොත් දඬු ලේනෙක්ට කිට්ටු වෙන්න හරි ලේසියි. මේ සතා සමාජශීලී වුණත් තමන්ගේ වැයික්කියක ඉන්නයි වැඩියෙන් කැමැති. ඒ ජෝඩුව හැටියට. අභිජනනයේ අමුතු අලංකාරයක් නැතත් ගැබිනි ලේනිය අතහැර යන්න දඬුලේනා කැමැති නෑ. ස්ථන ග්‍රන්ථි යුගල තුනක් තිබුණත් අපි මෙතෙක් කතා කළ හැම සතකුම වගේ දඬුලේනියටත් ලැබෙන්නේ එක පැටවයි. මාස තුනක් විතර කිරි බොන ගමන්ම අම්මා පස්සෙන් වැටෙන පැටියා පළතුරු කන්න පුරුදු වෙනවා. කොළු පැටියෙක් නම් වැඩි කල් අම්මා ළඟ රැඳෙන්නේ නෑ. කෙළි පැටව් නම් ඒ වැයික්කියේම කුමාරයෙක් එනකල් රැඳෙනවා. ඊට පස්සේ අලුත් ජෝඩුව වෙන වැයික්කියකට යනවා. අම්මයි තාත්තයි අර හදාගත් කූඩුවේ වරින් වර කාන්සි අරිමින් ජීවත් වෙනවා. හැබැයි දඬුලේනුන්ගේ පිරිමි පැටවුන් අඩුයි. ඒ නිසා ගැහැනු සතුන්ගේ ගහනය වැඩියි.”
‘Giant Squirrel’ ලෙස හඳුන්වනු ලබන මේ අහිංසකයන් පැටවුන් දැමීමට පෙර කූඩු කීපයක් හදන බව ගැමියන්ගේ පමණක් නොව, වෛද්‍ය අතපත්තුගේද මතයයි.
“දඬුලේන කූඩුව හරිම අපිළිවෙළයි. හරියට කාක් කූඩුවක් වගේ. මුලින් හදන්නේ අමු කෝටුකෑලි වගේ දේවලින් නිසා මුලින් පේන්නේ කොළපාටට පස්සේ ඒක වියළි පැහැයක් ගන්නවා. හැබැයි කාක්කූඩුවේ වගේ විවෘත අවකාශයක් නෙවේ, ගෝලාකාර කූඩුවක් හදන්නේ. හැබැයි ඇත්තටම පැටවා වෙනුවෙන් හදන කූඩුවේ ඇතුළ ඉතාම සනීපදායක විදිහටයි සරසන්නේ. කූඩු හතක් කොහොම වුණත් පැටවුන් දාන්න කලින් එකම ගහේ හෝ ළඟපාත ගස් කීපයක කූඩු හතරක්-පහක්වත් හදන බව නම් මමත් දැක්කා. ඒකේ අරමුණ විලෝපිකයන් රවටා පැටවුන් බේරා ගැනීමයි.”
කොතරම් අහිංසක වුවද දඬුලේනුන් සපාකෑම ලේසි-පහසු සෙල්ලමක් නොවන බවටද අනතුරු අඟවන්නට වෛද්‍ය නන්දන අතපත්තු අමතක කළේ නැත...
“දවසක් මගේ ළඟට ආවා කොළඹ ලොකු නෝනා කෙනෙක්, එයා ඇති කරපු දඬුලේනා ටික දවසක ඉඳන් හරි වෙනස් නපුරු හැසිරීමක් පෙන්වනවා, මහත්තයාවයි දුවලා දෙන්නාවත් හැපුවා. නෝනාගෙත් අත හැපුවා, මොකද ඒ කියලා අහන්න. මම කීවා කෝකටත් ලේනා කූඩුවේම තියලා සතියක් බලන්න, මැරුණොත් ඔළුව වෛද්‍ය පර්යේෂණ ආයතනයට දෙන්න කියලා. එ් අතර කෝකටත් ජලභීතිකා එන්නතත් විදගන්න කීවා. දවස් තුන යද්දි ලේනා මැරුණා. ඔළුව පරීක්ෂා කළාම සතාට පිස්සුබලු රෝගෙ වැලඳිලා. එයා නිදහසේ හිටි නිසා අල්ලපු ගෙදරකදි බල්ලෙක් හපන්න ඇති කියලයි විශ්වාස කරන්නේ. ඒ නිසා තල්මසා, වවුලා ඉඳන් ඕනෑම ක්ෂීරපායියකුට ජලභීතිකාව වැලඳෙන්න පුළුවන් බව මතක තියාගෙන ඉඳීම වැදගත්.”
(ඔබත් දඬුලේනා ගැන දන්නා දේ අපට කියන්න: අතපත්තුයි වනසත්තුයි, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10 හෝ aruni.silumina@gmail.com)
අරුණි