ලේසර් කිරණ ගැන ඔත්තු සොයන ජාතික ජ්වලන මධ්‍යස්ථානය | Page 7 | සිළුමිණ

ලේසර් කිරණ ගැන ඔත්තු සොයන ජාතික ජ්වලන මධ්‍යස්ථානය

ලෝකයේ විශාලතම යන්ත්‍ර දහය
අද-4

ලෝකයේ සිව්වැනියට විශාලතම යන්ත්‍රය සහිත ජාතික ජ්වලන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ අමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේය. මේ මධ්‍යස්ථානයේ මූලික කාර්යය වන්නේ ලේසර් කිරණ සම්බන්ධව පර්යේෂණ පැවැත්වීමය.

ලේසර් කිරණ සහ හයිඩ්‍රජන් වායුව දහනයෙන් මානව සංහතියේ ඉදිරි පැවැත්මට බලපෑම් කිරීමට සමත් පර්යේෂණ සිදු කිරීමේ අවශ්‍යතාව මුල් කාලීනවම හඳුනාගනු ලැබූවෙන් ඒ සම්බන්ධව පර්යේෂණ කිරීමේ පර්යේෂණාගාරයක අවශ්‍යතාව අමෙරිකානු විද්‍යාඥයන්ට ඇතිවූයේ මීට දශක කිහිපයකට ඉහතදීය. ඒ අනුව 1997දී කැලිෆෝර්නියාහි දී ජාතික ජ්වලන මධ්‍යස්ථානය තැනීම ආරම්භ විය. එහෙත් නොයෙක් හේතූන් මත එහි ඉදිකිරීම් කටයුතු වරින්වර නතර කර දැමීමට සිදු වූ අතර අවසානයේදී 2000 වසරේදී මේ වැඩකටයුතු යළිත් ආරම්භ කෙරිණ. එතැන් සිට 2009 දක්වා ගතවූ වසර කිහිපයේදී මේ දැවැන්ත ඉදිකිරීම සම්පූර්ණ කිරීමට එහි කටයුතු බාරව ක්‍රියා කළ ඉංජිනේරුවෝ සමත් වූහ.

ලේසර් කිරණ මගින් ජනනය වන ශක්තිය විමසා බැලීමද ජාතික ජ්වලන මධ්‍යස්ථානයේ තවත් සුවිශේෂී කටයුත්තක් වේ. එමෙන්ම න්‍යෂ්ටික අවි නඩත්තුව සඳහාද මෙහිදී සිදු කරන පර්යේෂණ ප්‍රයෝජනවත් වන බව ප්‍රකාශිතය.

මෙහි මූල්‍ය බර පැන දැරීම මෙන්ම මෙහි පර්යේෂණ සිදුකිරීමද නඩත්තුවද බාරව කටයුතු කරන්නේ එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුව විසිනි.

මෙහි ආර්ම්භක පර්යේෂණය 2009 ජූනි මාසයේදී සිදු කෙරුණු අතර එය සම්පුර්ණ කරන ලද්දේ 2010 ඔක්තෝබර් මාසයේදීය. මේ පර්යේෂණයෙන් බලාපොරොත්තු වී ඇත්තේ ලේසර් කිරණවල ශක්තිය විමසා බැලීමය.

එමෙන්ම ලේසර් කිරණ 192ක් එකවර එක් ඉලක්කයක් වෙත එල්ල කිරීමේ හැකියාවද මේ යන්ත්‍රය සතුය. දැනට ගණන් බලා ඇති අන්දමට එලෙස එකවර ලේසර් කිරණ 192ක් එකම ඉලක්කයකට එල්ල කිරීමෙන් ඇති කළ හැකි පීඩනය වායුගෝලය විසින් පෘථිවිය මත ඇතිකරන පීඩනය මෙන් බිලියන සියයක පීඩනයක් බවයි. එවැනි බලයක් ලේසර් කිරණ මගින් එල්ල කිරීමේ අවසන් ප්‍රථිඵලය වන්නේ ඉලක්කය දරුණු පිපිරීමකට ලක්වීමය. එමෙන්ම සූර්ය කිරණවල ඇති බලය ආශ්‍රයෙන් ලේසර් කිරණ නිපදවීම කෙරෙහිද ජ්වලන මධ්‍යස්ථානයේ පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබේ.

මේ පර්යේෂණාගාරය ඉදි කිරීමේ යෝජිත වියදම ඩොලර් බිලියනයක් වූ නමුත් ඉදිකිරීම් අවසානයේ එහි මුලු වියදම සටහන් වූයේ ඩොලර් බිලියන 3.5ක් වශයෙනි.

ජාතික ජ්වලන මධ්‍යස්ථානය මිනිස් වර්ගයාගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් මේ වන විටද බොහෝ පර්යේෂණ ක්‍රියාත්මක කරමින් සිටින්නේය.

ටිරෝනි

Comments