ඔබ රූපවාහිනිය නරඹන්නේ මෙහෙමද? | සිළුමිණ

ඔබ රූපවාහිනිය නරඹන්නේ මෙහෙමද?

 මෙරට බොහෝදෙනකු විනෝදාස්වාදය සඳහා භාවිත කරන ප්‍රධාන මෙවලම රූපවාහිනියයි. විදුලි බලය ඇති ලක්ෂ 45කට අධික නිවාස සංඛ්‍යාවකත්, විදුලි බලය නොමැති නිවාසවලත් රූපවාහිනි යන්ත්‍ර ඇත.

රූපවාහිනි යන්ත්‍රයක් මිලදී ගැනීමේදී අප සැලකිලිමත් විය යුතු කාරණා රැසක් ඇත.

රූපවාහිනියක් මිලදී ගන්න විට ඔබ පළමුවෙන්ම කල්පනා කළ යුතු වන්නේ එහි ප්‍රමාණය නැත්නම් අඟල් ගණන ගැනය. ඊට වැයවන මුදල ගැන විමසිලිමත්වීමේත් ඒ හා සමානම වැදගත්කමක් ඇත.

ඉහත දැක්වූ වගුවට අනුව වැය වන වොට් ගණන, රූපවාහිනි යන්ත්‍රවල වෙළෙඳ නාමය අනුව වෙනස් වන්නේ සුළු වශයෙනි.

නවීන තාක්ෂණය අනුව නිෂ්පාදනය වී ඇති LED සහ LCD රූපවාහිනී සඳහා අඩු විදුලි ප්‍රමාණයක් වැය වේ. එනිසා LED හෝ LCD හෝ රූපවාහිනියක් මිළදී ගැනීම විදුලි බිලට වාසියකි.

රූපවාහිනිය නැරඹීමේ ඔබේ චර්යාව නිවැරදි කරගන්නට වැදගත් වන කරුණු කිහිපයක් මෙසේය.

නිවෙසේ දැල්වෙන අනවශ්‍ය විදුලි පහන් නිවා දමා රූපවාහිනිය නරඹන්න පටන් ගන්න.

දුරස්ථ පාලකය (Remote control) භාවිතයෙන් ක්‍රියා විරහිත තත්ත්වයේ තබන විට (Stand by තත්ත්වයෙන් තබන විට) සාමාන්‍යයෙන් වොට් 10ත් 18ත් අතර විදුලි බලයක් වැයවේ. එනිසා රූපවාහිනිය නරඹා අවසන් වූ පසු ස්විචයෙන් හෝ බිත්තියේ ස්විචයෙන් හෝ එය ක්‍රියාවිරහිත කරන්න. චැනල් මාරු කිරීමට පමණක් දුරස්ථ පාලකය භාවිත කිරීම සුදුසුය.

මෙය රූපවාහිනියට පමණක් නොව කැසට් යන්ත්‍ර සහ DVD, CD යන්ත්‍ර සඳහා ද අනුගමනය කරන්න.

දෛනික රූපවාහිනි වැඩසටහන් විස්තරය මතකයේ තබාගන්න. එවිට අනවශ්‍යය අවස්ථාවලදී නිකරුණේ රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමෙන් වැළකීමට පුළුවන.

නිවසේ පාළුව මඟ හැරවීමට ගුවන් විදුලිය ඉතා හොඳ මාධ්‍යයකි. එනිසා ඒ සඳහා රූවාහිනී යන්ත්‍රය යොදා ගැනීමෙන් ඉවත් වන්න.

විවිධ වැඩවල යෙදෙමින් රූපවාහිනියේ විකාශනය වන දේ ඇසීම අපේ ගෘහණියන් තුළ දැකිය හැකි චර්යාවකි. එය වැරදි චර්යාවක් බැව් වටහා ගන්න. රූපවාහිනිය යනු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යකි. එය ක්‍රියාත්මක කරන ඔබ එහි ශක්‍යතා සියල්ල භාවිතයට ගත යුතුව ඇත. නොඑසේ නම් ඔබ බලශක්තිය නිකරුණේ නාස්ති කරනවාට සැකයක් නැත.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී චමින්ද ලියනගේ මහතා සමඟ සාකච්ඡා කර

ලිපිය සකස් කළේ
මංජුලා විජයරත්න

Comments