අනුරාධපුර පශ්චාත් අස්වැන්න පිළිබද තාක්ෂණික ආයතනයෙන් ගම්මිරිස් වියළන්න අලුත් යන්ත්‍රයක් | Page 7 | සිළුමිණ

අනුරාධපුර පශ්චාත් අස්වැන්න පිළිබද තාක්ෂණික ආයතනයෙන් ගම්මිරිස් වියළන්න අලුත් යන්ත්‍රයක්

අතීතයේ මිනිසුන් විවිධ අත්හදා බැලීම් කළහ. එදිනෙදා සිය අවශ්‍යතා සපුරාගනු වස් අතීත මානවයා ස්වයංව සොයා ගත් බොහෝ දේ අද වන විට නව ක්‍රමයකින් අප අතර භාවිත වන්නට පටන් ගෙන තිබේ. එදා වානර සමාජයෙන් ඔබ්බට එන මිනිසා ගල් දෙකක් එකිනෙක ගැටීමෙන් සොයාගත් ගින්දර අද බොහෝ නවීන ක්‍රම හරහා අප අතරට පැමිණ තිබේ. එවන් වකවානුවක සිට පරිගණකය, රූපවාහිනිය, ගුවන්විදුලිය දක්වා බොහෝ දියුණු තාක්ෂණයන් සොයා ගත් මිනිසා අද වන විට පිය නගමින් ඇත්තේද තාක්ෂණය අබි බවා යන ගමනක්යැයි කීම වැරදි නැත. එවන් දියුණු ගමන් මගක කොටස්කරුවන් වීමට හැකියාව ලැබී තිබීම සහ ලෝකයේ සෙසු රටවලට තරගයක් දෙමින් නව නිර්මාණ බිහි කරමින් සිටින ශ්‍රී ලාංකිකයන් සිටීම පිළිබදව හුදෙක්ම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපද සතුටු විය යුතුය.

අප රටින් බිහි වන බොහෝ නිර්මාණකරුවන් මෙරට පමණක් නොව විදෙස් රටවල පවා අපේ ආඩම්බරය කියා පාන්නට පටන් ගෙන ඇත්තේ අප රටට විශාල කීර්තියක්ද අත් කර දෙමිනි. විවිධ සම්මාන ලබා ගනිමින් දෙස් විදෙස් පොළෝ තලයේ ශ්‍රී ලංකා නාමය රන්දන බොහෝ දෙනා මේ පුංචි මුතු ඇටය තුළින් උපන් අග්‍රගණ්‍ය නිපැයුම්කරුවන් බව අප අමතක නොකළ යුතුය. තවත් එවන් නිපැයුම් කරුවකු සොයා ගිය ගමනේ ‘සිළුමිණ ‘ තබන සටහනයි මේ.

වැව් බැදි දියවරින් සුපෝෂිත වූ අනුරපුර නගරය ආරම්භයේ පිහිටියා වූ පශ්චාත් අස්වනු පිළිබද තාක්ෂණික ආයතනය හුදෙක්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙහි දියුණුව වෙනුවෙන් කටයුතු කරමින් ඒ සදහා අවශ්‍ය උපදෙස් හා තාක්ෂණය ගොවියා වෙත ලබා දෙමින් කටයුතු කරන ආයතනයකි. එම ආයතනය මගීන් පරීක්ෂණ පවත්වා සොයාගැනීමට ලක් කළ නව යන්ත්‍ර දෙකක් පිළිබඳ අපට තොරතුරු වාර්තා විය. 2009 වසරේ දී සිය ආයතනය මගින් ආරම්භ කළ මේ නව ඉපයීම් සඳහා මේ වන විට ජනාධිපති සම්මානත්, ඒ වෙනුවෙන් ලබා දුන් පේටන්ට් බලපත්‍රයත් ලබා ගැනීමට මේ ආයතනයට හැකියාව ලැබී තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් එහි වැඩ බලන අධ්‍යක්ෂ යාන්ත්‍රික ඉංජිනේරු ටී.එම්.ආර්. දිසානායක මහතා අප සමග කියා සිටියේ මෙවැන්නකි.

‘ඇත්තටම මේ ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා හැටියට මම අද සතුටු වෙනවා අපේ නව නිපැයුම්වලට හොඳ වටිනාකමක් ලැබීම සම්බන්ධව. අපි මුලින්ම නිපදවූයේ ගම්මිරිස් ජීවානුහරණය කිරීමේ යන්ත්‍රයක්. අපි ඇත්තටම මේකෙන් බලාපොරොත්තු වුණේ ලංකාව තුළ ගම්මිරිස් නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩිදියුණු කිරීම. මේ පිළිබද ශ්‍රි ලංකා කුළු බඩු සංගමයේත් ඉල්ලීමක් තිබුණ නිසා අපිත් ඇත්තටම ඒ ගැන ටිකක් හිතුවා. ඒ අනුව තමා මේ නව යන්ත්‍රය අපි නිපදවන්න හිතුවෙ. මේ යන්ත්‍රයෙන් අපි අරමුණු කළේ ගම්මිරිස් නිෂ්පාදනයේදී ඒවාට වැලඳෙන ආසාදන අවම කිරීමයි. මොකද: ගම්මිරිස් නිපදවද්දි ඒවාට බොහෝ විට ක්ෂුද්‍රජීවී ආසාදන ඇති වෙනවා. මේ යන්ත්‍රය හරහා අපිට පුළුවන් ඒ දේවල් නැති කරලා ඉතා ආරක්ෂිත, ඒ වගේම පිරිසුදු හා අලංකාර ගම්මිරිස් නිෂ්පාදන ලබා ගන්න. ඒ වගේම තමයි මේ විදිහට පිරිසිදු කරපු ගම්මිරිස් සඳහා වෙළෙඳපොළ තුළ හොඳ මිලක් ලබා ගැනීමේ හැකියාවත් තිබෙනවා. අපි මේ සඳහා බොහෝ විට යොදා ගන්නේ වියළි ගම්මිරිස්. හුමාලය මගින් තමා මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නෙ.

මේක ඇත්තටම මේ ආයතනයේ පර්යේෂණවල ප්‍රතිඵලයක් විදිහට තමා අපි විසින් නිපදවීම සිදු කළේ. මේ යන්ත්‍රයට අපි පේටන්ට් බලපත්‍රය ලබා ගන්න 2013 වසරේදී අයදුම් කළා. ඒ වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය අපට ලැබුණා. ඒ වගේම ජනාධිපති සම්මාන උලෙළේදී 2014 වසරේදී ඉංජිනේරු අංශයේ දෙවැනි ස්ථානය ලැබුණා.

අපි විසින් නිපදවපු අනෙක් යන්ත්‍රය තමා අඛණ්ඩ වී තැම්බීමේ යන්ත්‍රය. මේ යන්ත්‍රයේ ක්‍රියාදාමය සිදු වෙන්නෙ සාමාන්‍ය ක්‍රමයටමයි. ඒත් පැයට කිලෝ 750 ක් තැම්බීමේ හැකියාව මේ යන්ත්‍රය තුළින් අපිට ලැබෙනවා. හුමාලය යන්ත්‍රය හරහා ඇතුළු කරලා ඒ හරහා තමා වී තැම්බීමේ ක්‍රියාවලිය සිදු කරන්නෙ. අපි මේක හදන්න පටන් ගත්තෙ 2011 වසරේදී. මේ වෙනුවෙනුත් අපිට 2014 වසරේදී ජනාධිපති සම්මානය ලැබුණා. ඒ වගේම ඊට අවශ්‍ය පේටන්ට් බලපත්‍රයත් අපි ලබා ගත්තා. මේ වෙනුවෙන් ඉංජිනේරු අංශයේ සාමාන්‍ය සම්මානයක් සහ කුසලතා සම්මානයක් අපි දිනාගත්තා.

මේ නිපැයුම්වලදී උදව් උපකාර කළ අයද ඒ මහතා විසින් සිහිපත් කළේය.

‘‘මේ කාර්යයේදී මා සමග එකතු වෙලා එකට වැඩ කරපු කිහිප දෙනෙක්ම හිටියා. යාන්ත්‍රික ඉංජිනේරුවරියක් විදිහට කටයුතු කරන ශ්‍රීමා බණ්ඩාර මහත්මියට, ඒ වගේම ඒ. පී. රත්නායක මහතාටත් මේ අවස්ථාවේදී මම ස්තූතිවන්ත වනවා. ඊට අමතරව යාන්ත්‍රික වැඩපොළේ සේවකයන්ගේද උදව් උපකාර මේ වෙනුවෙන් අපට ලැබුණා. අපි මේ නිර්මාණ තවත් වැඩිදියුණු කරලා ලංකාවාසින්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් වෙළෙඳපොළට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් තව දුරටත් මේ යන්ත්‍ර නවීකරණය කරලා ඒවා වැඩි දියුණු කිරීමට අවශ්‍ය කටයුතු අපි කරගෙන යනවා.“

ගල්ගමුව සමූහ එම්. එම්. ක්‍රිෂාන්

Comments