1500ක ජනතාවට සෙත සැලසූ ලංකාවේ ලොකුම වෙද කඳවුර | සිළුමිණ

1500ක ජනතාවට සෙත සැලසූ ලංකාවේ ලොකුම වෙද කඳවුර

 අපේ රටේ හුඟක් දේවල් කරන්නේ අඬ බෙර ගහලා ලොකු ප්‍රසිද්ධියක් ලබා දීලා. ඒ වුණත් කිසිම ප්‍රසිද්ධියකින් තොරව සිදු කරපු විශාල ජනතා සේවයක් ගැන අපට උතුරුකරයෙන් ආරංචි වුණා. සැබෑ ජනතා සේවයක් එහිදී අපට දැකගන්කට ලැබුණා. මේ කාර්යය වඩාත් වැදගත් වන්නේ ජාතික සංහිඳියාවට ලොකු උපකාරයක් වුණු නිසයි. අපේ රටේ බොහෝ තැන්වල වෛද්‍ය කඳවුරු ලේ දන්දීමේ පින්කම් වගේ සුව සායන පැවැත්වෙනවා.

මේ කාර්යයත් ඒ වගේ වුණත් ඒ සඳහා සහභාගි වුණු පිරිස ගැන ඇහුවම දැක්කහම හිතා ගන්නත් බැහැ.

ප්‍රදේශය පුනරීන් නගරයයි. එහිදී පවත්වපු වෛද්‍ය කඳවුරට සිවිල් වැසියන් 1500 කට ආසන්න පිරිසක් සහභාගි වුණා. මෑත කාලයේ ලංකාවේ පවත්වපු ලොකුම වෛද්‍ය කඳවුර ලෙසින් මේ කාර්යය හඳුන්වා දෙන්න පුළුවක්. පූනරින් මහා විද්‍යාලයේ පැවැත්වුණු මේ වෛද්‍ය සායනයට කොළඹ ඇතුළු නාගරික රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 25 දෙනෙකට වඩා සහභාගි වුණා.

විශේෂයෙන්ම අඩු ආදායම් ලාභීන් උදෙසා පවත්වන ලද මේ වෛද්‍ය කඳවුර නිසා පුනරීන් ප්‍රදේශයේ ජනතාවට විශාල සහනයක් වුණා. ඒ විතරක් නෙමෙයි උතුරු දකුණු සංහිඳියාවටද විශාල පිටිවහලක් වුණා.

මේ කාර්යයට උර දුන්නේ කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයයි. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මහතාගේ උපදෙස් මත 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පටිවලාන මහතාගේ මඟපෙන්විමෙන් එම සේනාංක නිලධාරීන් සහ භට පිරිස් විසින් මේ කාර්යය සංවිධානය කර තිබුණා.

එය වඩාත් වැදගත් වුණේ ත්‍රස්තවාදීන් යුද හමුදා නිලධාරීන් තමන්ගේ සතුරක් බවට ජනතාවට ඒත්තු ගන්වා තිබූ නිසයි.

මේ වෛද්‍ය කඳවුරට විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් වීරසේන මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ජනතාටව වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේ ආහාර ගැනීමට පවා විවේක නොලබමින්.

මෙම වෛද්‍ය සායනයේදී රුපියල් ලක්ෂ 3කට අධික ඖෂධ ලබා දී තිබෙනවා. ඒ රජයට බරක් පටවමින් නොවේ. පුනරීන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද පවුල් සෞඛ්‍ය සේවිකාවන්ද මෙ කාර්යය සාර්ථක කර ගන්නට සහාය ලබා දුන්නා.

බිඳී ගිය උතුරේ ජනතාවගේ හදවත් සුපපත් කරන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. ඒත් වෛද්‍ය සායනය අවසන් වෙන විට මේ ජනතාවගේ හදවත් පවා සුවපත් වි තිබෙනවා.

අඬ බෙර නැතිව කළ මහ මෙහෙය සුළු පටු නැහැ. මේ වෛද්‍ය සායනයේදී ප්‍රතිකාර ලබාගත් අයට සියලු රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා දීම ඉතාම වැදගත් වුණා. ජනතාව එයින් ගියේ සියලු දෙනාටම පින් ලබා දෙමින්. මේ ජනතා හදවත් ඉදිරියටත් මේ විදිහට සුවපත් කිරීමයි වැදගත් වන්නේ.

තාරක වික්‍රමසේකර
සේයාරූ - කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය

Comments