මෙල් ගුණසේකර ඝාතකයා පෝරකයට! | සිළුමිණ

මෙල් ගුණසේකර ඝාතකයා පෝරකයට!

 මීට වසර තුනකට පෙර - එනම්: 2014 වසරේ දෙසැම්බරයේ - මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මෙණෙවිය රාජගිරිය ප්‍රදේශයේ තම නිවෙසේදී ‍සහසික‍යකු අතින් ඝාතනයට ලක් විය. එදා ඒ ඝාතනය මුළු රටම උණුසුම් කළ පුවතක් විය. මනුෂ්‍ය ඝාතනයක් යනු ඉතා සුලභ සංසිද්ධියක් බවට පත්ව තිබීම නිසා මෙල් මෙණෙවියගේ ඝාතනය පිළිබඳ සිද්ධියත් ඉතා ඉක්මනින් මිනිසුන්ගේ මතකයෙන් ගිලිහෙන්නට විය. එහෙත් වසර තුනක් පුරා සාක්ෂි විමසී‍මකින් අනතුරුව පසුගියදා සැම්සන් ඇන්තනි ජෝර්ජ් නමැති ඇගේ ඝාතකයාට මරණීය දණ්ඩනය නියම වීමත් සමඟ යළිත් එය ජන මතකයට පැමිණ තිබේ.

ජංගම දුරකතනයක් සොරකම් කිරීම, මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම නිවෙසට ඇතුළු වීම යන වැරදි තුනකටම වරදකරු වූ ඇන්තනී ජෝර්ජ් (42) නොහොත් 'පින්තාරු බාස්' යන නමින් හඳුන්වන පුද්ගලයා වැරදිකරු වීම නිසා ඔහුට මරණ දඬුවම නියම විය‍. මෙල් මෙණෙවියගේ ඝාතනය හුදෙක් මාධ්‍යවේදිනියක සැලසුම් සහගතව ඝාතනය කිරීමක් ලෙස අර්ථකථනය නොවූයේ සොරකමේ පැමිණි පුද්ගලයා ඔහුගේ සොරකම හෙළිදරවු වීම වළක්වාගැනීමට අනපේක්ෂිත ආකාරයෙන් සිදු කරන ලද්දක් වූ නිසාය.

මෙල් ගුණසේකර සන්ඩේ ටයිම්ස්, ඒඑෆ්පී වැනි පිළිගත් මාධ්‍ය ආයතනවල ව්‍යාපාරික පුවත් සම්පාද‍නයේ නිරතව සිටි මාධ්‍යවේදිනියකි. ‍ අපරාධය සිදුවූ අවස්ථාවේදී මෙල් මෙණෙවිය පමණක් නිවෙසේ රැඳී සිටි අතර, නිවෙසේ පිරිස්් පල්ලියට ගොස් සිටියහ. පින්තාරු කටයුතු සඳහා ඊට මාස එකහමාරකට පමණ පෙර මේ නිවෙසට පැමිණි ‍අයකු වූ ඝාතනකරු ඇගේ නිවෙසේ කටයුතු පිළිබඳ මනා දැනුමකින් සිටි අතර, නිවැසියන් බැහැර යන දිනයන් පිළිබඳ හොඳින් දැන සිටියේය.‍

සොරකම ඇන්තනීට නුහුරු නුපුරුදු දෙයක් නොවීය. පින්තාරු වැඩ කිරීමට යන නිවෙස්වලින් කුමක් හෝ සොරාගැනීම ඔහුගේ පුරුද්දක් වී තිබිණි. එදින ඉරු දිනක් වු හෙයින් ඔහු මේ නිවෙසට ඇතුළු වූයේ ඇගේ නිවෙසේ සියලු දෙනා උදෑසන දේව මෙහෙය සඳහා බැහැර යනු ඇතැයි යන අනුමානය ඇතිවය. එහෙත් එදින මෙල් ගුණසේකර මෙණෙවිය නිවෙසින් බැහැරට නොගි‍ය බව ඇන්තනී දැන සිටියේ නැත.

නිවැසියන් පල්ලියේ දේව මෙහෙය සඳහා නිවෙසින් පිටත් වන වේලාව උදෑසන 6.15 පමණ බව දැන සිටි නිසා ඔහු උදෑසන 6.30 වන විට නිවෙසට ඇතුළු වීමට සැලසුම් කරගත්තේය. ඔහු නිවෙසේ තාප්පයෙන් පැන ජනේලයක් විවෘත කර එහි වූ යකඩ ග්‍රිල් කූර නියනක ආධාරයෙන් ගලවා ඉවත් කරගෙන ගෙතුළට පිවිසුණේය. පහත මාලයේ කිසිවකු නොවූයෙන් ‍තම අරමුණ රිසි සේ ඉටු කරගැනීමට හැකි බව ඔහුට වැටහිණි. ඉතා සූක්ෂ්ම ආකාරයෙන් ගෙතුළ ඇති නිඳන කාමරවලටද ඔහු ඇතුළු වූයේය. එක් කාමරයක ඇති වටිනා යමක් එකතු කරගැනීමෙන් අනතුරුව ඔහු අනෙක් කාමරයට ඇතුළු වීමේ අදිටනින් අඩිය ඉක්මන් කළේය.

මෙවිටම ඉහළ මාලයේ සිට පහත මාලයට පැමිණි මෙල් මෙණෙවිය නිවෙස තුළ කිසි‍වකු ඇති බව නොදැන සිටියාය. ගත වූයේ නිමේෂයකි. තමා ඉදිරියේ සිටගත් මිනිසා දැක ඇය තිගැස්සුණාය. මෙල් දුටු ඇන්තනී තමාගේ ඉලක්කය වැරදුණු බව වටහාගත්තේය. ඔහු තම නිවෙස පින්තරු කිරීමට පැමිණි පුද්ගලයා බව මෙල් නිශ්චිතව හඳුනාගත්තිය‍. “ඔයා මොකද මෙහෙ කරන්නේ?“ ඇය විමසුවේ විමතියෙනි‍. සොරාගත් භාණ්ඩත් අතැතිව සිටි නිසා තම සොරකම හෙළි වී ඉන් අනතුරුව සිදු වන දේ වටහාගැන්ම ඇන්තනීට අසීරු නොවීය. තමා ඇයට පෙර ඉක්මන් විය යුතුයැයි සිතූ ඇන්තනී ඇසිල්ලෙන් ක්‍රියාත්මක විය‍. හීයක වේගයෙන් මුළුතැන්ගෙට වැදුණු ඔහු එහි වූ පිහියා දෙකක් රැගෙන ඇය වෙත කඩාපැන්නේය. තියුණු පිහියා පහර වැදීමෙන් ඇය විලාප නඟන්නට විය. ‍එහෙත් ඒ හඬ කිසිවකුට නෑසුණා සේය. විලාප හඬ සිහින් කෙඳිරිල්ලක් බවට පත් විය. මෙල් ගුණසේකර මෙණෙවිය ලේ විලක් මැද අවසන් සුසුම් හෙළුවාය.

අමානුෂික ඝාතකයා තම අපරාධය පිළිබඳ දන්නා කිසිවකු මේ මිහිපිට නැතැයි සැනසුම් සුසුම් හෙළුවේය. නිසල දේහය අසල වැටී තිබු ඇගේ වටිනා ජංගම දුරකතනයද අහුලාගත් ඝාතකයා ඉන් අනතුරුව නිඳන කාමරයේ අල්මාරිය හැරියේය. එහි තිබී ඔහුට රුපියල් එක්දහස් දෙසීයක මුදලක්ද හමු විය. ඇගේ රුධිරයෙන් තෙත් වී තිබු තම ඇඳුම් උනා දමා අල්මාරියේ තිබූ කමිසයක් සහ කලිසමක් හැඳගත් හේ එහි වූ තවත් ඇඳුම් කිහිපයක් සහ ලේ තැවරුණ ඇඳුම්ද බෑගයකට දමාගත්තේ තවත් එතැන රැඳී සිටියොත් නිවැසියන් පැමිණෙතැයි බියේ ඉක්මනින් එතැනින් පලා ගියේය.

දේව මෙහෙය නිම වී නිවෙසට නිවැසියන් නිවෙසට පැමිණ මෙල්ට කතා කළද ඇගෙන් ප්‍රතිචාරයක් නොවීය. මුළුතැන්ගේ අසල ලේවිලක් මැද වැටී සිටි මෙල් දුටු නිවැසියෝ දැඩි කම්පාවටත් වික්ෂිප්තභාවයටත් පත් වූහ. ඔවුහු ඇගේ ඝාතනය පිළිබඳව පොලීසිය දැනුවත් කළහ.

මෙල් ගුණසේකර මාධ්‍යවේදිනියක වු හෙයින්ම මේ ඝාතනයේ බරපතළකම වඩාත් වැඩි වන බව හොඳින් වටහාගත් පොලීසි‍ය ඇගේ නිවෙස අසල ප්‍රදේශය ආරක්ෂක කලාපයක් බවට පත් කර, ඝාතකයා සොයා වහා විශේෂ මෙහෙයුමක් දියත් කළේය. පොලිස් නිල සුනඛයන්ද යෙදවීය. නිවෙසේ ඇති සැකකටයුතු ඇඟිලි සලකුණු පරීක්ෂාවට ලක් වූ අතර, අසල්වැසියන්ගෙන් සාක්ෂි සටහන් කරගන්නට විය. අසල්වැසියකු දුන් සාක්ෂියක් අනුව ඇගේ නිවෙස දෙසින් ඇසුණු විලාප හඬත් ඒ හඬ ක්‍රමයෙන් නෑසී ගිය ආකාරයත් හෙළි විය. තවත් අසල්වැසි නිවෙසක සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ රූපරාමු අනුව ඇය නිවෙසේ රැඳී සිටි කාලය අතරතුර නිවෙසට පැමිණි මිනිසා සහ ඉන් අනතුරුව මඳ වේලාවකින් පිටත්ව යන මිනිසා පිළිබඳව කැමරා පද්ධතියේ සටහන් වී තිබුණු රූපසටහන් අනුව ඔහු හඳුනාගැනීමට ගුණසේකර පවුලේ උදවිය කැඳවනු ලැබූයෙන් ‘පින්තාරු බාස්‘ නිවැරදිව හඳුනාගනු ලැබිණි. ඝාතකයා සෙවීමේ මෙහෙයුම් තවතවත් කඩිනම් විය. නිවැසින් ඔහු හඳුනාගැනීමත් සමඟ දොම්පේ ඇන්තනීගේ නිවෙසේ ලිපිනය ‍සොයාගත් පොලිස් නිලධාරීහු වහාම ඔහුගේ නිවෙස වැටලූහ.

මේ අතර ඇන්තනී රාජගි‍රියෙන් බත්තරමුල්ලටත්, එතැනින් හංවැල්ලටත් පැමිණ සිටියේය. බස් රියකට ගොඩ වී දොම්පෙන් බැසගත් ඔහු සොරාගත් මුදල්වලින් මත්වතුරද පානය කර නිවෙසට යන විට ඇඳිරි වැටී තිබිණි.

ඔහු නිවෙසට පැමිණෙන විටත් පොලිසිය නිවෙස වටලා අවසන්ය. බමන මතින් සිටි ඇන්තනීගේ අතේ තිබී මෙල් මෙණෙවියගේ ජංගම දුරකතනයත් හොරාගත් අනෙකුත් භාණ්ඩත් පොලිස් භාරයට ගනු ලැබිණි.

මෙල් ඝාතනය එසේ ලෝකයට හෙළිදරවු විය. වසර තුනක් පුරා සාක්ෂි විමසීමෙන් අනතුරුව ඝාතකයා පෝරකයට නියම විය.

බොහෝ විට මිනිස් ඝාතන සිදු කරනු ලබන්නේ සූක්ෂ්ම ලෙස සැලසුම් සහගතවය. තමා සිදු කළ අපරාධයෙන් අනතුරුව අපරාධකරුවා සාක්ෂි සැඟවීමට වගබලාගනී. අපරාධයක සුලමුල සොයාගැනීමට මාස ගණන් වසර ගණන් ගත වුවද කෙදිනක හෝ අපරාධයක් හෙළිදරවු වනු නියත බව මෙල් ගුණසේකර ඝාතන සිද්ධීයෙන් යළිත් වරක් පසක් විය.

අනපේක්ෂිතව වුව මනුෂ්‍ය ඝාතනයක් සිදු කර ඇන්තනී ජෝර්ජ් අපේක්ෂා කළේ තම සොරකම ලොවින් සඟවා ලීමය. එහෙත් ඝාතන අපරාධය සොරකමේ යෙදීමට වඩා බරපතළ වරදක් බව ඔහුට ඒ මොහොතේ වැටහුණේ නැත.

මෙවන් සුළු කරුණු පදනම් කොටගනිමින් දෙවරක් නොසිතා ඉතා අවාසනාවන්ත ලෙස මිනිස් ඝාතන සිදු කිරීමට අද සමාජය පෙලඹී තිබේ. මේ මානසිකත්වයෙන් මිනිසුන් මුදාගැනීම අරමුණු කරගත් සමාජහිතකාමි විධිමත් වැඩසටහන් මනෝ විද්‍යාඥයන්ගේත්, සමාජ විද්‍යාඥයන්ගේත්, පොලීසියේත් ඒකාබද්ධතාවෙන් යුතුව ක්‍රියාත්මක කිරීම තවත් පමා කළ යුතු නැති බව, මෙවන් සිදුවීම් මඟින් අප වෙත නිකුත් කරනු ලබන රතු සංඥාවයි.

සුභද්‍රා දේශප්‍රිය
(සේයාරුව අන්තර්ජාලයෙනි)

Comments