තද නින්දකට වැටී සිටි අවස්ථාවක එක්වරම ඇසුණු අමුතු ශබ්දයකින් බියපත්ව දිව යමින් සිටි හාවකුගේ බහට රැවටුණු වන සතුන්ට මුහුණ පෑමට සිදු වූ ඉරණමට සමාන තත්ත්වයක් අද වන විට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුට සිදු වී තිබේ. රටට අලුත් ව්‍යවස්ථාවක් එපා යැයි සහ බලහත්කාරි අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ පනත් කෙටුම්පත විවාදයට ගන්නත් එපායැයි මේ රටේ ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් රජයට දැනුම් දී ඇතැයි කියන කතාව මේ රටේ බොහෝ දෙනකු විසින් පිළිගෙන තිබීම ද එවැන්නකි.
ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේ විසින් මුළුමහත් ඉතිහාසය පුරා රට කළ රාජ්‍ය පාලකයන්ට අර්ථයෙන් හා ධර්මයෙන් සිදු කරන ලද අනුශාසනා පිළිබඳ ඕනෑ තරම් කරුණු ගෙනහැර දැක්විය හැකිය. සාමාන්‍යයෙන් සෑම පොහෝ දිනයකම රටේ බොහෝ වෙහෙරවිහාරස්ථානවල සිදු කරනු ලබන ධර්මදේශනාවන්හිදීත් රටතොටේ සිදු කෙරෙන විවිධ උත්සව හා රැස්වීම්වලදීත් බෞද්ධ භික්ෂූන් වහන්සේ දක්වන අදහස් අනුව රාජ්‍ය පාලනයට හා පාලකයන්ට අදාළ විවිධ කරුණු ප්‍රකාශ කිරීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ අතර ඇතැම් දේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ සිදු කරන අදහස් හා යෝජනා වන අතර, ඉතා වටිනා සාර්ථක මඟපෙන්වීම්ද ඒ තුළ බොහෝ විට තිබිය හැකිය. තවත් සමහර විටෙක ඒ ඒ භික්ෂූන් වහන්සේගේ දැනුම හා හැඟීම්බර තත්ත්වයන් අනුව පටු හා අන්තවාදී අදහස්ද මතුවීමට හැකි ඉඩකඩ නැතුවාම නොවේ. එය සාමාන්‍ය තත්ත්වයකි. එය බෞද්ධ සංඝ සමාජයට පමණක් අදාළ වන තත්ත්වයක් නොව, අනෙකුත් ආගමික පූජ්‍ය හා පූජක පක්ෂයන් වෙතින්ද දැකිය හැකි සාමාන්‍ය තත්ත්වයකි.
එහෙත් ඕනෑම ආගමක නිල ආගමික සංස්ථා යම් අදහසක් සමාජගත කරන්නේ නම් ඒ කිසියම් සම්ප්‍රදායකට අනුගතව, විධිමත් හා ගැඹුරු සංවාදයකින් අනතුරුව ඇතිකරගන්නා පොදු පිළිවෙතක් තුළ එය සිදු කිරීම පිළිගත් ස්වභාවයයි. මල්වතු - අස්ගිරි උභය විහාරය නියෝජනය කරන ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ද අමරපුර, රාමඤඤ යන අනෙකුත් මහා නිකායන් ද අනුගමනය කරමින් සිටින පිළිගත් ශාසනික සම්ප්‍රදාය ද එයම වන්නේය. ඒ අනුව රටට වැදගත් කරුණු සලකා බලා එකී එක් එක් නිකායන් වශයෙන්ද ත්‍රෛනිකායික වශයෙන්ද යම් යම් කරුණු අරබයා සිදු කරන පැහැදිලි කිරීම්, නිවේදන මෙන්ම රාජ්‍ය පාලනයට අදාළ යම් යම් මඟ පෙන්වීම් අතීතයේ නොයෙකුත් අවස්ථාවල සිදු කර තිබේ.
සිංහල රජ දවස පමණක් නොව විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවැති කාලයේදීත් එම සම්ප්‍රදායයේ වෙනසක් නොවූ අතර විශේෂයෙන්ම නිදහසින් පසු නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ දේශපාලන ක්‍රමයට අනුගත මහජන පරමාධිපත්‍යය මත රට කරවන මෑත යුගයට අදාළවත් එය එසේම වී තිබේ. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලා යම් යම් ස්ථාවරයන්ට එළැඹ ඇත්තේ ඒ පිළිබඳව තම තම නිකායන්හි පිළිගත් ශාසන භාරධාරී මහතෙරුණ් වහන්සේලා සමඟ ද සෙසු මහා සංඝයා වහන්සේලා සමඟ ද කාරක සංඝ සභාව තුළ ද සිදුකරන ගැඹුරු සංවාදයකින් අනතුරුවය. ඒකාබද්ධ නිවේදනයන් නිකුත් කරන්නේ නම් එක් එක් මහානායක ස්වාමීන් වහන්සේලා අන්‍යොන්‍ය වශයෙන් ගැඹුරු ලෙස අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුවය. ඒ සියල්ල එසේ ඒ ආකාරයට පවත්වා ගනිමින් අවසානයේ එම නිවේදනය, පණිවිඩය හෝ අනුශාසනය සමාජගත කරන්නේ එක් එක් මහානායක ස්වාමීන් වහන්සේගේ අස්සන හා ඒ ඒ නිකායන්හි මුද්‍රාවද සහිතවය.
ඒ සඳහා දැක්විය හැකි එක් පූර්වාදර්ශයක් වන්නේ 1985 සැප්තැම්බර් මස 14 දාතමින් යුතුව එවකට වැඩසිටි අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ විසින් එසමයෙහි ජනාධිපති ධුරය දැරූ ජේආර් ජයවර්ධන මහතා වෙත ඉදිරිපත් කළ යෝජනාවලියයි. එදා එවැනි යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට තුඩුදුන් හේතුව වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව සංශෝධනයක් එක්කිරීමට පැවැති සූදානමය. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අදාළවය. ඒ අනුව මහානායක ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියේ ඇති අනෙක් විශේෂත්වය වන්නේ ඇති කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයේ දී අවධානය යොමු කළ යුතුව ඇති ප්‍රමුඛ කරුණු ගණනාවක් පිළිබඳ උන්වහන්සේගේ අවධාරණයන් හා ඉල්ලීම් ඒ තුළ අන්තර්ගත කර තිබුණද උන්වහන්සේ කිසිදු අවස්ථාවක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය ගෙන නොඑන්නයි ඉල්ලා නොසිටීමය.
ඒ සමඟ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේගේ අදහස් හා යෝජනා එහි දී ඉතා විධිමත් ලෙස ලේඛනගත කර තිබූ අතර, එකී ලේඛනයට එවකට මල්වතු පාර්ශ්වයේ මහානායකව වැඩසිටි අතිපූජ්‍ය සිරිමල්වත්තේ ආනන්ද, අස්ගිරි පාර්ශ්වයේ මහානායකව වැඩසිටි අතිපූජ්‍ය පලීපානේ ශ්‍රී චන්දානන්ද, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායකව වැඩසිටි අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායකව වැඩසිටි අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද, ශ්‍රී කල්‍යාණ ශ්‍රී මහා සංඝ සභාවේ මහානායකව වැඩසිටි අතිපූජ්‍ය හල්ගස්තොට ශ්‍රී දේවානන්ද, කෝට්ටේ පාර්ශ්වයේ මහානායකව වැඩසිටි අතිපූජ්‍ය ලබුගම ශ්‍රී ලංකානන්ද යන සියලු මහානායක ස්වාමීන් වහන්සේ අස්සන් තබා තිබිණි.
ඒ අනුව මේ රටේ සමස්ත සමාජයම ගැඹුරින් විමසා සිටිය යුතු ප්‍රශ්නයක් තිබේ. එනම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අනවශ්‍යයැයි හා පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නියමිතව තිබූ වැදගත් පනත් කෙටුම්පතක් විවාදයට නොගන්නා ලෙසට මේ රටේ ත්‍රෛනිකායික අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලා රජයට දැනුම් දී තිබේද යන්නය. එසේ දැනුම් දී ඇත් නම් ඒ දැනුම්දීම සිදු කර ඇත්තේ කෙසේද යන්නය. ඒ පිළිබඳව ඉදිරිපත් කර ඇති විධිමත් ලේඛන මොනවාද යන්නය. තද නින්දකට වැටී සිටි හාවකුට ඇසුණු අසාමාන්‍ය ශබ්දයකින් පසු වනවාසීන්ට අත් වූ ඉරණම ම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට අත් වී තිබේද යන ප්‍රශ්නය පැනනඟින්නේ මෙහිදීය.
මේ රටේ සියලූම ජනමාධ්‍ය පාහේ වාර්තා කර තිබූ අන්දමට පසුගිය අඟහරුවාදා (04) මහනුවර අස්ගිරිය විහාරස්ථානයේ ශ්‍රී චන්දානන්ද අනුස්මරණ ශාලාවේ දී භික්ෂූන් වහන්සේ රැසක් එක් රැස් වී කිසියම් සාකච්ඡාවක් පවත්වා ඇති බව සත්‍යයකි. ඒ සඳහා ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේ සියලු දෙනාම සහභාගී වී නැතත් මහානායක ස්වාමීන් වහන්සේ කිහිප නමක් වැඩමවා සිටි බව ද සත්‍යයකි. එමෙන්ම එහි දී අද්‍යතන සමාජ, ආර්ථික, දේශපාලනික හා ආගමික කරුණු රැසක් පිළිබඳ අවධානයක් යොමු වී පැවැති බව ද සත්‍යයකි. එහෙත් ඒ කිසිදු අවස්ථාවක රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේ ඒකමතිකව තීන්දු කළ වගට කිසිදු සාධකයක් මේ දක්වා ඉදිරිපත් වී නැත.
එහෙත් ඒ වෙනුවට ඉහත කී කරුණුවලට අදාළව මෙන්ම තවත් කරුණු රැසක් පිළිබඳ සහභාගී වී සිටි ඇතැම් මහානායක ස්වාමීන් වහන්සේලා හා සෙසු මහා සංඝරත්නයද විවෘතවම අදහස් පළ කර ඇති අතර මහානායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹිය යුතුයැයි යෝජනා කරන කරුණු 15ක් පිළිබඳ ලේඛනයක්ද එළිදක්වා තිබේ. එහි ඇත්තේ මහානායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කර තීරණය කළ යුතුව ඇති කරුණු මිස, මහානායක ස්වාමීන් වහන්සේ අවසන් ස්ථාවරයකට එළැඹ ඇති කරුණු නොවේ.
එසේ නම් ඉතා සංවේ දී හා ජාතික හා අන්තර්ජාතික වශයෙන්ද විශාල බලපෑමක් ඇති කළ හැකි නිමිත්තක්ද ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සමාජය තුළ වැරදි අදහසක් රෝපණය වීමට මඟ පෑදුණේ කෙසේද? නින්දේ සිටිය දී ඇසුණු අමුතු ශබ්දයකට බියපත් වූ හාවාගේ භූමිකාව මෙහි දී ඉටු කර ඇත්තේ කවුරුන් විසින්ද? පසුගිය දිනවල ඊට අදාළව පළ වූ ප්‍රවෘත්ති වාර්තා සලකා බැලීමේ දී නිසැක වශයෙන්ම ඒ භූමිකාව ඉටු කර ඇත්තේ මේ රටේ ජනමාධ්‍ය විසින් බව පැහැදිලිවම කිව හැකිය. මේ රටේ ජනමාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේ පසුගිය 04 වනදා ඔවුන් කියන ආකාරයේ නිවේදනයක් රජය වෙත නිකුත් කර ඇත් නම් ඒ බව තහවුරු කිරීම මේ රටේ සියලු ජනමාධ්‍ය වෙත පැවරෙන වගකීමකි. නොඑසේ නම් ඒ පුවත වහා නිවැරදි කිරීමද ඔවුන් සතු වගකීමක් වනු ඇත.
සුනිල් ජයසේකර