හිර කූඩු ඇතුළෙත් ලස්සන රටා මැවෙනවා | සිළුමිණ

හිර කූඩු ඇතුළෙත් ලස්සන රටා මැවෙනවා

• නිර්මාණකරුවකුට අරමුණක් තිබිය යුතු යැයි ඔබ විශ්වාස කරනව ද?

අනිවාර්යයෙන් තිබිය යුතුයි. හැබැයි මම දැකපු දෙයක් තමයි, සාහිත්‍යකරණයේ නිරත වන බොහෝ අය වෙනත් භාවිත කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම නිසා තමන්ගේ අරමුණ අමතක කරන ආකාරය. උදාහරණයක් විදියට භාෂාව ගත හැකියි. එහිදී ව්‍යාකරණානුකූල විදග්ධ භාෂාවක් තම නිර්මාණයට උපයුක්ත කරගැනීමට උත්සාහ කිරීමේදී මේ ගැටලුවට මුහුණ දෙනවා. අපි හොඳයි කියලා හිතන පොත්වල පවා මේ දුර්වලතාව තිබෙනවා. මේ වල්මත් වීමෙන් අසරණ වන්නේ පාඨකයායි. ලේඛකයා හිතනවා තමන් ලියන හැම වැල්වටාරමක් සමඟ ම පාඨකයාත් සිටීවි කියලා; ඒත් එය හැම විට ම සිදුවන්නේ නැහැ.

මට වාසනාවකට වගේ වෙන ම ශික්ෂණයක් ලැබුණා. මම වෘත්තිය මට්ටමින් ගණිතය හැදෑරූ කෙනෙක්. ගණිතය හැදෑරූවන් නිතරම තර්කනය ඔස්සේ තමයි යම් නිගමනයකට පැමිණෙන්නේ. ඒ නිසා ඕනෑම අදහසක් කෙටි මාර්ග ඔස්සේ සරල ව ඉදිරිපත් කිරීමේ ශික්ෂණයක් මට තිබෙනවා. ලේඛකයෙක් විදියටත් ඒ ශික්ෂණය අත්‍යවශ්‍ය දෙයක් ලෙස මා සලකනවා.

• කෙසේ ද ඔබ අරමුණ නිර්වචනය කරගන්නේ...

අරමුණ නිර්වචනය කරගැනීම අවශ්‍ය නැහැ කියලයි මට සිතෙන්නේ. එයට හේතුව අරමුණ තීරණය වන්නේ තේමාව අනුව වීමයි. අරමුණේ ස්වභාවය අනුව එය සාධනීය ද නි‍ෙෂ්ධනීය ද යන්න තීරණය වෙනවා. අරමුණයි, අපි ගොතන කතාවයි අතර සම්බන්ධයක් නෑ. සම්බන්ධය ගොඩනඟන්නේ අපි ම යි. කතාව ගොඩනැඟීමේදී ටිකෙන් ටික අරමුණ පැහැදිලි වීමට පටන් ගන්නවා; එය ඔපමට්ටම් වී නාභිගත වෙනවා. හරියට රේස් එකක් මැදදි අපි වේගවත් වනවා වගේ. අපි ලියන කතාවයි, අරමුණයි අතර මුලදී ඒ තරම් සම්බන්ධයක් ගොඩනැ‍ඟෙන්නේ නැහැ. එය ටිකෙන් ටිකයි වර්ධනය වන්නේ.

• අරමුණ සුචරිතවාදී අරමුණක් ම විය යුතු යැයි ඔබ විශ්වාස කරනව ද?

කොහෙත්ම නෑ. මගේම සමහර පොත්වල ඔය කියන සුචරිතවාදයෙන් පිට පැනපු අවස්ථා තිබෙනවා. සමාජයේ හොඳ යැයි පිළිගත් දේවල්වලට පටහැනිව ද මේ කතා කරන්නේ කියලත් හිතෙන අවස්ථා තිබෙනවා. සමාජය යහපත් කරන්නට සුචරිතවාදයෙන් ම බැහැ. හැබැයි සමාජ විරෝධි විය යුතු නම් නැහැ. මට හිතෙන්නේ ලේඛනයේදී අපට තිබිය යුතු වන්නේ සුචරිතවාදයකට වඩා ශික්ෂණයකුයි.

• ශික්ෂණය කියන කාරණයේදී පෙරදිග හා බටහිර අතර වෙනසක් ගොඩ නැ‍ඟෙනවා. මේ වෙනස නිර්මාණකරණයටත් බලපෑම් කරනවා යැයි සිතෙනවා. නිර්මාණ ආකෘති, ශික්ෂණය හා සංස්කෘතිය අතර පවතින සම්බන්ධතාව ගැන ඔබේ අදහස කුමක් ද?

එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මගේ පිළිගැනීම තමයි සංස්කෘතිය කියන කොටුව ඇතුළේ පුද්ගලයෙක් හැටියට මම නම් හිර වෙනවා. මම හිතනවා අපි ඉදිරි සමාජයට සංස්කෘතිකමය වටිනාකම් දායාද කළ යුතුයි නිසා. සංස්කෘතික වටිනාකම් ඇතුළේ මම හිර වෙලා ඉන්නේ. ඒ නිසා සමහර කරුණු කාරණා අමු අමුවේ කතා කරන්න මම කැමැති නැහැ.

මම නිර්මාණකරණයේ යෙදෙන්නේ බොහොම සංයමයකින්. මගේ ‘ආකාල ප්‍රේම’ කියන කෘතිය ගත්තත් ඒකෙත් යම් තරමකට සංස්කෘතික හරපද්ධති ප්‍රශ්න කරනවා. නමුත් මම විප්ලවකාරී විදියට සංස්කෘතියෙන් පිට පනින්නේ නැහැ.

• ඒ වටිනාකම් විසින් ඔබේ සිතිවිලි පාලනය කරද්දී පෑන හිරවෙනවා වගේ දැනෙන්නේ නැද්ද?

අනිවාර්යයෙන් පෑන හිර වෙනවා. ආගම සම්බන්ධ දෙයක් ලියද්දී පෑන ඊටත් වඩා හිර වෙනවා. හැබැයි කොහොමහරි සංයමය රැකගත යුතු වෙනවා. ‘දැක නුදුටු පෙරනිමිති’ කතාව ලියද්දී මම ඊට මුහුණ දුන්නා. එය කියැවූ බොහෝ පාඨක පිරිස්, විශේෂයෙන් ස්වාමින් වහන්සේලා ඒ දැඩි සංයමය ගැන මවිත වුණා. හැබැයි ඒකෙන් අදහස් වන්නේ නැහැ, මම එයින් අරමුණට හානියක් කරගෙන තිබෙනවා කියා. පාඨකයා වශීකෘත කිරීමට හැකි ප්‍රයෝග එයට යොදන්නට බැරිකමක් නැහැ. හැබැයි ඊට වඩා සංයමයකින් යුතුව පොත් ලියන්න පුළුවන් කියන එක මා දන්නවා.

• සංයමය කෘතියට ආභරණයක් ද; නැතිනම් හිර වීමක් ද?

ඇත්තම කිව්වොත් හිර වීමක්. හිර වීම ඇතුළත පවා බොහෝ දේ කළ හැකියි. අපි බොහෝ දේ කරන්නේ හිර කූඩුවල ඉඳ ගෙනනේ. ඒත් ඒ හිර කූඩු ඇතුළෙත් ලස්සන රටා මැවෙනවා.

• ඔබ මෙතෙක් පැවැසු හිර වීම් හා සීමාවීම් ඇතුළත තම නිර්මාණයේ වස්තු බීජය නිදහසේ ප්‍රසාරණය කරගැනීමට හැකි වූවා ද?

මම දැරූ ප්‍රධාන උත්සාහ දෙකකදී එය සාර්ථක වුණා. ‘දැක නොදුටු පෙරනිමිති’ නවකතාව ගත්තොත් මම එය මට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රසාරණය කර ගත්තා. ප්‍රසාරණය කියන දේ පුළුල් ව කරන්නට ගියොත් එය අරමුණට බාධාවක් වෙනවා. ‘අකාල ප්‍රේම’ නවකතාව ගත්තත් මා එයට කළ ප්‍රසාරණය ප්‍රමාණවත් කියා සිතෙනවා. අප පවත්වාගෙන යන වපසරිය ඇතුළත පාඨකයා රඳවා ගැනීමයි කළ යුතු. පාඨකයාට හැමදේම දීමෙන් අපේ අරමුණ සාක්ෂාත් කරගැනීමට නොහැකි අවස්ථා උදා වෙනවා. පාඨකයාට සිතන්නට පෙළඹවීමක් ඇති කළ යුතුයි. මම කළ උත්සාහ කිහිපයේදී ම මට සිතෙනවා මම පාඨකයා ව එක අරමුණකට රැගෙන ආවා කියලා.

• සංවාදයට බඳුන් වීමට නියමිත ඔබේ මේ කෘති හතර පුරා ම බෞද්ධ චින්තනය පදනම සේ මතුවෙන සෙයක් පෙනෙනවා. බෞද්ධ චින්තනය ඔබේ නිර්මාණවලට කළ බලපෑම කවරාකාර ද?

මම ‘ආකාල ප්‍රේම’ රචනා කරන්නේ ආකෘතිගත කොටුවීමෙන් මිදෙන්නයි. හැබැයි මට ඒ කොටු වීමෙන් මිදෙන්න අපහසුයි. කරුණු පෙළ ගැස්සවීමේදී අදාළ කරුණු නිවැරැදි ව සමාජගත කරන්නට අපි කෙතරම් උත්සාහයක් ගන්නවා ද කියන කරුණ වැදගත්. පාඨකයන් ඒ දේවල් හරි ඉක්මනට තේරුම් ගන්නවා. පාඨකයන් ඉස්සරට සාපේක්ෂ ව බෙහෙවින් ම දැනුම්වත්. අපි වචනයෙන් කියන දේ හරි ඉක්මනට අවබෝධ කර ගන්නවා. ඒ නිසා ලේඛකයාගේ කාර්යභාරය වඩා වගකීම් සහගත වී තිබෙනවා. ඉතා හොඳ පොත් වගේ ම ඉතා දුර්වල පොතුත් අපට මෑත කාලයේ හමුවෙන්නේ ඒ නිසයි. ඒ කෘති අතරින් බුදු දහමෙන් මා ලැබු ආභාසය ප්‍රකට වීම හිතා මතා කරන්නක් නොවෙයි; ඒත් මගේ ලේඛනය පුරා ඒ ආභාසය විසිරී තිබෙනවා.

• ඔබේ නවකතාවල ප්‍රධාන වශයෙන් පෙනෙන කාරණයක් තමයි, සිතැඟි විවරණය කිරීමට දක්වන කැමැත්ත. එතැනිනුත් ඔබ්බට යන ඔබ සිත ගැන ම බෞද්ධ මූලාශ්‍ර සඳහන් කෘතියකුත් රචනා කරනවා. සිතිවිලි විවරණය නිර්මාණකරණයට මොන වගේ බලපෑමක් ද කරන්නේ...

සිතිවිලි විවරණය තමයි නිර්මාණකරණයේ සමීප බව ගොඩනඟන්නේ. ආචාර්ය ධම්ම දිසානායක වරක් ප්‍රකාශ කළා ‘ඔබ නවකතාකරුවකුට වඩා මනෝ විශ්ලේෂකයෙක්’ කියලා. චරිත අභ්‍යන්තරය හඳුනා ගැනීමටයි මා එය කරන්නේ. ‘සිත, මනස සහ නොමියෙන මම’ කෘතියේදී ඊට වඩා බෙහෙවින් ගැඹුරු ලෙස සිත කියැවීමකට ලක් කරනවා. ඒ කෘතිය ලියන්නට මට බලපෑම් කළේ ‘දැක නුදුටු පෙර නිමිති’ ලිවීමේදී ඇතිවුණ විවිධ ගැටලු. වරෙකදී ඉතා දමනයෙන් යුතු සිත ම තවත් වරෙකදී නොදැනීම ඉබාගාතේ යන අයුරු ඒ නවකතාවේදී මගේ අවධානයට ලක්වුණා. අපි හැමෝගෙම සිත් ඒ වගේ. ඒ ගැන ම ගැඹුරු කියැවීමකටයි ‘සිත, මනස සහ නොමියෙන මම’ කෘතියෙන් උත්සාහ කරන්නේ.

• ඔබේ නවතම කෘතිය ‘රාහුලයෙක් උපන්නා’. එහිත් මේ දර්ශනයමයි අඩංගු වෙන්නෙ...

එය රාහුල චරිතය ගැන ම ලියැවුණත්, රාහුල චරිතය බුද්ධ චරිතය සොයා යන්නකුට කොතරම් වැදගත් ද යන්න එයින් පසක් වෙනවා. ප්‍රබන්ධකරණය ඇතුළේ මගේ උත්සාහය ගැන මම තෘප්තිමත්. බෞද්ධ දර්ශනය ඇතුළේ බුදු හාමුදුරුවන් රාහුල හිමියන්ට ම දෙසු සූත්‍ර කිහිපයක් තිබෙනවා. ඒ සූත්‍ර කිහිපය අධ්‍යයනය කළත් අනිත්‍ය ගැන අවබෝධ කරගන්නට ප්‍රමාණවත්. අවුරුදු 7දී මහණ වන රාහුල කුමාරයා අවුරුදු 18දීත් රහත් භාවය ලබන්නේ නෑ. රූපයේ අනිත්‍ය බව ගැන කියා දෙන්නේ වයස 18 දී. අවුරුදු 20ක් ගෙවුණට පසුව සූත්‍ර දෙකක් ඇසුරෙන් කියලා දෙනවා රූපයේ අනිත්‍ය බව. එයම ඇති බුදුදහමේ හරය අවබෝධ කරගන්නට. මා එය සාර්ථකව කෘතිය ඇතුළට ගෙන ආවා යැයි සිතෙනවා.

• ඔබේ නිර්මාණවල පැහැදිලිව පෙනෙන දර්ශනයක් තිබෙනවා. නිර්මාණකරණයට දර්ශනය කෙතරම් වැදගත් ද?

ඔබට මගේ කෘතිවලින් යම් දර්ශනයක් පෙනෙනවා නම් නිර්මාණකරුවකු වශයෙන් මට ඊට සතුටු වෙන්න පුළුවන්. අපි කතා කරන බෞද්ධ දර්ශනය පදනම් වෙන ගැඹුරක්, මේ සියලු කෘතිවලට මා අන්තර්ගත කළා. පරිණත වීමත් සමඟ මේ ගැඹුර, ආදරය දැනෙනවා වැඩියි.

• එක ම දේ වුවත් ජීවිතයේ එක් එක් කාලවල දැනෙන විදිය වෙනස්; අපි ඒවා වින්දනය කරන විදියත් වෙනස්.

අපි සංස්කෘතිකමය වශයෙන් වටිනාකම් කියන දේ අනෙක් පරම්පරාවට ලබා දෙන්න නිර්මාණය ඉවහල් කරගන්න ඕන. ඒ ඒ අවධීන් අපට ලබා දෙන පණිවිඩය එයයි. මොන දේ කළත් අපි සමාජයට වගකිව යුතුයි. ඒ ගැන නිර්මාණකරුවාට විශාල වගකීමක් තිබෙනවා. කාලය මඟින් ලබා දෙන පරිණත බව වගේ ම දැනුමෙන් සිතිවිලිවලින් ලබාගන්නා පරිණත බවත් ලේඛකයාට ඉතා වැදගත්.

• ඔබේ නවතම කෘතිය ප්‍රතිනිර්මාණයක්. අද ප්‍රතිනිර්මාණය විලාසිතාවක් තරමට ජනප්‍රිය වී තිබෙනවා. නවකතාවට පමණක් නොවෙයි; සිනමාවට පවා. මෙවැනි ප්‍රවේශයකට යෑමට සිතුවේ ඇයි?

ප්‍රතිනිර්මාණයක් කරන්න ඕන කියලා අදහසක් මට තිබුණේ නැහැ. ‘සිත, මනස සහ නොමියෙන මම’ ලියද්දි මම බොහෝ සූත්‍ර කියෙව්වා. මගේ සිත් ගත් සූත්‍ර දෙකක් එහිදී මට හමු වුණා. මම ඒවාට ආකර්ෂණය වුණා. බුදු පියා විසින් තම පුත්‍රයාට විශේෂ ධර්ම දේශනා දෙකක් කරනවා, එහි මම විශේෂයක් දුටුවා. ඒ අනුවයි මම රාහුල චරිතය සොයන්නට පටන් ගත්තේ. ඒ චරිතය ඇතුළේ මොනතරම් ලස්සන, වැදගත් පණිවිඩයක් තිබුණත් ඒ ගැන අපේ අවධානය යොමු වී නැහැ. ඒ කතා එදාට වඩා අදට ගැළපෙනවා. ප්‍රතිනිර්මාණයේ වැදගත්කම එයයි. ඒ ප්‍රතිනිර්මාණය කිරීම ගැන මම අදටත් සතුටු වෙනවා.

• වඩා පහසු නිර්මාණය ද ප්‍රතිනිර්මාණය ද?

ප්‍රතිනිර්මාණය පහසුයි. අරමුණ හා චරිතය සමගාමීවයි ගමන් කරන්නේ. ඒ වගේ ම පරිකල්පනයට සීමාවක් තිබෙනවා. ප්‍රසාරණය කිරීමේ හැකියාව තවදුරටත් අඩු වෙනවා. ඒ නිසා පහසුයි.

• ඔබ බෞද්ධ සාහිත්‍යය ඇතුළේ ම කිමිදෙන්නට උත්සාහ දරන්නේ ඇයි? අවසන එයින් බලාපොරොත්තු වන්නේ කුමක් ද?

මම දැඩි බෞද්ධයෙක්. සභ්‍යත්වය, සංස්කෘතිය, සුචරිතවාදය, සංයමය, ශික්ෂණය මේ සියල්ල මගේ ජීවිතයේ ඇතුළත්. බෞද්ධයෙක් හැටියට මගේ බලාපොරොත්තුව සිත දියුණු කරගෙන නිවන කරා යන ගමන පහසු කරගන්නටයි. මේ සියල්ල ඒ සඳහායි.

Comments