හමු නොවුණු මඟ | සිළුමිණ

හමු නොවුණු මඟ

කාලයක් තිස්සේ මසිත නැඟෙන පැනයක් වෙයි. මේ ලොව කිසිවක් ත‍ෙවකකට සමාන නොවන්නේ මන්ද? රෝස මල් එක් හැඩයකිනුත්, ඉද්ද මල් තවත් හැඩයකිනුත්, පොල් මල් ඊට සපුරා ම වෙනස් හැඩයකිනුත් පිපෙයි. හෙන්දිරික්කා මල් පිපෙන්නේ හවසට ය; කඩුපුල් මල් පිපෙන්නේ රෑ මැදියමේ ය; සේපාලිකා පිපෙන්නේ පාන්දර ය; පිච්ච මල් පිපෙන්නේ අරුණෝදයේ ය; ඕලු පිපෙන්නේ හිරු නඟිද්දී ය.මේ සියලු මල් හැඩයෙන් ද, පැහැයෙන් ද, ගන්ධයෙන් ද එකිනෙකට වෙනස් ය; එහෙත් මල් නමැති එක ම කුලකයට අයත් වෙති.

මිනිසා ද එසේ ම ය. ඔවුහු ද හැඩයෙන් ද, පැවැත්මෙන් ද විවිධාකාර වෙති; එහෙත් එක ම කුලකයට අයත් වෙති. අපි බොහෝ විට වෙනත් කෙනකුගේ අනුරුවක් වීමට උත්සාහ කරන්නෙමු. පරිපූර්ණත්වයට පත් විණි යැයි අපි අනුමාන කරන බොහෝ දෙනකුගේ ජීවිත අපි අනුකරණය කරන්නෙමු; එහෙත් ඒ ජීවිත අපට පෙනෙන්නේ බාහිර ස්වරූපයෙන් පමණක් බැව් අවබෝධ කර නොගන්නෙමු. හැම කෙනාට ම අනන්‍ය වූ ලක්ෂණ පවතින බවත් ඒ අනන්‍යත්වය විසින් එකිනෙකා සුවිශේෂ කරනා බවත් වටහා ගන්නට අපි අසමත් ව සිටිමු.

මේ ජීවිත කාලය පුරා ඔබ, බොහෝ දෙනා අනුගමනය කරන්නට ඇත. ඒ අනුකරණය විසින් ඔබට යම්තාක් දුරට යම් යම් හැඩගැස්වීම් ද කරන්නට ඇත. එහෙත් ඔබට කිසිදා හැකි විණි ද පූර්ණත්වයට පත් වෙන්නට... අනුන් අනුකරණයෙන් කිසිදාක තමා පූර්ණත්වයට පත් වන්නේ නැත. ඉද්ද මලට කිසිදා රෝස මලක් විය නොහැකිය; එහෙත් ඉද්ද මලට සම්පූර්ණ සුන්දර ඉද්ද මලක් ම වීමට කිසිදු බාධාවක් නැත. අප සම්බන්ධයෙන් ද එසේ ම ය.

තම සිතෙහි ඇති සැක සහිත බව නිසා, වෙනත් කෙනකු අනුකරණයෙන් තම සිතෙහි පූර්ණ බවක්, ස්ථිරත්වයක් ඇතිකර ගැන්මට හැකි යැයි සිතා අපි ඒ ගැන බලාපොරොත්තු තබා ගන්නෙමු. මිනිස්සු නිරන්තරයෙන් අනාගතය ගැන බිය වෙති; එනිසා ම වෙනත් කෙනකුගෙන් ආරක්ෂාව හා සැනසිල්ල ලැබීමේ මුළාවෙන් යුතු වෙති; කුඩා කල දෙමවුපියන්ගෙන් ආරක්ෂාව පතති; තරුණ කල පෙම්වතාගෙන් හෝ පෙම්වතියගෙන් ද අනතුරුව සැමියා හෝ බිරියගෙන් ද, මහලු වියේ දරුවන්ගෙන් ද ආරක්ෂාව පතති; එපමණක් නොව කෙළවරක් නැති මිථ්‍යා විශ්වාසයන්හි ද, විවිධ ආගමික මතවාදයන්හි ද පිළිසරණ පතති. මේ සියල්ලෙන් එක් දෙයක් පැහැදිලි ව පෙනෙයි. ඒ තමා පිළිබඳ නිවැරදි අවබෝධයක් නැති බවයි. මේ සියල්ලෙන් ම ඇති වෙන්නේ දුකයි. තමා දෙස නිවැරදි ව බලා නිශ්චය කර නොගෙන වෙනත් කෙනකුගෙන් තමා ගැන අවබෝධය ලබා ගැනීමට උත්සාහ කරයි. මඳක් සිතා බලන්න; තමාටවත් තමා ගැන අවබෝධයක් ලබා ගත නොහැකි කල, වෙනත් කෙනකුගෙන් තමා ගැන අවබෝධයක් බලාපොරොත්තු විය හැකිද කියා.

තමන් ගේ ගමන යා යුත්තේ තමන් යැයි මා ඔබට යෝජනා කළහොත්... මා මේ පවසන්නේ භෞතික වශයෙන් දියුණුව කරා යන ඔබේ ගමන ගැන නම් නොවෙයි; ආධ්‍යාත්මික ගමන ගැනයි. එය සහායකයන් හෝ පොත් පත් හෝ ආදර්ශක නැතිව යා යුතු ගමනකි. මේ ගමන තනියම යන්නට සිත හදා ගත හැක්කේ මේ ජීවිතය ගැන සත්‍යය ඔබට වැටහී ඇත් නම් පමණි. සත්‍යය අවබෝධ වූ විට ඔබට තනිකමක් දැනෙන්නට පටන් ගනී. මහ සෙනඟ මැද පවා ඔබට හුදෙකලාවක් දැනෙනු ඇත. එහෙත් එසේ වූවා කියා ඔබ ජීවත්වන්නේ අසතුටින් නම් නොවෙයි; බලාපොරොත්තු රහිත බවෙන් පශ්චාත්තාප වෙමින් ද නොවෙයි. ඒ සියල්ල ඔබේ සිතෙන් ඔබට සත්‍යය පිළිබඳ හැඟීම ඇතිවීම නිසා ඇති වූ ඒවා ය. අවසන සරල ව ම කියන්නේ නම් මේ සිතිවිලි ගොන්නේදී ඔබට ඔබ හමු වී ඇත.

තමා පිළිබඳ ව ම නව කියැවීමකට යෑමට නම් අලුත් සිතකින් නිදහසේ තමා දෙස පරීක්ෂාකාරී ව බැලිය යුතුය. වෙන බොහෝ තැන්වලින් ඒකරාශී කරගත් දැනුමෙන් ඔබ පිරී සිටියදී නම් ඔබට, ඔබ හමු වන්නේ නැත. ඔබ මේ සියල්ලෙන් වෙනස් වියුක්ත දෙයකි. එය ඉතා සංකීර්ණ වූවකි. මේ සත්‍යය කිසිවකුටත් ඉගැන්විය නොහැකිය. එය අවබෝධ කර ගැන්මේ යතුර ඇත්තේ ඔබ අත ම ය. බුදුන් සොයා ගත්තේ ද මේ මඟයි; විවිධ ශාස්තෘෘන් සොයන්නේ ද මේ මඟයි; බොහෝ අයට හමු නොවන්නේ ද මේ මඟයි.

මේ සත්‍යය යම් ලෙසකින් ඔබට අවබෝධ වුව හොත් ඔබ මහත් වූ බරකින් නිදහස් වූවෙක් වෙයි. එවිට ඔබ වෙතින් හමා යන්නේ නිදහසේ සුගන්ධය ය.

මතක තබා ගන්න, රෝස මලකට කිසිදාක ඉද්ද මලක් විය නොහැකි බව...

sumudu.chathurani@lakehouse.lk

Comments